2023 වෙළඳසේවා පළමු පෙළ ශූරතාවය දෙස හැරී බලමු

MCA Premier League 2023

201

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ MCA Premier League 2023 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට 3DH International කණ්ඩායම පසුගිය දා සමත් වුනා.

ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ MAS Unichela කණ්ඩායමයි. අවසන් මහා තරගය කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති අතර එහි දී 3DH International ක්‍රීඩකයෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

3DH International කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ

ප්‍රතිවාදීන් ප්‍රතිඵලය
1 Maliban Biscuits Maliban Biscuits කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 25ක ජයක්.
2 MAS Unichela 3DH International කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
3 Singer Sri Lanka Singer Sri Lanka කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
4 Softlogic Holdings 3DH International කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
5 Softlogic Holdings 3DH International කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
අවසන් පූර්ව වටය
6 Maliban Biscuits 3DH International කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
අවසන් මහා තරගය
7 MAS Unichela 3DH International කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයක්.

මෙම තරගාවලිය සඳහා Maliban Biscuits, Singer Sri Lanka, MAS Unichela, Softlogic Holdings සහ 3DH International යන කණ්ඩායම් 5 එක් වුනා. ජයග්‍රාහී 3DH International ක්‍රීඩකයෝ තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු සේ ම අපරාජිතයන් ලෙසින් පෙරමුණට පැමිණෙමින් සිටි Maliban Biscuits කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා.

අවසන් මහා තරගය

වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ ක්‍රීඩාංගණයේ තත්ත්වය හේතුවෙන් ආරම්භ වූයේ පන්දුවාර 44කට සීමා වූ තරගයක් ලෙසිනුයි.

නමුත් වර්ෂාව වරින් වර පතිත වීම හේතුවෙන් තරගයේ නියමිත පන්දුවාර ප්‍රමාණය ඒ සෑම අවස්ථාවක ම වෙනසකට ලක් වුනා.

කාසියේ වාසිය දිනා ගත් 3DH International ක්‍රීඩකයෝ පන්දු යැවීම තෝරා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි MAS Unichela සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 150ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් රමිත් ගුණරත්න පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා. එම ඉනිම ඒ තරමින් පාලනය කිරීමේ දී මිරංග වික්‍රමගේ ලකුණු 25කට කඩුලු 5ක් දවා ගත්තා.

ඊට අමතර ව අශේන් ඩැනියෙල් සහ සචිඳු කොළඹගේ කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි 3DH International ක්‍රීඩකයන්ගේ ඉනිම පන්දුවාර 37කට සීමා වුනා. එහෙත් තරගය ක්‍රියාත්මක වීමේ දී ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 23.1ක දී නතර කිරීමට සිදු වුනා. ඒ වෙද්දී 3DH International ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 137ක් ලබා සිටියා.

එම දත්ත අනුව තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණන කිරීමේ දී ජයග්‍රහණය සඳහා කඩුලු 2ක් දැවී ඔවුන්ට අවශ්‍ය වූයේ ලකුණු 135ක් පමණයි. ඒ අනුව ඔවුන්ට කඩුලු 8ක ජයග්‍රහණයක් හිමි වුනා.

3DH International වෙනුවෙන් ආරම්භක පිතිකරු ලොහාන් ද සොයිසා පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තා. එය අවසන් මහා තරගයේ දී ක්‍රීඩකයෙක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වුනා.

ඊට අමතරව අනෙක් ආරම්භක පිතිකරු කෝසල රවිඳු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා.

තරගය අවසන් වන විට ඉසිවර දිසානායක පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 30ක් සහ තවීෂ කහදූවආරච්චි පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.

දැවී ගිය කඩුලු 2 රුචිර පුපුලේවත්ත සහ ලහිරු සිල්වා අතර බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • MAS Unichela – සියලුම දෙනා දැවී 150 (40.3) රමිත් ගුණරත්න 41, සුඛිත මනෝජ් 25, කළණ සංදීප නොදැවී 28, අශේන් ඩැනියෙල් 2/35, මිරංග වික්‍රමගේ 5/25, සචිඳු කොළඹගේ 2/27
  • 3DH International – කඩුලු 2ක් දැවී 137 (23.1) කෝසල රවිඳු 29, ලොහාන් ද සොයිසා 69, ඉසිවර දිසානායක නොදැවී 30

අවසන් තරගය අවසානයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලීන් වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහේෂ් ද අල්විස්, විධායක කමිටු සාමාජික අජිත් සියඹලාපිටිය සහ තරග තීරක නල්ලයියා දේවරාජන් යන මහත්වරුන් සහභාගී වූවා.

  • අවසන් තරගයේ වීරයා – මිරංග වික්‍රමගේ (3DH International)
  • තරගාවලියේ වීරයා – මිතුන් ජයවික්‍රම (Singer Sri Lanka)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – තරිඳු අමරසිංහ (MAS Unichela)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – අශේන් ඩැනියෙල් (3DH International)

 

ජයග්‍රාහී කණ්ඩායමේ පෙර ගමන්කරුවෝ

3DH International ජයග්‍රහණය කරා පැමිණි ගමනේ දී පිතිකරුවෙක් ලෙසින් වැඩිම දක්ෂතා දැක්වූයේ ලොහාන් ද සොයිසා. ඔහු තරග 7කට සහභාගී වෙමින් අවසන් මහා තරගයේ දී ලබා ගත් අර්ධ ශතකයත් සමඟින් ලකුණු 233ක් ලබා ගන්නවා.

එහි දෙවැනි ස්ථානය තරග 6ක දී ලකුණු 113ක් ලබා ගත් කෝසල රවිඳු සතු වන අතර තෙවැනි ස්ථානය තරග 7ක දී ලකුණු 107ක් ලබා ගත් තවීෂ කහදූවආරච්චි සතු වුනා.

පන්දු යවන්නන් අතරින් ඉහළ ම දක්ෂතා දැක්වූ පන්දු යවන්නා වූයේ නායක අශේන් ඩැනියෙල්. ඔහු තරග 7ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 20ක්. ඔහු තරගාවලියේ දැක්වූ දක්ෂතා අනුව වැඩිම කඩුලු ලාභියා වෙමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් වුනා.

ඔහුගේ දක්ෂතා අතර ඉහළින් ම කියැවැන්නේ MAS Unichela කණ්ඩායමට එරෙහිව ලකුණු 7කට දවා ගත් කඩුලු 5යි. ඊට අමතර ව Maliban Biscuits සහ Softlogic Holdings කණ්ඩායම්වලට එරෙහිව කඩුලු 4 බැගින් දවා ගැනීමට ද ඔහු සමත් වුනා.

එහි දෙවැනි ස්ථානය තරග 5ක දී කඩුලු 12ක් ලබා ගත් සචිඳු කොළඹගේ සතු වුනා. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වූයේ  Softlogic Holdings කණ්ඩායමට එරෙහිව ලකුණු 26කට දවා ගත් කඩුලු 4යි.

ඊට අමතර ව අවසන් තරගයේ වීරයා වූ මිරංග වික්‍රමගේ  3DH International වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතරින් තෙවැනි ස්ථානය හිමි කර ගත්තා. ඔහු තරග 7ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 9ක්.

3DH International කණ්ඩායම: අශේන් ඩැනියෙල් (නායක), කෝසල රවිඳු, ලොහාන් ද සොයිසා, ඉසිවර දිසානායක, තවීෂ කහදූවආරච්චි, සචිඳු කොළඹගේ, සචින්ත රවිඳු (කඩුලු රකින්නා), කවිඳු එදිරිවිර, මිරංග වික්‍රමගේ, නිපුන් රන්සික, විහාන් ගුණසේකර, අකිඳු කරුණාරත්න, හසංග නානායක්කාර, ජොහැන් ද සිල්වා, කවිඳු පෙරේරා, කෝසල රවිඳු, ලහිරු කනිශ්ක, මිතිර තේනුර, සම්පත් නිශ්ශංක, උමයංග සුවාරිස්, විහාන් ගුණරත්න, විහඟ රුවනරා, යසිරු තාරක, යොහාන් බණ්ඩාර.

ජයග්‍රාහී 3DH International කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<