Image: Tissa Ranasinghe, “The Awakened One”, (image reproduced in Gananath Obeyesekere’s “The Awakened Ones: Phenomenology of Visionary Experience”)

පහතින් තිබෙන්නේ මෙයට වසර 40 ට පමණ පෙර කාලෝ ෆොන්සේකා විසින් සිදු කළ ජනප්‍රිය මහජන අත්හදාබැලීම් වල කොටසක් දැක්වෙන කුඩා වීඩියෝවකි. වීඩියෝව දැක්වෙන්නේ දෙවියන්ගේ නාමයෙන් ගිනි පෑගීම සඳහා අධි-මානුෂික බලයක සහයෝගය අවශ්‍ය නොවන බව කාලෝ ෆොන්සේකා ඇතුළු කණ්ඩායම පෙන්වා දෙන ආකාරයයි. ඔවුන් සිතා මතා ආගමික විශ්වාසයන් කඩ කරයි – මත්පැන් පානය කරයි, ඌරු මස් ආහාරයට ගනියි. මේ මගින්, අවම වශයෙන්, ‘දෙවියන්ගේ ආරක්ෂාව’ නොමැතිව වුවත් ගිනි පෑගීම කළ හැකි බව පැහැදිළි වේ.

අවශ්‍යනම් කෙනෙකුට කාලෝ විසින් සිදු කරන දෙය ඉතා පැහැදිලිව ‘ආගමික විශ්වාසයකට රිදවීමක්’ කියා අර්ථකථනය කිරීමේ හැකියාවක් තිබේ. නමුත් මෙවැනි දේ නිසා කාලෝ ට එරෙහිව මර්දන යන්ත්‍රණය කැඳවීමක් එකල සිදු වූයේ නැති බවත් අපි දනිමු. ඒ වෙනුවට එහිදී ආගමික විශ්වාසයන් විචාරයට බඳුන් කිරීමේ අයිතිය පොදු පිළිගැනීමට ලක් විය. ඒවාට එකඟ නොවූ පිරිසක් ද සිටිය මුත්, ඔවුන් ද පොදු සමාජ සංවාදයේ එක් පාර්ශවයක් මිස එහි එකම බලය බවට පත්වූයේ නැත. එම නිසා මෙවැනි ක්‍රියාකාරම් සිදුකරන තැන් වලට එකල ‘ඩෑන් ප්‍රියසාද්ලා’ කඩා පාත් වූයේ නැත.

මෙවැනි පරිවර්තනයක් අපේ සමාජයේ සිදු වූයේ කෙසේද? මේ සඳහා එක් පැහැදිළි කිරීමක් ලෙස අපට මෙවැනි දේ සටහන් කර තැබිය හැක. කාලෝ ෆොන්සේකා ක්‍රියාත්මක වූයේ හුදු ‘මිත්‍යා විශ්වාසයන්’ වලට එරෙහිව පමණක් නොව එයට වඩා පුළුල් නූතනවාදී ලෝක දැක්මක් වෙනුවෙනි. මාක්ස්වාදය යනු මෙම නූතනවාදී ව්‍යාපෘතියේ කේන්ද්‍රීය ප්‍රකාශනය විය. කාලෝ යනු ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකි. එකල ‘සැබැවින්ම පවතින සමාජවාදය’ (‘really existing socialism’) කියා දෙයක් තිබුණි. ආගමික විශ්වාසයන් පිළිබඳව විවේචන පැමිණියේ මෙවැනි සන්දර්භයක සිටයි.

නමුත් කාලෝ ගේ ලෝක දැක්ම 80 දශකයේ දී වර්ධනය වූ පශ්චාත්නූතනවාදී දර්ශනවාදයන් හමුවේ පරාජයට පත් වූ බවත් අපි දනිමු (මෙහි ප්‍රමුඛ ලාංකික ප්‍රකාශනය වන්නේ නලින් ද සිල්වා ය). පශ්චාත්නූතනවාදය යනු ‘සත්‍යය’ යන අදහසට එල්ල වූ තියුණු දාර්ශනික අභියෝගයකි. ආගම් යනු මිත්‍යා විශ්වාසයන් කියා විවෘතව අද දවසේ කියන්න බොහෝ දෙනෙකුට අපහසු වන්නේ මෙම නිසාය. එසේ කළහොත් එය ද තවත් එක් විශ්වාසයක් කියා පශ්චාත්නූතනවාදීන් අපට කියයි. එයට අනුව නිරාගමිකත්වය යනුම තවත් එක් විශ්වාසයකි.

මෙම ඓතිහාසික අභියෝගයට මුහුණ දෙන්නේ නොමැතිව ‘අදහස් ප්‍රකාශ කිරීමේ’ නිදහස වැනි දෙයක් වෙනුවෙන් දේශපාලනිකව සංවිධානය එතරම් පහසු වන්නේ නැත. ‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය’ මගින් ප්‍රායෝගිකව ඉල්ලා සිටින්නේ උපහාසාත්මක අදහස් පල කිරීම පමණක් වන විට, එම උපහාස පදනම් වන සබුද්ධික ලෝක දැක්ම කුමක්ද කියා නිරවුල් නොවන විට, ‘උපහාසය’, ‘අපහාසය’ ලෙස අර්ථකථනය කිරීම හෙජමොනික් දේශපාලනය තුළ අපහසු වන්නේ නැත. එයට එරෙහි වීම සඳහා පොදු සමාජ අවකාශයේ කිව හැකි දේ සහ කිව නොහැකි දේ සම්බන්ධ නව සම්මුතියක දැවෙන අවශ්‍යතාවයක් අපට තිබේ. නමුත් ගැටලුව වන්නේ මෙම අයිතිය මගින් ඉල්ලා සිටින්නේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක් සෙට් වී හයියෙන් සිනහ සීමට ඇති අයිතියට වඩා බැරෑරුම් දෙයක් කියා ඒත්තු ගැන්වීමයි.

හසලක තුෂාර කියන්නේ ‘මොකෙද්ද’ කියා දෙරණේ සංඛ අමරජිත් විමසා සිටියේ ය. හසලක කියන කරන දේ සම්බන්ධයෙන් අපට ද විවේචන තිබේ (ඔහු පසුගිය කාලයේ ජාතික ජන බලවේගයට සිනහ වූ ආකාරය අප අතින් විවේචනය විය). නමුත් දෙරණේ සංඛ අමරජිත් ට වඩා හසලක තුෂාර යනු ඉතාම ඉහළ දෘෂ්ඨිවාදීහරණයක් සහිත පුද්ගලයෙක් බවත් අපි පුද්ගලිකව දනිමු. ‘දෘෂ්ඨිවාදීහරණය’ යන්නෙන් අදහස් වන්නේ අපට දෙන ලද ලෝකය සහ එහි අඩංගු වන බල ධූරාවලීන් අනිවාර්යය නොවනවා කියා වටහා ගැනීමයි. මෙයට පරස්පරව දෙරණේ සංඛ අමරජිත් යනු දෘෂ්ඨිවාදයන් වල පූර්ණ ගොදුරක් සඳහා අවාසනාවන්ත නිදර්ශනයක් කියා කිව හැකිය. නමුත් ‘දෘෂ්ඨිවාදය’ ‘දෘෂ්ඨිවාදයක්’ බව කියන්නේ කුමන ඥානවිභාගාත්මක ආස්ථානයක සිට ද? පශ්චාත්නූතනවාදීන් ප්‍රතික්ෂේප කරන්නේ මෙවැන්නක වියහැකි බවයි. එය කළ නොහැකි තාක් හෙජමොනික් දේශපාලනය තුළ හසලක තුෂාර ‘මොකෙද්ද’ කියා නාමකරණය කිරීමේ හැකියාව ‘අපේ’ අතට ගැනීම ඉතාම අපහසු වනු ඇත.

https://www.facebook.com/Philosophyinthewestbank/videos/629354242574469/