ඉන්දියාවේ මීළඟ සුපිරි තරුව රන්වීර් සින්ග්ද?

Avatar Kavinu Weerakkody | June 18, 2023 84 Views 0 Likes 0 Ratings

84 Views 0 Ratings Rate it

සුප්‍රසිද්ධ බොලිවුඩ් නලු Ranveer Singhගේ නවතම චිත්‍රපටය වන Rocky Aur Rani Kii Prem Kahaani නුදුරු දිනකදීම තිරගත වීම් ඇරඹීමට නියමිතයි. මෙම ජූලි 28 වනදා සිට තිරගත වන එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රන්වීර් සින්ග් සමඟින් ආලියා භාත් විසිනුයි. ඊට අමතරව ඉන්දියානු සිනමාවේ පුරාවෘතයක් බඳු ප්‍රවීන රංගන ශිල්පී Dharmendraත් මෙහි උප – ප්‍රධාන චරිතයකට එකතු වී තිබෙනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සහ ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම, ආලියාගේ දරු ප්‍රසූතිය වැනි හේතු නිසා Rocky Aur Rani Kii Prem Kahaani හි රූපගත කිරීම් අවස්ථා කිහිපයකදීම ඇණ හිටි අතර චිත්‍රපටයේ ප්‍රදර්_ශනයත් මාස ගණනකින් කල්ගත වූවා.

Rocky Aur Rani Kii Prem Kahaani සිනමාපටයෙන් පසුව රන්වීර් සින්ග් විසින් මීළඟට රගපෑමට නියමිත සිනමාපට අතරින් ද්විත්වයක් ගැන පිළිගත හැකි මට්ටමේ තොරතුරු රාශියක් දැන් මාධ්‍යයට නිරාවරණය වී තිබෙනවා. ඒ අනුව ඔහු ඉදිරි 2024-2025 වසර ද්විත්වය සඳහා සිනමාපට ද්විත්වයක, කතා සහ තිර පිටපත් ගැන කතාබහ කරමින් සිටින බවටයි ආරංචි වන්නේ. එම චිත්‍රපටවල කතා සාරාංශ ගැන ඔහු සෑහීමකින් සිටින බවටත්, අදාළ අධ්‍යක්ෂකවරුන් සමඟින් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා අවසන් බවටත්, ඉන්දියානු මාධ්‍ය පවසනවා.

ඒ අනුව රන්වීර් සින්ග් විසින් ඔහුගේ රංගන ජීවිතයෙ හි ඉදිරි තීරණාත්මක වසර ද්විත්වයට මෙසේ තෝරා ගෙන තිබෙන්නේ Don 3 සහ Baiju Bawra නැමැති හින්දි සිනමාපටයකුයි.

මෙයින් පළමු සිනමාපටය වන Baiju Bawra අධ්‍යක්ෂණය කරන්නේ අද ඉන්දියාවේ සිටින දක්ෂතම සිනමාවේදියෙකු ලෙසින් අවිවාදයෙන් ම පිළිගැනෙන Sanjay Leela Bhansali විසිනුයි. මීට පෙර Sanjay Leela Bhansali අධ්‍යක්ෂණය කළ Bajirao Mastani, Padmaavat සහ Goliyon Ki Raasleela (Ram-Leela) චිත්‍රපට තුනෙහි ම ප්‍රධාන භූමිකාව නිරූපණය කළේ රන්වීර් සින්ග් විසිනුයි. බොලිවුඩයේ ප්‍රධාන ශානරයේ නලුවෙකු ලෙසින් Ranveerගේ වෘත්තිමය ජීවිතය ස්ථාවර වන්නට බලපෑවේ ද සන්ජෙයි ලීලා බන්සාලිගේ මෙම සිනමාපට ත්‍රිත්වය බවයි බොහෝ විචාරකයින්ගේ පවා අදහස වෙන්නේ..

මෙවර සිවුවන වරටත් ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහි වන මෙම “Baiju Bawra” හින්දි සිනමාපටයෙ හි වැඩ කටයුතු ඇරඹීමට නියමිතව තිබෙන්නේ එළඹෙන 2024 වසරේ මුල භාගයේදීයි. සන්ජෙයි ලීලා බන්සාලි විසින්ම නිෂ්පාදන පිරිවැය දරන මෙම සිනමා ව්‍යාපෘතියේ විශාලත්වය නිසාම, යම් මූල්‍යමය ප්‍රශ්නයකුත් මේ සම්බන්ධව ඇතිවී තිබෙනවා. නමුත් රන්වීර් සින්ග් සැමවිටම පාහේ මූල්‍යමය වාසි පසුපස හඹා නොයා චිත්‍රපටයේ ගුණාත්මකබාවය වෙනුවෙන් පෙනී සිටින නලුවෙකු ලෙසින් ප්‍රසිද්ධ නිසාම, මෙම Baiju Bawra හි මූල්‍යමය ගැටලුව වෙනුවෙනුත් ඔහු සිය ගාස්තුව අඩු කර ඊට සහායෝගය ලබා දී තිබෙනවා.

Sanjay Leela Bhansali මේ දිනවල Heera Mandi නැමැති වෙබ් කතාමාලාවක රූපගත කිරීම් නිසා කාර්-යබහුල වී සිටින නමුත්, දෙසැම්බරය වනවිට එහි නිෂ්පාදන කටුයුතු සියල්ලම අවසන් කිරීමටයි ඔවුන් සැලසුම් කර සිටින්නේ. Baiju Bawra හි මූල්‍යමය ගැටලුවත් අවසාන නිසා 2024 පෙබරවාරි වනවිට ම මෙම නවතම චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹිය හැකියි.
චිත්‍රපටයේ සම නිෂ්පාදනය සඳහා බොලිවුඩයේ ප්‍රධාන පෙළේ ස්ටුඩියෝ කිහිපයක් සමඟම Sanjay Leela Bhansali මේ වනවිටත් සාකච්ඡා පවත්වා අවසානයි.

රන්වීර් සින්ග් සමඟින් Baiju Bawra සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා තෝරාගෙන තිබෙන්නේ බොලිවුඩ් සිනමාවේ ප්‍රබලම තරුණ රංගන ශිල්පිනියන් කිහිප දෙනාගෙන් කෙනෙකු ලෙසට පිළිගැනෙන හින්දි නිලි Alia Bhattවයි. ඊට අමතරව රාජ කුමාරිකාවන් දෙදෙනෙකුගේ චරිත ද්විත්වයක් සඳහා තවත් ජනප්‍රිය නිලියන් කීපදෙනෙක්ම නම් කොට ඇති අතර ඉදිරි දින කිහිපයේදී ඔවුන් අතුරින් එම චරිත ද්විත්වය රඟන නිළියන් දෙදෙනාව තෝරා ගැනීමටත් Sanjay Leela Bhansali සූදානම් වනවා.

නමුත් මෙම Baiju Bawra සිනමාපටයේ රූගත කිරීම් සඳහා එක්වීමට පෙර, Rohit Shettyගේ Singam Again චිත්‍රපටයේ සීමිත scenes ප්‍රමාණයක් සඳහා රන්වීර් සින්ග් එකතු වීමට නියමිතයි. Rohit Shetty අධ්‍යක්ෂණය කළ, Ajay Devgan ප්‍රධාන චරිතය රගපෑ “Singam” චිත්‍රපට මාලාව ඉන්දියාව පුරාම ජනප්‍රියයි. එහි ජනප්‍රියත්වය නිසාම අධ්‍යක්ෂක රෝහිත් ෂෙට්ටි විසින් “Singam” චිත්‍රපට මාලාව අනුසාරයෙන් සිනමා විශ්වයක් (Cop Cinematic Universe) ගොඩ නැඟු අතර Sooryavanshi – Indian Police Force ආදි සිනමාපට  හරහා ආක්ෂේ කුමාර් – සිද්ධාර්’ත් මල්හෝත්‍රා වැනි ජනප්‍රිය නලුවන් ගණනාවක් ඊට එකතු වුනා.
රන්වීර් සින්ග් විසින් රඟපාන්නේ මෙම සිනමා විශ්වයේ Simmba නැමැති පොලිස් පරීක්ෂකවරයාගේ චරිතයයි. ඊට අදාළව 2018 වසරේදී නිකුත් වූ රන්වීර් රඟපෑ Simmba චිත්‍රපටය ඉන්දියානු කෝටි 400කට අධික මුදලක් රැස් කරගනිමින් අතිශය සාර්’ථකත්වයට පත් වූවා.

Singam චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුම වන “Singam Again” චිත්‍රපටයේ රන්වීර් සින්ග්ට අදාළ කොටස් පෙළ රූපගත කරන්නට දින 30-35 කාලයක් වෙන් කරගෙන තිබෙන අතර ඔහුගේ කැමියෝ චරිතය “Singam Again” හි වැදගත්ම සිද්ධි දාමයකට සම්බන්ධ වූවක් බවත් කියැවෙනවා.

Singam Again සහ Baiju Bawra චිත්‍රපට දෙකෙන් පසුව 2025 වසර සඳහා රන්වීර් තෝරාගෙන තිබෙන්නේ Don 3 හින්දි චිත්‍රපටයයි. කෙසේ වුවත් මෙය Don 3 ලෙසින් නිර්මාණය නොවී, Don චිත්‍රපට මාලාවේ නවතම Reboot චිත්‍රපටයක් වශයෙන් එළිදැක්වීමට සූදානම් බවයි පැවසෙන්නේ. 1978 වසරේදී අමිතාබ් බච්චන්ගේ ප්‍රධාන රංගනයෙන් හැඩවුනු පළමු DON චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Chandra Barot විසිනුයි. ඉන් වසර 30කට පසුව 2006 වසරේදී Don: The Chase Begins Again නමින් පළමු Don (1978) සිනමාපටය රීමේක් කරන්නට Farhan Akthar කටයුතු කළ අතර 2011 වසරේදී ඔහු ඊට sequel චිත්‍රපටයකුත් සෑදුවා. ඒ Don 2: The King is Back නමිනුයි.

මුල් Don චිත්‍රපටයේදී අමිතාබ් බච්චන් නිරූපණය කළ චරිතය 2006-2011 වසරවලදී රඟපෑවේ Shah Rukh Khan විසිනුයි. ශාරුක් ඛාන් මෑතකාලීනව රඟපෑ iconicම චරිත කිහිපයෙන් එකක් ලෙසින් DON සිනමාපට මාලාව ප්‍රේක්ෂකයින් අතරෙ හි ජනප්‍රිය වූ අතර ඒ ප්‍රසිද්ධිය නිසාම දෙවන සීක්වල් චිත්‍රපටය නිකුත් වී වසර ගණනාවක් ගිය පසුවත්, රසිකයින් විසින් නව DON චිත්‍රපටයක් ගැන උනන්දුවෙන් පසුවුනා.

නව DON චිත්‍රපටයක් සෑදීමට තමන්ට අදහසක් තිබේ යැයි අධ්‍යක්ෂක Farhan Akthar කිහිප වතාවක් රසිකයින්ට පැවසූවත්, විවිධ හේතූන් නිසා ඒ ව්‍යාපෘතිය දිගින් දිගටම කල්ගත වුනා. මෙම වසර මුලදී Shah Rukh Khan රඟපෑ Pathaan ඉන්දීය කෝටි 1000කට අධික මුදලක් සමඟින් වාර්තාගත ආදායමක් ලැබූ පසු, Farhan විසින් සිය අලුත්ම DON චිත්‍රපටයේ කතා සාරාංශයක් Shah Rukh Khan හට ඉදිරිපත් කර ඔහුට ඊට ආරාධනා කර තිබුනා. නමුත් පිටපතෙ හි ඇතැම් වෙනස්කම් සහ DON චරිතය නිරූපණය කිරීමට තමන්ට දැන් හැකියාවක් නැති බවට ශාරුක් විසින් විශ්වාස කිරීම නිසා ඔහු ඊට එකඟ නොවුනු බවටයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ…

හින්දි නලු Ranveer Singhට ඩොන් චරිතය හිමිවන්නේ ඉන් අනතුරුවයි. Don 3 ලෙසින් මුල් චිත්‍රපටවලට සම්බන්ධ නොකර, මෙම සිනමාපටය නවතම Reboot සිනමාපටයක් ලෙසින් එළිදක්වන්නට ෆර්’හාන් අක්තර් සැලසුම් කරන්නේ ප්‍රධාන නලුවාගේ එම වෙනස්කම නිසායි. Don චරිතයේ ක්‍රියාදාම දර්ශනවලට අවශ්‍ය සටන් හා ශාරිරික පුහුණුවීම් සඳහා රන්වීර් 2024 වසර අග භාගයේදී සම්බන්ධ වීමට නියමිතයි. බොහෝදුරට 2024 දෙසැම්බර් පමණ වනවිට DON 3 හි රූපගත කිරීම් ආරම්භ කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ…

කෙසේ වුවත්, අධ්‍යක්ෂක ෆර්’හාන් අක්තර් හට DON 3 චිත්‍රපටයට පෙර නිම කිරීමට තවත් චිත්‍රපටයක් ඉතිරිව තිබෙනවා. Jee Le Zaraa නමින් හැඳින්වෙන එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අද හින්දි සිනමාවේ සිටින දැවැන්තම රංගන ශිල්පිනියන් වන Priyanka Chopra, Katrina Kaif සහ Alia Bhatta තිදෙනායි. එළඹෙන සැප්තැම්බරයේදී Jee Le Zaraa හි නිෂ්පාදන කටයුතු ඇරඹෙන අතර ලබන 2024 වසරේ ජූනි මාසය පමණ වනවිට එහි පසු – නිෂ්පාදන කටයුතු පටන් ගැනීමට නියමිතයි.
2011 වසරේදී ෆර්හාන් රගපෑ Zindagi Na Milegi Dobara සේම, මෙයත් මිතුරන් කිහිප දෙනෙකු වටා ගෙතෙන Road – Trip ශානරයේ චිත්‍රපටයක්…

DON 3ට අදාළව ෆර්’හාන් අක්තර් සහ රන්වීර් එක්ව Promo වීඩියෝපටයකුත් රූගත කොට තිබෙන අතර, චිත්‍රපටය ගැන පළමු නිල නිවේදනයට සමගාමීව එයත් සමාජ මාධ්‍ය හරහා නිකුත් කීරීමට සූදානම්! ශාරුක් තවදුරටත් DON චිත්‍රපට මාලාවට සම්බන්ධ නොවුනත්, extended cameo චරිතයකට හෝ ඔහුව සම්බන්ධ කර ගැනීමට නිෂ්පාදකයින් යුහුසුලු වනවා. නමුත් ශාරුක්ගේ පාර්ශවයෙන් ඒ ගැන තවමත් එකඟතාවයක් ප්‍රකාශ කොට නැහැ.

මෙම චිත්‍රපටවලට අමතරව රන්වීර් සින්ග් විසින් ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙකු සමඟ තවත් අතිශය දැවැන්ත සිනමා කෘතියකට පසුගියදා ගිවිසුම්ගත වූවා. ඒ Indian, Sivaji, Anniyan, Enthiran වැනි legendary චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කළ දමිළ අධ්‍යක්ෂකවරයෙකු වන Shankar Shanmugam සමඟයි. ශන්කර් – රන්වීර් සුසංයෝගයෙන් බිහිවන චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ දමිළ සාහිත්‍යයේ එන ජනප්‍රිය පුරාවෘතයක් වන Velpari කතා පුවතයි. Velpari නව කතාව අනුසාරයෙන් කොටස් 03ක trilogy චිත්‍රපට මාලාවක් සෑදීමටයි ශන්කර් අදහස් කරන්නේ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා මුලදී දමිළ නලු සූරියාව යෝජනා වී තිබුනත් කුමක් හෝ හේතුවක් නිසා අවසානයේදී ඔහු වෙනුවට අවස්ථාව හිමිවුනේ රන්වීර් සින්ග්ටයි. නමුත් Velpari වැනි දමිළ ජනයාටම ආවේණික වූ දමිළයින්ගේ පුරාවෘතයක් බඳු කතාවකට, රන්වීර් සින්ග් වැනි උතුරු ඉන්දියානු ජාතිකයෙකු නිසි සාධාරණයක් කරයිදෝ යන ප්‍රශ්නය මේ වනවිට තමිල්නාඩු රසිකයින් අතරෙ හි ඇතිව තිබෙනවා.

ඉන්දීය කෝටි 500කට ආසන්න මුදලක් වැය කරමින් නිෂ්පාදනය වන මෙම Velpari චිත්‍රපට මාලාව මෙතෙක් ශන්කර් සහ රන්වීර් දෙදෙනාගේම සිනමා ජීවිතයේ විශාලතම චිත්‍රපටය විය හැකි බවටයි විචාරකයින් පවසන්නේ. චිත්‍රපට මාලාවේ පළමු සහ දෙවන කොටස්වලට අදාළ තිර පිටපතෙන් යම් ප්‍රමාණයක් දැනටමත් අවසන් බවත්, රූපගත කිරීම්වලදී කොටස් ත්‍රිත්වයටම අදාළ කොටස් එකවරම රූගත කරන්නට සැලසුම් කරන බවත් පැවසෙනවා.

Shankar මේ දිනවල ඔහුගේ නවතම චිත්‍රපට ද්විත්වය වන කමල් හාසන් රඟන Indian 02 සහ රාම් චරන් රඟන The Game Changer හි රූගත කිරීම්වලට කාර්’යබහුල වී සිටින බැවින් මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු නම් නුදුරු දිනකදීම අරඹන්නට හැකියාවක් නැති වේවි.
එමෙන්ම රන්වීර් සින්ග් දැනට ප්‍රමුඛත්වය ලබා දී තිබෙන්නේ Baiju Bawra සහ Don 3 චිත්‍රපටවලට නිසා ශන්කර් අධ්‍යක්ෂණය කරන නිර්මාණය 2025 වසර වෙනතෙක්ම කල් ගත විය හැකියි.

ඒ අතරෙ හි Sony Entertainments ආයතනයෙන් නිෂ්පාදනය වන Shakthiman නැමැති ඉන්දියානු සුපර් – හීරෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහාත් රන්වීර් සින්ග් හට ආරාධනා ලැබී තිබෙනවා. ඒ Minnal Murali නැමැති මලයාලම් චිත්‍රපටය සෑදූ Basil Josephගේ අධ්‍යක්ෂණය යටතේ යි.
ඉහත සඳහන් කළ චිත්‍රපට සියල්ලම සැලසුම් කළ පරිදි සිදු වුවහොත්, Ranveer Singhගේ ජනප්‍රියත්වය සහ තරු ගුණය මෙතෙක් ඉන්දියාවේ කිසිදු නලුවෙකු සතු නොවූ තරමටම ඉහළ යා හැකි බව නම් නොඅනුමානයි..!!!

Share

84 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.