සමපෝෂ 14න් පහළ පාපන්දු ශූරතාවලියට කණ්ඩායම් 500+ක්

14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය 2023

294
14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය 2023

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය (SLSFA) විසින් සංවිධානය කරන “සමපෝෂ වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය” මේ මස (ජුනි) 13 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාමයක් වන CBL සමපෝෂ සමාගම මෙවර ද තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන අතර මේ සමඟ අඛණ්ඩව වසර 12ක් මෙම තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමේ ගෞරවය ද එම සමාගමට හිමිවනවා.

මෙවර තරගාවලියේ පළමු වටය දිස්ත්‍රික්ක 25 පිහිටි ක්‍රීඩාංගණ 32ක දී පැවැත්වීමට නියමිත අතර අවම වශයෙන් බාලක කණ්ඩායම් 470ක් සහ බාලිකා කණ්ඩායම් 130ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000ක් පමණ මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

පාපන්දු ක්‍රීඩාවට උනන්දුවක් දක්වන සියලුම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා එක් පාසලකින් කණ්ඩායම් දෙකක් තරගාවලියට එකතු කිරීමට මෙවර අවස්ථාව ලබා දී තිබෙනවා.

පළමු වටය ජය ගන්නා බාලක කණ්ඩායම් 32ක් සහ බාලිකා කණ්ඩායම් 24ක් ජාතික මට්ටමේ තරග වටයට සහභාගි වන අතර ජාතික මට්ටමේ තරග ජූලි 22, 23 සහ 24 යන දිනවල ඓතිහාසික දඹුල්ල නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව සමපෝෂ වයස අවුරුදු 14න් පහළ බාලක හා බාලිකා පාපන්දු ශූරතා සහ තෙවැනි ස්ථානය සඳහා වන තරගය ජූලි 29 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන බව තරග සංවිධායකයින් පවසනවා.

>>Photos – CBL Samaposha U14 Inter-School Football Championship 2023 – Press Conference<<

මෙම තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් බදාදා (7) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වුණා.

එහි දී අදහස් දැක්වූ CBL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි, තිලංක ද සොයිසා මහතා,

සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍යදායී උදසන ආහාර වේලකින් දවස ආරම්භ කරමින්, දරුවන් අතර යහපත් පුරුදු දිරිමත් කිරීමට හැකි බව අපි තරයේ විශ්වාස කරනවා. ක්‍රීඩාව දරුවන්ගේ ශාරීරික ශක්තිය සහ දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමටත්, ඔවුන්ගේ මානසික හික්මීම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉගැන්වීමට සහ ඔවුන් තුළ පූර්ණ සංවර්ධනයක් ඇති කිරීම සඳහා කදිම මෙවලමක්. SLSFA හා අප පවත්වා ගෙන යන දශකයකට වැඩි දිගුකාලීන හවුල්කාරිත්වය සමඟින් සෞඛ්‍ය සම්පන්න, වඩාත් සතුටින් සිටින සහ මනා සංයමයෙන් යුත් අනාගත පරපුරක් ගොඩනැගීම සඳහා ඔවුන්ගේ සහය අපි තව දුරටත් අපේක්ෂා කරනවා,” යැයි ප්‍රකාශ කළා.

එහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති බණ්ඩාර ලීලාරත්න මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

මෙම තරගය සුවිශේෂී වන්නේ රටේ දුර බැහැර නගරවල හා ප්‍රදේශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා සහභාගී වීමට සහ තරකිරීමට අවස්ථාව ලැබීමයි. වයස අවුරුදු 14න් පහළ කාණ්ඩය මේ වන විට සැලකිය යුතු මට්ටමකින් සහ වඩාත් හොඳින් සූදානම් වී සිටිනවා. එම නිසා අපි මේ වසරේ තරග කිරීම සඳහා වැඩි අපේක්ෂාවකින් පසු වුනා. මෙම උත්සාහ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහය වීම පිළිබඳව සමපෝෂ වෙත මගේ ස්තතිය පුද කරනවා.

මෙම මාධ්‍ය හමුව අතරතුර ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ නිල වෙබ් අඩවිය ද හඳුන්වා දීම සිදු කෙරුණා.

සමපෝෂ වයස අවුරුදු 14න් පහළ පාපන්දු ශූරතා තරගාවලියේ බාලක අංශයේ වත්මන් ශූරතාව කින්නියා මධ්‍ය මහා විද්‍යාලය සතු වන අතර බාලිකා අංශයේ ශූරතාව යාපනය මහජන විද්‍යාලය සතු වනවා.

තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<