ලක්දිව බුදුදහම මුල් බැසීම උදෙසා මිහිඳු හිමිගේ කාර්යභාරය

Share

බුදුසමයේ දේශාන්තර ව්‍යාප්තිය පිළිබඳ සැලකීමේදී ධර්මාශෝක රාජ්‍ය සමය සුවිශේෂී කාලසීමාවක් වේ. තෙවරක් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ලක්දිව බුදුසමය ස්ථිරව මුල් බැස ගත්තේ මහින්දාගමනයත් සමඟ ලක්වැසියන් බුදුදහම වැළඳගැනීමත් සමඟ ය.

සියුම්ව පිරික්සා බලන කල මෙරට බුදුදහමේ ව්‍යාප්තිය සහ ස්ථාවරත්වය උදෙසා මිහිඳු හිමියන් මනා සැලසුමක් ඇතිව කටයුතු කළ බව පෙනේ. අලුත් දහමක් එතරම් ඉක්මනින් ප්‍රචලිත වීමට එය නිසැකවම හේතු වන්නට ඇත.

මිහිඳු හිමියෝ සිය ලංකාගමනය මුටසීව රාජ සමයෙන් පසු දේවානම්පියතිස්ස රාජ සමය දක්වා ප්‍රමාද කළේ මෙරටට නව ආගමික දර්ශනයක් හඳුන්වා දීමට සුදුසු ස්ථාවර තරුණ නායකත්වයකින් යුත් පාලන සමයක් අවශ්‍ය බැවිනි. දෙවනපෑතිස් කුමරුගේ අභිෂේකයෙන් අනතුරුව මිහිඳු හිමියෝ සිය ධර්මදූත පිරිස සමඟ සාකච්ඡා කොට මෙරටට වැඩම කළහ. ධර්මදූත පිරිස වූයේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරවරු, සුමන සාමණේරයන් හා භණ්ඩුක උපාසකයන් ය. උපසපන් භික්ෂු, සාමණේර, උපාසක ඇතුළු සියලු පිරිසගෙන් සමන්විත ධර්මදූත පිරිසක් තෝරාගැනීම ද ඉතා වැදගත් විය.

රටවැසියෝ නිසඟයෙන් ම පාලකයා අනුගමනය කරන්නාහ. ඉදින් පළමුව රජු ඇතුළු රජ පවුලේ ඇත්තන්ට දහම් දෙසීමෙන් මෙරටට බුදුදහම හදුන්වාදීම ද කදිම අදහසකි. තමා කවුරුන්දැයි මුලින් ම හඳුන්වා දුන් මිහිඳු හිමියෝ පළමුවෙන් ම රජුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවේ බුදුදහම වැනි ගැඹුරු දහමක් වටහාගැනීමට රජුගේ බුද්ධිය හා ධර්මාවබෝධ ශක්තිය විමසීම පිණිස ය. රජුගෙන් ඇසූ ප්‍රශ්න වලට ලැබුණු පිළිතුරු පිළිබඳ සතුටට පත් වූ මිහිඳු හිමියෝ රජු ඇතුළු පිරිසට ධර්මය දේශනා කිරීම සිදු කළහ.

ධර්මය දේශනා කිරීම උදෙසා තෝරාගත් සූත්‍ර දේශනා ආදිය ද මැනවින් සංවිධානය කොට කරන ලදැයි කිව හැකිය. රජතුමා ඇතුළු පිරිසට මුල් ම දේශනාව ලෙස ත්‍රිවිධ රත්නය පිළිබඳව ද, භික්ෂු ජීවිතයේ විවිධ අවස්ථා පිළිබඳව ද, අර්හත්වය පිළිබඳව ද, බුදුසමයේ මූලික දේශනය වූ චතුරාර්ය සත්‍යය පිළිබඳව ද අන්තර්ගත චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව තෝරා ගැනීම අතිශයින්ම උචිත විය. මන්ද යත් අභිනවයෙන් බුදුදහම වැළඳගන්නකුට බුද්ධ ධර්මය හා භික්ෂු සංඝයා පිළිබඳ මනා වැටහීමක් එම සූත්‍ර දේශනාවෙන් ලබා දෙන බැවිනි. දේශනාවෙන් අනතුරුව රජු ඇතුළු පිරිස පළමු දිනයේ ම බුදුදහම වැළඳගැනීම ලක්දිව බුදුසමය මුල් බැස ගැනීමේත්, පැතිර යාමේත් සුභ පෙරනිමිත්තක් ම විය.

පසුදිනවලදී විමානවත්ථු, පේතවත්ථු දේශනා මඟින් කළකම් නිසා ප්‍රේත ලෝකයෙහි හා දිව්‍ය ලෝකයෙහි වාසය කරන ප්‍රාණීන් පිළිබඳ කථාද, දේවදූත සූත්‍රය මගින් පවෙහි ආදීනව දක්වා මිනිසුන් පවින් වැළැක්වීමට ද, බාල පණ්ඩිත සූත්‍රයෙන් බාලයා පව් කොට මෙලොව පරලොව දුක් විදින අයුරුත්, පණ්ඩිතයා පාපයෙන් වැළකී කුසල් කොට දෙව්ලොව සැප විඳින සැටිත් විස්තර කරමින් මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනයට දැරූ උත්සාහය සැබැවින්ම ප්‍රශංසනීය යි. දහම් ඇසීමට පැමිණෙන ශ්‍රාවක පිරිස අනුව ඔවුන්ට ගැළපෙන ආකාරයේ, ඔවුන්ගේ සිත් පැහැදෙන අන්දමේ මාතෘකාවක් ධර්ම දේශනාවට පදනම් කර ගැනීමට ද උන්වහන්සේ විචාරශීලි විය.

මහමෙව්නා උයන පූජා කිරීමත්, මහා විහාරය ගොඩ නැංවීමත් ධර්මදූත සේවයට ස්ථාවරභාවයක් ගෙන දුන්නේය. බුදුසසුනේ මූලස්ථානය වූ මහාවිහාරය ගොඩනැංවීමේ සැලැස්ම ද මිහිඳු මාහිමියන්ගේ ම උපදෙස් මත සිදුවූවකි. මෙසේ ක්‍රමක්‍රමයෙන් ලක්දිව තුළ බුදුසසුන නම් වෘක්ෂයේ මුල් විහිදී යන්නට විය. රජුගේ බෑණනු වූ මහා අරිට්ඨ ඇමති ඇතුළු පනස් පස් දෙනෙක් පැවිද්ද ලබා ගැනීම හරහා මෙරට භික්ෂු පරපුර ආරම්භ වුණි. රජ පවුලෙන් ලැබුණු අනුග්‍රහය මිහිඳු හිමිගේ ධර්මදූත කාර්යය මුළුමනින්ම සාර්ථක විමට රුකුළක් විය.

මහින්දාගමනයට පෙර ලක්දිව පැවති ඇදහිලි හා විශ්වාස සඳහා නව අරුතක් ලබාදීමට මිහිඳු හිමියෝ ක්‍රියා කළහ. වෘක්ෂ වන්දනාවට හුරුව සිටි ජනයා සියුම් ලෙස අර්ථ සම්පන්න බෝධි වන්දනාවකට යොමු කළහ. සිය සොයුරිය වූ සංඝමිත්තා තෙරණියගේ අතින්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීමට උන්වහන්සේ ක්‍රියා කළහ.

ගල් පර්වත වන්දනා කරමින් ඒවා දේවත්වයෙන් සැලකූ ජනතාව ධාතු පූජාව, ස්ථූප පූජාව කෙරෙහි නැඹුරු කරවූහ. සුමන සාමණේරයන් වහන්සේ දඹදිවට පිටත් කොට බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ ඇතුළු තවත් ධාතූන් වහන්සේලා මෙරටට ගෙන්වා ගත්හ. රජතුමා විසින් ථූපාරාමය ගොඩනැංවීමත් සමඟ මෙරට ස්ථූප වන්දනාව ආරම්භ වුණි. දෙවියන් ඇදහීම හා මළවුන් ඇදහීම වෙනුවට දෙවියන්ට හා මළවුන්ට පින් දීමට ජනතාව පෙළඹවූහ. මෙසේ පෙර පැවති ඇදහිලි විශ්වාස සම්පූර්ණයෙන් බැහැර නොකොට ඒවාට අර්ථවත් ආදේශනයක් ලබාදීම ජනතාව අතර බුදුදහම ප්‍රචලිත වීමට හේතු විය.

හුදෙක් ආගමික ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී අධ්‍යාපනික, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ආදී සියලු ක්ෂේත්‍රයන්හි නව පිබිදීමක්, ක්‍රමානුකූල බවක් ඇති කිරීමට මිහිඳු හිමියෝ කටයුතු කළහ. එය ද බුදු දහම ලක්දිව මුල් බැස ගැනීමට ශක්තිමත් පදනමක් විය.

මෙසේ මිහිඳු හිමියන්ගේ සංවිධානාත්මක බවත්, දූරදර්ශී බවත් ලක්දිව තුළ බුදු දහම මුල් බැස ගැනීමට හේතු වූවා යැයි කිව හැකිය.

 

Written by: Chathurangi Nethmini

Image Courtesy: https://bit.ly/42n3oIq

 
Tagged : / /