Image: Supun Cooray, “RE-ASSEMBLED PAST”, #ASSEMBLAGE 2#, Mix media, 11.5”x15.5”, (2020)

මහින්දාගමන කථාව දෙස බැලූ විට පෙනී යන්නේ එය මහා විහාරය ස්ථාපිත ආයතනයක් ලෙස අනුරාධපුර රජුන්ගේ අනුග්‍රහය යටතේ තහවුරු වූවාට පසු ඒ සම්බන්ධව ගොඩනැගුණු සම්භවය පිළිබඳ මිත්‍යා ප්‍රබන්ධයක් (origin myth) බවයි. එය ගොඩනංවා ඇත්තේ එවකට ස්ථාපිතව පැවති කතා පුවත් හා තොරතුරු යළි සුසම්බන්ධ (re-articulation) කිරීමෙනි. මෙම සරල කථාව මගින් මේ දිවයින තුළ බෞද්ධ භික්ෂූන්ගේ පැතිරීම මෙන්ම, බෞද්ධ ආගමික ප්‍රජාවගේ සකස්වීම ද අරභයා ශාස්ත්‍රීය වශයෙන් විශ්වසනීය චිත්‍රයක් නොසපයයි. අඩුම තරමින් මහින්දාගමන කතාව මගින් මවන චිත්‍රය සහ අපට ලැබෙන වඩා විශ්වාසදායී තොරතුරු මගින් මවන චිත්‍රය අතර විශාල නොගැළපීමක් තිබේ. මුල් බ්‍රාහ්මී සෙල්ලිපිවලින් හෙළිවන ආකාරයට ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂය වන විට බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ ආගමික ප්‍රජාවක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වී සිටි බව පෙනේ. මෙම ව්‍යාපෘතිය මහින්දාගමන කථාංගයෙන් යෝජිත සරල ක්‍රියාවලිය ආශ්‍රයෙන් තේරුම්ගත හැකි ද? මිත්‍යා ප්‍රබන්ධක එක් කෘත්‍යයක් වන්නේ සංකීර්ණ ක්‍රියාවලීන්, පොදුජන මනසට ග්‍රහණය කරගත හැකි ආකාරයට සරල කිරීමයි. මහින්දාගමන කථාංගය තුළ එම ලක්ෂණය හොඳින් හඳුනා ගැනීමට පුළුවන.

මෑතක දී බෙහෙවින් සුපරික්ෂාකාරී ලෙස සම්පාදනය කළ රචනයක් මගින් මහින්දාගමන කථාංගයේ මූලික සංඝටකවල ශාස්ත්‍රීය විශ්වසනීයත්වය තහවුරු කිරීමට මහාචාර්ය අමරදාස ලියනගමගේ උත්සාහ කළේය [අමරදාස ලියනගමගේ, 2007, ‘ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටුවීම: මහාවංස වෘතාන්තයේ ඓතිහාසික පදනම’ ප්‍රවාද අංක 27, කොළඹ: සමාජ විද්‍යාඥයන්ගේ සංගමය]. කෙසේ වෙතත් එම වෑයමේ සංකල්පීය ගැටලුව වන්නේ කථාංගයේ තනි තනි සංඝටකවල ශාස්ත්‍රීය විශ්වසනීයත්වය තහවුරු කිරීම මගින් සමස්ත කථාංගයේ මිත්‍යා ප්‍රබන්ධමය පදනම අභියෝගයට ලක් නොවීමයි.

මෙම තර්කයම දුටුගැමුණු කථාංගයටත් කිසිදු ගැටලුවකින් තොරව ආදේශ කිරීමට පුළුවන. ලෙස්ලි ගුණවර්ධන විසින් කරනු ලැබූ පුරෝගාමී අධ්‍යයනයක් මගින් ද [R. A. L. H. Gunawardane, 1982 ‘Prelude to the State: An Early Phase in the Evolution of Political Institutions in Ancient Sri Lanka’, Sri Lankan Journal of Humanities vol III Nos. 1, & 2, pp 1-39], ඒ අනුව යමින් හඟුරන්කෙත ධීරානන්ද හිමියන් විසින් කරනු ලැබූ අධ්‍යයනයක් මගින් ද [හඟුරන්කෙත ධීරානන්ද, 2004, ‘රාජ්‍යත්වය, රාජ්‍ය සහ ආගම’ (ක්‍රි.පූ. තෙවැනි සියවසේ සිට ක්‍රි.ව. තෙවැනි සියවස දක්වා), වරාකපොළ: ආරිය ප්‍රකාශකයෝ] පැහැදිලි වන පරිදි දුටුගැමුණු කථාවේ එන තොරතුරු මගින් හෙළිවන්නේ අනුරාධපුර රාජ්‍යය සකස් වීමේ ඉතා සීමිත පැති සමහරක් පමණි. නැවතත්, ලංකාවේ දේශපාලන ආයතනවල ක්‍රමික විකාශය මෙන්ම, ගුණාත්මක වර්ධන ද මෙම කථාව මගින් සරල මිත්‍යාකරණයකට (mythification) ලක්කොට තිබේ.

කෙසේ වෙතත් වර්තමානයේ අප ‘ශ්‍රී ලංකාවේ ඉතිහාසය’ යන නාමකරණය යටතේ පරිභෝකජනය කරන්නේ මෙම මිත්‍යා ප්‍රබන්ධ මත ගොඩනැගුණු මහා මිත්‍යා ප්‍රබන්ධයයි (Grand Myth). ගැටලුව වන්නේ මෙම මහා මිත්‍යා ප්‍රබන්ධයට පාදක වී ඇති මිත්‍යා ප්‍රබන්ධ ගොඩනැගුණු වකවානුවල දී ඒවා කිසියම් හෙජමොනික දේශපාලන හා දෘෂ්ඨිවාදී කාර්යභාරයක් ඉෂ්ට කළාක් මෙන්ම, මෙම මහා මිත්‍යා ප්‍රබන්ධය ද වර්තමානයේ දී එවැනිම හෙජමොනික දේශපාලන හා දෘෂ්ඨිවාදී කාර්යභාරයක් ඉෂ්ට කිරීමයි. එනයින් ගත් කල්හී මෙම ‘ශ්‍රී ලංකාවේ ඉතිහාසය’ නම් වූ මහා මිත්‍යා ප්‍රබන්ධය විවරණය කිරීම හා විවේචනය කිරීම විකල්ප දේශපාලන ව්‍යාපෘතියක අත්‍යාවශ්‍ය අංගයකි.

නිර්මාල් රංජිත් දේවසිරි

***

උපුටා ගත්තේ, නිර්මාල් රංජිත් දේවසිරි ගේ ” ‘ලංකා ඉතිහාසයේ’ මිත්‍යා ප්‍රබන්ධමය පදනම් පිළිබඳව සිතිවිලි කීපයක්” රචනයෙනි. සම්පූර්ණ රචනය සඳහා බලන්න “ලංකාවේ ඉතිහාසය: දෘෂ්ඨිවාදී විචාරයක්” කෘතිය