මේ ලිපියෙහි දැක්වෙන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් ව‍ූ වගයි’ කෘතිය සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියේ දෙවන කොටස යි. සංක්ෂිප්ත වශයෙන්, එම කෘතියේ දැක්වෙන්නේ යටත්විජිත සමය තුළ වර්ධනය වූ නව දේශීය ධනේශ්වර පන්තියේ කතාවයි. කෘතියේ මූලික තිසීසය සාරාංශ කිරීම අපහසු නැත: අද ‘ලොක්කන්’ වී සිටිනා බොහෝ දෙනෙක් පරම්පරා කීපයකට පෙර ‘සොක්කන්ය’. අද ‘ප්‍රභූන්’ බවට පත්ව තිබෙනා බොහෝ දෙනා පරම්පරා කීපයකට ‘නෝබොඩීස්ලා’ වේ.

නමුත් අපහසු වන්නේ මේ සරල කරුණුමය සත්‍යය අපේ දේශපාලන සිතීමේ ප්‍රායෝගිකත්වය සමග සම්බන්ධ කිරීමයි. ලස්සනට ඇඳ පැළඳගෙන, තමන් සතු විශාලම රත්තරන් ආභරණ ප්‍රදර්ශනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැහෙන්න යන ‘රැඩිකල් මිනිසුන්’ දුටු විට අපට සිහිපත් වන්නේ මෙයයි. අපට ඉතිහාසයක් අවශ්‍ය වන්නේ මේ නිසාය. අපේ රටේ ප්‍රභූ දේශපාලනය ඓතිහාසිකව මුහුණ දුන් තියුණුතම අර්බුදය සහ ඒ මතින් බලය ලබාගත් පශ්චාත්නූතන බොනපාට්වාදයක් බවට පත්ව ඇති වර්තමානය සඳහා මේ ඉතිහාසයේ පාඩම වඩාත් වැදගත් විය හැකිය: මේ තිබෙන්නේ ‘රනිල් වික්‍රමසිංහලාගේ’ ඉතිහාස කතාවයි.

අප පළමු කොටසෙන් මෙම කෘතියේ දීර්ඝ හැඳින්වීම සාරාංශ කළ අතර අප දැන් ආරම්භ කරන්නේ එහි පළමු කොටසෙහි, පළමු පරිච්ඡේදය යි. පළමු කොටස නම් කර තිබෙන්නේ ‘ප්‍රධාන වශයෙන් යටත් විජිත අහුකොනක සොක්කෝ’ ලෙස වන අතර පළමු පරිච්ඡේදය වන්නේ ‘පූර්ව – වැවිලි කර්මාන්ත ආර්ථිකය තුළ වෙළඳාම සහ ධන සමුච්චය’ යි. මෙහි පළමු ලිපිය මෙතැනින් කියවිය හැකිය.   

            ආසන්න වශයෙන් මෙම පරිච්ඡේදය තුළ සාකච්ඡාවට ගැනෙන්නේ ලන්දේසි පාලන සමයේ අවසානය සහ බ්‍රිතාන්‍ය පාලන සමයේ, මුල් කාලය එනම් 1830 දක්වා වූ කාල පරිච්ඡේදයයි. මෙරට ධනේශ්වරයක් බිහි වීමේ පූර්ව අවධිය මෙම කාල පරිච්ඡේදය වන අතර කුරුඳු හැරෙන්නට අපනයනය සඳහා වැවිල කර්මාන්තය ඒ වන විට ආරම්භ වී තිබුණේ නැත. මෙම කාලයේදී බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුවද තම ආසියාතික යටත් විජිත තුළින් සාර්ථක ලාභ ප්‍රයෝජන ලබා නොතිබීමට මූලික හේතුවක් වූයේ බාධාකාරී ආර්ථික ප්‍රතිපත්තියයි. බ්‍රිතාන්‍යයන්ට පෙර මෙරට පාලනය කළ යුරෝපිකයන්ගෙන් උරුම වූවක් ලෙසම ඔවුන්ද තම පළමු දශක දෙක තුන එම ආකාරයෙන්ම පාලනය කිරීම ඊට හේතු විය.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මුල් කාලයේදීත්, පෙර පැවැති ලන්දේසි සමය තුළ වෙළඳාම පැවතියේ බාධාකාරී රාජ්‍ය ප්‍රතිපත්ති යටතේය. මෙමගින් වෙළඳපල තරඟකාරීත්වය හීන වුණු අතර රාජ්‍ය පාලනය හා වෙළඳාම අතර තියුණු සම්බන්ධයක් නිර්මාණය විය. එකල මෙරට ප්‍රධාන අපනයන ද්‍රව්‍ය වූයේ ස්භාවික ඛනිජ ද්‍රව්‍ය, ශාක සහ සත්ත්ව නිෂ්පාදන, කුරුඳු සහ කුළු බඩු, මුතු සහ හක් බෙල්ලෝ මෙන්ම අලි ඇතුන් ය. යුරෝපීයන් යටත් විජිත සමය ආරම්භයේදී යම් කිසි වෙළඳවාදී ප්‍රතිපත්ති මත මෙම අපනයන ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට රැගන ගියහ. මෙම යටත් විජිත රාජ්‍යයේ වෙළඳ සමාගම්වල මූලික ඉලක්කය වූයේ අපනයනය, ආනයනයට වඩා වර්ධනය කර, එම අපනයන භාණ්ඩ අඩුමිලට ලබාගෙන තම රටවල්වලදී යළිත් වැඩි ලාබ ලබා ගැනීම පිණිස විකිණීමයි. එම නිසාම ඒවා යටත් විජිත රාජ්‍යයේ සහය ලබමින් ස්වකීය බලයක් හා අර්ධ මිලිටරි බලයක් පවත්වාගත් ආක්‍රමණශීලී ව්‍යාපාර ලෙස හැඳින්විය හැකිය. ‍

            පෘතුග්‍රීසින් විසින් පාලනය කළ මුහුදුබඩ පළාතේ වෙළඳාම ලන්දේසීන් පැමිණි පසු ඔවුන් අතර එය තවදුරටත් ශක්තිමත් විය. ඉන්පසු ලන්දේසි පාලනය විසින් ඇති කළ දැඩි සම්බාධක සහිත වෙළද ප්‍රතිපත්තියක් ගෙන යන ලදී. එහි ප්‍රතිඵලයක් වූයේ දේශීය මෙන්ම විදේශීය වෙළෙන්දන් නීති විරෝධී ක්‍රියා පිළිවෙත් ආරම්භ කිරීමත් හොර බඩු ජාවාරම සක්‍රීය වීමත්ය. හොර බඩු ජාවාරම තව තවත් දරුණු අතට හැරුණු විට මුහුදු බඩ ප්‍රදේශ මුර කිරීමත් නැව් අවසර පත් නිකුත් කිරීමත් සිදු කළද මෙම ජාවාරම් තවදුරටත් වර්ධනය විය. වෑන් ගොලෙනීස් නම් ලන්දේසි ආණ්ඩුකාරවරයා පවසා ඇති පරිදි ඉන්දීය වෙරළට කිට්ටු වූත්, පුද්ගලික වෙළද ලාබ අපේක්ෂා කරන්නන් සිටින සහ දේශීය ජනගහනයක් සහිත දූපතක වෙළදාමට තහංචි පැනවීම කළ නොහැකි දෙයකි. 

                මුල් වරට රාජකාරී ක්‍රමයෙන් ඉවත්ව කොන්ත්‍රාත් සහ වැටුප් ගෙවමින් ශ්‍රමිකයන් යොදාවාගෙන යම් ව්‍යවසාය කටයුතු (රෙදි විවීම, රෙදි සායම් දැමීම, සීනි) ආරම්භ විය. එහෙත් උඩරට රජවරුන් තම අවශ්‍යතා පරිදි භාවිතා කළ අනිවාර්ය සේවාවන් ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසීන්ද තම අවශ්‍යතා පරිදි භාවිතා කළෝය. පසුව මහා මාර්ග පද්ධතිය තැනීමටද මෙම වැඩවසම් ශ්‍රම සූරා කෑම භාවිතා කළ අතර සලාගම කුලයේ කම්කරුවන් ලන්දේසීන් විසින් මෙන්ම ඉංග්‍රීසීන් විසින්ද කුරුඳු වතුවල වැඩවසම් ශ්‍රම සූරා කෑමට හසු විය. ඇදුම් මැසීම වැනි රැකියා කිහිපයක් ලන්දේසින් විසින් තම පාලනයේ පවත්වා ගෙන යන ලදී. ආණ්ඩුකාර වැන් ගොඑන්ස් ඒ සඳහා දැඩි නීති පැනවීය. ක්‍රිස්තියානි ආගම මෙහිදී රාජ්‍යය පාලනය පවත්වාගෙන යාමේ ඍජු මෙවලමක් ලෙස භාවිතා විය:

“නිති පතා පල්ලි යාම මගින් තම සුදුසුකම් නොපෙන්වන දේශීය ක්‍රිස්තියානින් හෝ මිශ්‍ර පවුල්වලින් පැවත එන්නන් ඇදුම් මහන්නන්ගේ ශ්‍රේණීවලට බදවා ගනු නොලැබේ…. පල්ලි යන බව ප්‍රසිද්ධියේ ඔප්පු නොකරන ස්වදේශිකයින්ට මස්කඩ විවෘත කිරීමට ඉඩ නොලැබේ. (Reimers 1932:53)” (ජයවර්ධන. පිටු. 5)

            ලන්දේසීන් විසින් ඇති කළ දැඩි කොන්දේසි සහිත වෙළඳ ප්‍රතිපත්ති 19 වන සියවසේ මුල් භාගයේ බ්‍රිතාන්‍යයන් තුළද පැවිතිණි. ඩන්ඩාස් ආණ්ඩුකාරවරයා විසින් නව බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙමින් මෙරට වෙළඳාම් සිදු කරන ඕනෑම යුරෝපීය ජාතිකයෙකු හෝ ඇමරිකානුවෙක් අනිවාර්යෙන්ම බලපත්‍රයක් ගත යුතු බව දැන්වීය. ඊට හේතු ලෙස හෙතම ඉදිරිපත් කළේ ස්වදේශිකයින්ගේ ආරක්ෂාව සහ ඉන්දියානු පෙරදිග වෙළඳ සමාගමේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ඉන් නොනැවතුණු ඩාඩන්ස් යුරෝපිකයන්ට ඉඩම් ලබා දීම හෝ කොළඹින් පිට වාසය කිරීමට තහනම් කිරීමට නිර්දේශ කළේය. මේ ආකාරයට විවිධ බාධාකාරී වෙළඳ ප්‍රතිපත්ති හේතුවෙන් 1830 පමණ වන තෙක්ම යටත් විජිත වෙළඳාම සීමිත විය. එහි ප්‍රතිඵලයක් ලෙස එම ආසියානු යටත් විජිතද සැලකිය යුතු තරමේ වෙනස්කම්වලට ලක් නොවීය.

            මේ අතර වෙළඳාමට ඍජුව අදාළ නොවන දැඩි බදු ක්‍රමයක් ද ක්‍රියාත්මක විය. බොහෝ දෙනාගේ විවේචනය ලක් වූ ‘විනෝද බද්ද‘ හා කාන්තාවන්ගේ ආභරණ සහ සැරසිලිවලට පනවා තිබූ බදුද යෝනකයන්ට පමණක් පනවා තිබූ ‘ඇඟ බද්ද‘, ඒ අතර විය.

            මෙරට ඉතිහාසයේ තීරණාත්මක පරිවර්තනයක් ලෙස අර්ථකථනය කළ හැකි 1833 කොල්බෘෘක් – කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය නම් කළ හැකිය. එම කොමිෂන් සභාව විසින් මෙම අසාධාරණ සහ යල් පැන ගිය බදු දැඩි විවේචනය ලක් කරන ලදී. තවද මෙවැනි වෙළඳ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමෙන් යුරෝපීය ධනවතුන්ගේ ආයෝජන අධෛර්යමත් කෙරෙන අතර දේශීය ජනතාවද දුක්ඛිත තත්ත්වයකට ඇඳ දමනු ලබන බව ඔවුන් පෙන්වා දුන්හ.

            කෙසේ වෙතත් මේ අතර මෙරට ධනපති පංතියක් ක්‍රමයෙන් බිහි වෙමින් පැවතිණි. සමහරෙක් බ්‍රිතාන්‍ය පාලකයින් ඉක්මවා පොහොසතුන් බවට පත් විය.

“1809 දී යුරෝපීය සංචාරකයෙක් මෙසේ පැවසීය: සිංහල නිළධාරීහු තම නිවාස යුරෝපීය ශෛලියට සකස් කර රිදී ඉටිපන්දම් හෝල්ඩර්වල ගැසූ ඉටිපන්දම් පත්තු කරති…. කලින් අරක්කු පමණක් බිව් අය දැන් වයින්, බ්‍රැන්ඩි හා බීර බොති. කලින් හකුරුවලින් සෑහීමකට පත් වූ අය දැන් විදේශීය සීනි පාවිච්චි කරති. සියලුම දේශීයයෝ වඩා හොඳට ඇඳ පැළඳ ගෙන සිටිති.“ (ජයවර්ධන, පිටු. 10)

   කුමන වෙළඳ බාධක පැමිණියත්, භරත, පාර්ෂි සහ හෙට්ටි ඇතුළු ඉන්දියානු වෙළෙන්දෝ ශ්‍රී ලංකාව තුළ ආනයන අපනයන කටයුතුවලට බහුල වශයෙන් මැදිහත් විය. මෙරට අරක්කු වෙළඳාමේ සිට විවිධ ව්‍යාපාර ඔවුන් සතුව පැවතුණි. ඒ අතර ඉන්දියාවෙන් හාල් ආනනයන කිරීමේ ඒකාධිකාරය දැරුවේ හෙට්ටි වෙළෙන්දන්ය. කොල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පසුව ලැබුණු වෙළඳ නිදහස හේතුවෙන් ඔවුන් සාර්ථකත්වයට පත් විය. 1830 – 40 කාලය තුළ මෙරට සමස්ත වෙළඳාමේ කොඳු නාරටිය බවට පත් වූයේ නාට්ටුකොට්ටෙයි චෙට්ටියාර්වරුන් බව ජෝන් කැපර් පවසයි. මේ සියල්ල අතර මෙරට ලාංකික වෙළඳුන්ට වෙළඳාමෙන් වැඩි පංගුවක් ලබා ගැනීමට නොහැකි වුවත්, නොයෙක් භාණ්ඩ වෙළඳාම, ප්‍රවාහනය සහ කොන්ත්‍රාත් සැපයීම, අරක්කු සිල්ලරට විකිණීම වැනි කටයුතු සඳහා වැඩි වශයෙන් දායක වීමට හැකි විය.

මෙම කාල පරිච්ඡේදය තුළ ධනවාදයේ නැග ඒම සඳහා අවශ්‍ය පරිසරය සකස් වූ අතර මුදල්වලින් පමණක් ගනුදෙනු කිරීම දක්වා වෙළඳාම වර්ධනය විය. යටත් විජිත ආණ්ඩුවට සරිලන ආකාරයෙන් නීති රෙගුලාසි වෙනස් කිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් දේශීය අතරමැදියන්ගේ මැදිහත්වීම තවදුරටත් අතිරික්තය ජනනය කිරීමේ අභිලාෂයෙන් වර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව උනන්දු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ධනේශ්වර පංතියේ උපත සිදු වූ ආකාරය පිළිබඳ මී ළග කොටසින් සාකච්ඡා කරමු.

රංග මනුප්‍රිය