HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිහින්තලේ තිස්ස රජතුමා හඹා ‘ගෝනා’ පසුව ‘මුවා’ වුණේ කොහොමද?

 මිහින්තලේ මිස්සක වනයේ දෙවන පෑතිස් රජතුමා දඩ‍ කෙළියේ දී හඹා ගිය ‘ගෝනා’ පසුව ‘මුවා’ වුණේ කොහොම ද? එය කබරගොයා තලගොයා කර ගන්නා සිංහලයන්ගේ පුරුද්ද නිසා ඇති වූවක් ද නැතිනම් සිංහල සිත්තරුන් පින්තාරුව ලස්සන කරන්න කළ පෙරළියක් ද නොදනිමු. හේතුව කුමක් වුවත් ඒ පෙරළිය ගැන සඳහන් කරමින්, සත්ව අහිංසාව පිළිබඳ ඒ අපේ පැරණිම අත්දැකීම ඔස්සේ ලියන මේ ලිපියෙන් අපේ සුමිතුරු මහඇදුරු ප්‍රණීත් අභයසුන්දරයන් අප වෙත විහිදුවන ඤාණාලෝකය අපේ සිතට තදින් කා වැදුණු නිසා, එය අපේ රට වැසියන්ටත් ලබා දීමේ අරමුණින් මෙසේ ‘මල්කැකුළු’වල පළ කිරීමට තීරණය කළෙමු. අප එසේ කීවේ මෙය පළ වූයේ කිසිම සාධාරණ හේතුවක් නොමැතිව අපේ රජය විසින් අපේ රටවැසියනට කියවීම වාරණය කොට ඇති ‘ලංකා ඊ නිවුස්’හී වීම නිසාය. මෙවැනි ලිපි නිරන්තරයෙන් ම එහි පළ වෙයි. 

මිහින්තලේ දී තිස්ස රජතුමා හඹා ‘ගෝනා’ පසුව ‘මුවා’ වුණේ කොහොමද?

මිහින්තලේ දී එදා ‘ගෝනා’ මෙදා ‘මුවා’ 
වුණේ සිත්තරුන්ගේ හාස්කමක්ද?

අලි ඇතුන් මරා දැමීම ඇතුළු සතුන්ට එරෙහි කෲරත්වය පිළිබඳ අනේක විධ පුවත් බෞද්ධ වශයෙන් සම්මත බහුතරයකින් යුතු අප රටේ දස අතින් වාර්තා වෙයි. ඒ අතරේ අබෞද්ධ රටවලින් මතුවන නවීන ගෝලීය සමාජ ප්‍රවණතා අතුරින් සත්ව අහිංසාව සහ සත්ව හිමිකම් සුරැකීමට ප්‍රමුඛත්වයක් හිමිවෙමින් තිබේ .එය මෙතෙක් අප රටේ නිසි පරිදි අවධානයකට ලක් නොවූ තත්ත්වයකි. ඒ සම්බන්ධයෙන් ලොව පුරා සමාජ මානව විද්‍යාඥයන්ගේ පොදු මතය වනුයේ වත්මන් සත්ව අහිංසා ප්‍රබෝධය මානව බුද්ධි පරිණාමයේ ප්‍රගමනය මනාව සලකුණු කරන්නක් බව ය. ඒ අනුව අපට වටහා ගත හැක්කේ මානව බුද්ධි පරිණාමයේ ප්‍රගමනය සම්බන්ධයෙන් බෞද්ධ වශයෙන් සම්මත බහුතරයකින් යුතු වත්මන් ශ්‍රී ලාංකේය ජනතාව ලොව දියුණු රටවලට වඩා පසුගාමී මට්ටමක පසුවන බවකි. 

සත්ව අහිංසාව සහ සත්ව හිමිකම් සුරැකීම සම්බන්ධ ගෝලීය නැඹුරුවට දිගු ඉතිහාසයක් තිබේ. දහතුන් වන සියවසේ ඉතාලියේ අසීසි නුවර ජීවත් වූ සත්ව අහිංසාව වෙනුවෙන් දිවිය කැප කළ කතෝලික පියතුමකු පසුව එම කරුණ මුල් කොටම සාන්තුවර තත්වයට පත් ව තිබේ. ඒ අනුව එතුමන් අනුස්මරණය කෙරෙන ඔක්තෝබර් 04 මේ වන විට "ලෝක සත්ව දිනය" යනුවෙන් ප්‍රකාශයට පත් කොට ඇත. 

නමුදු අප රටේ සත්ව අහිංසා ඉතිහාසයට ඊටත් සියවස් දහසයක් තෙක් අතීතයට දිව යන ඉතිහාසයක් තිබේ. ඒ ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ සිදු වූ මහින්දාගමනයත් සමඟිනි. මහා වංසයේ දා හතර වන පරිච්ඡේදයේ මුල්ම ගාථා පාඨ පහට අනුව මිහින්තලා කඳු මුදුනට තම ශ්‍රාවක සංඝයා ද සමඟ වැඩ කළ මිහිඳු මා හිමියන් ගෝනකු පසුපස ලුහු බඳින දේවානම් පිය තිස්ස රජ තුමාගේ ඒ වෑයම වළකා තිබේ. එහෙත් , රජ තුමා විසින් ලුහුබඳින ලද ඒ ගෝනා නූතන සමාජය විසින් "මුවකු" බවට පත් කර ගෙන තිබේ. රජ තුමා මිස්සක පව්ව අද්දර මුව දඩයමේ යමින් සිටි මුත් එම සිදුවීමට සම්බන්ධ වනුයේ ගෝනකු බව අඩුම ගානේ පාසල් පොතකවත් සඳහන් ව නැත. එවන් පසුබිමක් යටතේ ඊට සියවස් දහසයකට පසුව හෝ සත්ව අහිංසාවේ උතුම් බව ලොවට කියා පෑ එම උදාර චරිතයට සාන්තුවර තත්වයක් හිමි කර දුන් ලෝක කතෝලික ප්‍රජාවට අප කෘතඥ විය යුතු ම ය. 

මෙම මිහිතලය මිනිසුන්ගේත් සතුන්ගේත් ප්‍රාණීන්ගේත් සම උරුමයක් මිස මිනිසාගේ තනි උරුමයක් නොවේය යන්න ස්වභාවික යුක්ති ධර්මය අපට හඬ ගා කියන පණිවිඩයකි. නමුදු ලොව ආගම් පිළිබඳව සිදු කරන හැදැරීම්වලදී ඒ ඇතැම් ආගම්වල තත්කාලීන භෞතික, පාරිසරික සහ දේශගුණික තත්වයන් යටතේ මිනිසාගේ ප්‍රයෝජනය පිණිස සත්ව ඝාතනය විවිධ කොන්දේසිවලට යටත්ව නිර්දේශ කොට තිබේ. එහෙත්, එම කොන්දේසි එකි’නෙක පිළිබඳව විමසා බැලීමේ දී ඒවා අපගේ ගැමි වහරට අනුව කිවහොත් “නොකෙරෙන වෙදකමක” ස්වරූපයෙන් පනවා ඇති බවක් හැඟේ. ඉන් පැවසෙනුයේ මිනිසා ගේ ප්‍රයෝජනය උදෙසා වුව කිරීමට අන් කිසිම දෙයක් නොමැති නම් පමණක් සත්ව ඝාතනයකට පෙළඹෙන ලෙස ය. 

එහෙත් මෙහිදී බොහෝ දෙනා ගේ අවධානයට යොමු නොවන තවත් විශේෂ කරුණක් තිබේ. එනම් මෙහි දී එම ආගම් මගින් ඉතා සීමිත තත්වයන් යටතේ සත්ව ඝාතනය සම්බන්ධයෙන් සිදු කොට ඇති නිර්දේශ හුදු අනුමත කිරීම් නොවන බවකි. නිර්දේශය සහ අනුමැතිය යනු එකි’නෙකට සපුරාම වෙනස් ස්ථාවරයන් බව කිව යුතු ය. 

නමුදු මෙවන් තත්වයන් යටතේ වුවද සියවස් ගණනක් තිස්සේ අඛණ්ඩව සිදු වූ මානව බුද්ධි පරිණාමයේ දී මෙම මිහිතලය මිනිසුන්ගේත් සතුන්ගේත් ප්‍රාණීන්ගේත් සම උරුමයක් මිස මිනිසාගේ තනි උරුමයක් නොවේය යන ස්වභාවික යුක්ති ධර්මය මත පදනම් වූ සනාතන ධර්මය කෙමෙන් මිනිස් සිත් සතන් තුළ රෝපණය වී ප්‍රවර්ධනයකට ලක් වෙමින් තිබේ. 

මෙය ක්‍රිස්තු පූර්ව හය වන සියවසේ භාරතයේ පහළ වූ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ”‍යේ කේචි පාන භූතත්ථි තසාවා ථාවරාවා අනවසේසා. දීඝාවායේ මහන්තාවා මජ්ඣිමාරස්ස කානුකථූලා. දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදුරේ. භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”‍ (කෙලෙස් සහිත සත්වයෝ ද, නිකෙලෙස් රහතන් වහන්සේලා ද දිග් ශරීර ඇති සත්වයෝ ද, මහත් ශරීර ඇති සත්වයෝ ද, මධ්‍යම ශරීර ඇති සත්වයෝ ද, කුඩා සත්වයෝ ද, වටකුරු සත්වයෝ ද, දුර සිටින සත්වයෝ ද, ළඟ සිටින සත්වයෝ ද, ඇසට පෙනෙන සත්වයෝ ද ඇසට නොපෙනෙන සත්වයෝ ද, ඉපදුන සත්වයෝ ද, ඉපදීමට සිටින සත්වයෝ ද යනුවෙන් මෙම සියලු‍ සත්වයින්ටම නිදුක්වේවා, නිරෝගිවේවා, සුවපත්වේවා) ආදී වශයෙන් සඳහන් කරණීය මෙත්ත ආදී සූත්‍ර ධර්මයන්ගෙන් පැවසේ. එසේ වුව ද සත්ව අහිංසාව සහ සත්ව හිමිකම් පිළිබඳ නවීන චින්තන ධාරාව බිහි වී ඇත්තේ එම සූත්‍ර ධර්ම පදනම් වූ කරුණුවල ආභාසයෙන් නොවන බවත්, මානව බුද්ධි පරිණාමයේ පිබිදීමක් මුල් කොට ගත් මානව චින්තාවක් අනුව බවත් අතිශයින් පැහැදිලි ය. 

ක්‍රි. පූර්ව තුන් වන සියවසේ සිදු වූ මහින්දාගමනය හෙවත් ශ්‍රී ලාංකේය ජන සමාජයට බුදු දහම අවශෝෂණය වීම බුදු දහමේ දාර්ශනික හරයට වඩා එහි සංස්කෘතික සන්දර්භය ශ්‍රී ලාංකේය ජන සමාජය තුළට අවශෝෂණය වීමක් බව පොදු මතයයි. නමුදු මගේ පෞද්ගලික වැටහීම ඊට තරමක් වෙනස් ය. එනම් බුදු සමය ශ්‍රී ලාංකේය ජන සමාජයට අවශෝෂණය වූ අනුරාධපුර රාජධානී සමයේ ආරම්භයේ සිට මේ දක්වාම බුදු දහමේ දාර්ශනික හරය ඉතා සියුම් ලෙස ශ්‍රී ලාංකේය ජන සමාජය තුළට සාන්ද්‍රණය වී ඇති බවකි. 

අතීත ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථිකය මුළුමනින්ම පාහේ සරල කෘෂි ශිෂ්ටාචාරයක් මත පදනම්ව ස්ථාපිත වූවකි. බුදු දහමට අනුව අගැයුමට ලක් වන අනේක විධ වෘත්තීන් අතරේ කෘෂිකර්මයට සහ ඒ හා බැඳුණු ගව පාලනයට ප්‍රමුඛස්ථානයක් හිමි වෙයි. ඒ අනුව වෘක්ෂලතා නොමැති ශුෂ්ක දේශගුණික කලාපවල ජීවත් වන්නවුන්ට මෙන් සත්ව මාංශ පදනම් කරගත් දිවි පෙවෙතකට යොමු වීමට ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය නොවිණි. 

එමෙන්ම, අතීත ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ජීවන රටාව තුළ මිනිසා කාමභෝගීත්වය යොමු කරවන සාධක ද ඉස්මතු නොවිණි. ඒ අනුව ඔව්හු කරණීය මෙත්ත සූත්‍රයේ එන අත්ථ කුසල ධර්ම දාහතර මත පදනම් වූ සරල චාම් දිවි පෙවෙතකට පුරුදු පුහුණු වූ බවක් පෙනෙයි. ඔවුන්ගේ මෙම සරල දැහැමි චින්තනය මත පදනම් වූ චර්යා රටාවන් පසුව ජන සම්ප්‍රදායන් බවටත් දෙවනුව ජන සංස්කෘතීන් බවටත් පත් වූ බව නිරීක්ෂණය කළ හැකි මානව විද්‍යාත්මක සාධක බොහෝ ය. 

සාක්ෂරතාව ඉතා අල්පව පැවැති අතීත ජන සමාජයේ ගැමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය නිකේතනය වූයේ ගමේ පන්සලේ බණ මඩුව ය. සාක්ෂරතාව මත පදනම් වූ ධර්ම විනය පිළිබඳ ප්‍රමාණික දැනුමකින් හෙබි භික්ෂුන් වහන්සේලා යම් ප්‍රමාණයකින් හෝ සැදුම්ලත් සංඝ සමාජයක් එවක පැවැතියේය. දවස පුරා හේනේ, කුඹුරේ වෙහෙස වන ගොවි පවුල් තම ආධ්‍යාත්මික සාපිපාසාව නිවා ගැනීමට පැමිණියේ ගමේ පන්සලේ බණ මඩුවට ය. එහිදී ඔවුන් කරුණු වශයෙන් ගොනු කරගත් දහම් දැනුමට වඩා බෞද්ධ දර්ශනය මගින් සාන්ද්‍රණය වන ප්‍රඥා සම්භාරය උකහා ගත් බවට ගොනු කරගත හැකි සාක්ෂි බොහොමයකි. 

“විෂ ඝෝර සර්පයා දැක නාරු මෝඩයා” යනු අප ජන වහරේ ප්‍රකට කවි දෙපෙළක් වන අතර මෙය සත්ව ඝාතනයට දිරි දෙන්නක් බව නූතනයේ බොහෝ දෙනකුගේ වැටහීම ය. එහෙත්, සැබැවින් ම එය අපගේ පැරණි ගැමි විඥානය තුළින් සමාජ ගත වූ දහම් ගැටයක් පදනම් කරගත් සිව්පද කවියකි. 

‘දෙරණ මත තුඹස    යා 
තුඹස තුළ නාග         යා 
විෂ ඝෝර සර්ප          යා 
දැක නාරු මෝඩ       යා’ 
             යනු එම කවියයි. 

මින් පැවසෙනුයේ මිනිස් ශරීරය පදනම් කර ගත් පංචස්කන්ධය තුළ හටගන්නා පංච උපාදානස්කන්ධයන් නිසා තෘෂ්ණාව නම් විෂ ඝෝර නාගයා සැඟ වී සිටින බව හා වහා ඒ තෘෂ්ණාවෙන් අත්මිදිය යුතු බවකි. නමුදු ඒ ගැඹුරු දහමේ එන දාර්ශනික හරය අද වන විට කෙතරම් විකෘති වී තිබේදැයි බලමු. 

අතීත ශ්‍රී ලාංකේය කෘෂිකර්මයේ වී ගොවිතැන හැරුණු කොට දෙවන තැන හිමි වූයේ හේන් ගොවිතැනට ය. කුඹුර යනු නිත්‍ය ලෙස සකසා ඇති වගා බිමක් වන මුත් හේන යනු වනගහනය යම් පමණකට හෙළි පෙහෙළි කොට වගා කළ යුතු ස්වභාවික වෘක්ෂලතා සහිත භූමියකි. එහෙත්, මෙම හේන් එළි කිරීම් පවා ආවාට ගියාට නොකළ යුත්තක් ය යන විශ්වාසය එදා මෙදා තුර ජන විඥානය තුළ තදින්ම රෝපණය වී තිබිණ. හේනක් කෙටීම පිණිස වනය හෙළි කිරීමේ කාරිය ආරම්භ කළ යුත්තේ "යායේ රාළ" නමින් හැඳින්වුණු ජන ප්‍රධානියකු විසිනි. හේන් වගාව සඳහා පළමුවෙන් ගසක් කැපීම “වල් අත්ත කැපීම” යනුවෙන් හඳුන්වන ලදී. එය හුදෙක් ලෞකික කාර්යයක් නොවූ අතර ඊට ආධ්‍යාත්මික පක්ෂයක් ද එක් කිරීමෙන් තමන් ද සොබා දහමේ නිමැවුමක් මිස සොබා දහමේ සතුරකු නොවන බව පැවසෙන දාර්ශණික පණිවිඩය සමාජගත කිරීමට තරම් අතීත ගැමියාගේ දාර්ශනිකත්වය මුවහත් වී තිබිණ. 

රුක් අත්තන පෙතන් පලු‍ බෝ මී     කහට 
බක් මී දිවුල් කොළ බෝ දාඹු මී             බට 
හික් දඹ ලෝලු‍ කොබ්බෑ කූරටි        දෙමට 
අක්වල් අත අල්ලනු මරු මුවා           කොට 

යන ජන කවියෙන් පැවසෙන අන්දමට වල් අත්ත කැපීම පිණිස යොදා ගත යුතු වෘක්ෂ නාමාවලියක් සේම එහි දී අනුගමනය කළ යුතු චාරිත්‍රාවලියක් ද වෙයි. එසේ වල් අත්ත කැපීමෙන් පසු හේන් වගාව සහ වනය හෙළි පෙහෙළි කිරීමෙන් පසු ඒවා ගිනි තබා බිම සකස් කිරීමට පෙර සති, දින, වරු ගණන් පැවසෙන යාදිනි කිහිපයක් ද විය. ඒ අතුරින් 'කැළෑ එළවුම් යාදින්න' වශයෙන් හැඳින්වෙන හේන් ගොවියන් විසින් මුර ගා පවසන මෙම යාදින්නේ ස්වරූපය මඳක් විමසා බලමු. 

"උඩින් එන සතුන්, බිමින් එන සතුන්, කුරගානා සතුන්, කන්කුණ්ඩෝ, ගොම්බෙල්ලෝ, හකරැල්ලෝ, හින්නෝ, කූඹියෝ, මෙකී නොකී ප්‍රාණයට ඇතුළත් සියලුම ජාතිවල සත්වයෝ අද පටන් මාසයක්/ සතියක්/ තුන් වරුවක්/ දෙවරුවක්/පැයක් පැය භාගයක් යන්නට පළමුවෙන් අහස මහා මේ පර්වතයේ උසට ගිනි ජාලාවක් එවන්නෙමි. ඒකට අසු නොවී අප අත වරද නොතියා, අප කමා කරවා යහතින් ජීවත් වෙන්න පුළුවන් පිළිවෙළක් බලා කියා ගෙන ඇළකින් දොළකින් එතෙර වී මහා නිල්වන් කැලයක් බලා පලෝ හූ...හූ....හූ.....". 

මෙම යාදින්න මගින් අතීත ගැමියන් කුරා කුහුඹුන් පවා දයා භරිත ලෙස ආමන්ත්‍රණය කෙරෙන ආකාරය අනුව අපගේ අතීත ජන සමාජය තරම් අවිහිංසාවාදී ජන කොටසක් ලෝකයේ අන් කවර හෝ රටක, දේශයක සමාජයක සිටියේ ද යන්න සෙවීම පිණිස විශේෂ විමර්ශනයක් කළ යුතු ය. එමෙන්ම ඒ උතුම් මානව චින්තාවලිය අද වන විට මොන තරම් විපරිමාණ වී තිබේදැයි ඔබට සිතෙනු ඇත. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය - 
(සියඹලංගමුවේ ඇතාගේත්, දළ පූට්ටුවා ඇතාගේත් අනුරූ)

එහෙත්, අදටත් සරල කෘෂිකාර්මික රටාවන් අනුව ජීවත් වන බහුතරයකින් යුතු වන්නි හත් පත්තුව නමින් හැඳින්වෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයේ ජනතාව තුළ පාරම්පරිකව පැවැති සත්ව අහිංසාව යළි කෙමෙන් ඉස්මතු වෙමින් පවත්නා බවක් නිරීක්ෂණය කිරීමට අපට හැකිව තිබේ. මෑත කාලීන වශයෙන් බැලුවහොත් එහි කේන්ද්‍රීය සාධකයක් සේ ගල්ගමුවේ ජීවත් වන ලදුව වන ජීවී නිලධාරීන් ගේ නොසැලකිලිමත්කම නිසා අකාලයේ මිය ගිය සියඹලංගමුවේ ඇතා ගේත් ඇත් දළ සොරුන් විසින් කෲර ලෙස ඝාතනය කළ දළ පූට්ටුවා ඇතාගේත් සජීවී ප්‍රමාණයේ පිළිරූ සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය දැක්විය හැක. පාදෙණිය හරහා වැටීගත් කොළඹ - කුරුණෑගල - අනුරාධපුර ප්‍රධාන මාර්ගය අද්දර පූලංචිය වැව ඉස්මත්තේ පිහිටි ගිමන් හල පරිසර උද්‍යානයේ ඉදිව ඇති මෙය මේ වන විට එම මාර්ගයේ යන බොහොමයකගේ සිත් තුළ සත්ව අහිංසා ආකල්ප ප්‍රවර්ධනය කරන ස්ථානයක් වී තිබේ. ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්.කේ. විමලරත්නයන්ගේ ඇරයුමින් අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානය වෙනුවෙන් එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහයන්ගේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ස්මාරකය ඉදි කර තිබේ. 

මෙම නව පිබිදුම මුල් කොට මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් එම ඇතුන් දෙදෙනා වැඩිපුරම ගැවසුණු සියඹලංගමුව වැව ඉස්මත්තේ පිහිටි ආනන්ද බෝධිරාජාරාම විහාරස්ථානයේ දී එම සද්දන්තයන් දෙදෙනා ඇතුළු එදා මෙදා තුර මිනිස් වන අලි ගැටුමින් මිය ගිය සැමට පින් පිණිස "කොස් කොත්තු" දන්සලක් දීමට කටයුතු යොදා තිබේ. මෙහි දී එම කොස්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් එම ඇතුන් දෙදෙනා ජීවත්ව සිටි කාලයේ කොස් කඩා කෑ ගස්වලින් ලබා ගත් ඒවා වීම ද විශේෂත්වයකි "දැන් උන්ට අපේ ගස්වල කොස් කන්න බැරි හින්දා අපි දැන් කොස් දන් දීලා උන්ට පින් දෙනවා" සියඹලංගමුවේ ගැමියෝ කියති. 

අප සාම්ප්‍රදායික ගැමි සමාජයේ පැවති සත්ව අහිංසා ආකල්ප යළි මෙලෙසින් හෝ ප්‍රවර්ධනය වන්නේ නම් තිස්ස රජතුමා විසින් ලුහුබඳිනු ලදුව පසුව මුවකු බවට පත් කර ගත් ගෝනා යළි ගෝනකු ලෙසින් සමාජයට හඳුන්වා දීමට ද අපට අවකාශ හිමි වනු ඇත. නමුත් එවන් සාධනීය පසුබිමක් නොමැති වාතාවරණයක් තුළ ඒ සතා ගෝනකු මුවකු හෝ වෙනයම් සතකු වීම වීම තුළ පවත්නා වැදගත්කම ද අවප්‍රමාණ වීම වළකා ගත නොහැක්කේමය. 

- මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර 


Post a Comment

0 Comments