ඉන්දියාවට අතට ගන්න දේ කටට දාගන්න බැරි හේතුව Hayden පහදයි

ICC world Test championship 2023

1421
​Mathew Hayden explains the reson for india's icc trophy drought

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ICC ශූරතා ජයග්‍රහණය කිරීමට නොහැකි වීම දක්ෂතාවල ගැටලුවක් නොව, ක්‍රීඩකයින්ගේ සිතුවිලිවල ගැටලුවක් බව හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Mathew Hayden විසින් පවසනවා.

2013 වසරේ දී MS Dhoniගේ නායකත්වයෙන් යුතු ව ICC ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඉන්දියාව කෙතරම් දක්ෂ ක්‍රීඩකයින් සමඟ තරගාවලිවලට පිවිසුනත් ශූරතාවක් ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඔවුන් 2014 දී විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ අතර පසුව 2017 දී පාකිස්තානය හමුවේ ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගය පරාජය වුනා.

එමෙන්ම 2015 ලෝක කුසලාන අවසන් පූර්ව වටයෙන් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වූ ඉන්දියාව 2019 ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දී නවසීලන්තය හමුවේ සහ 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දී එංගලන්තය හමුවේ ද පරාජයට පත්වුනා.

එමෙන් ම මීට පෙර පැවැත්වුණු ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයෙන් ද ඔවුන්ට නවසීලන්තය හමුවේ පරාජය උරුම කර ගැනීමට සිදු වුනා.

දක්ෂතම ක්‍රීඩකයින් පිරී ඉතිරී ගිය, මූල්‍යමය අතින් පවා ගෝලීය ක්‍රිකට් වල ඉහළින් ම වැජඹෙන ඉන්දියාව මෙවැනි තීරණාත්මක තරග පරාජය වීම පිළිබඳ හිටපු ප්‍රවේගකාරී ඕස්ට්‍රේලියානු පිතිකරු Mathew Hayden විසින් දක්වන්නේ මෙවන් අදහසක්.

“ඒක අනිවාර්යයෙන් ම දක්ෂතා ගැන ගැටලුවක් නෙවෙයි. ඒ නිසා එය අවස්ථාව සහ මානසිකත්වය පිළිබඳ ගැටලුවක් විය යුතුයි. මම කියන්නේ මෙහේ (ඉන්දියාවේ) ක්‍රිකට් තමයි ජීවිතය.”

ඉන්දියාවේ ප්‍රධානතම ක්‍රීඩාව ක්‍රිකට් වන නිසා මෙන් ම, ක්‍රිකට් වෙනුවෙන් ලැබෙන අතිශය දැවැන්ත ජනප්‍රියත්වය ඉන්දීය ක්‍රීඩකයින්ට අමතර පීඩනයක් එල්ල කරනා බවයි Hayden විසින් සඳහන් කරන්නේ.

“මට ඕස්ට්‍රේලියාවේ දී වැඩිය කවුරුත් අඳුන ගන්නේ නැතිව පාරක වුනත් ඇවිද ගෙන යන්න පුළුවන්. විශේෂයෙන් ම මේ අමුතු රැවුලයි, තොප්පියයි නිසා (සිනාසෙමින්). ඒ වගේ ම ක්‍රිකට් වලට අමතර ව තවත් ක්‍රීඩා ගණනාවකින් (ඕස්ට්‍රේලියාවේ) හොඳ තරගයකුත් තියෙනවා. ඒත් ඉන්දියාවේ එහෙම නෙවෙයි.

පාකිස්තානයෙත් එහෙමයි, එක ක්‍රීඩාවයි තියෙන්නේ ඒ තමයි ක්‍රිකට්. ඒක මානසිකත්වය පිළිබඳ ගැටලුවක්.”

ඉන්දියාවට ඇති ගැටලුව හඳුනා ගත් Hayden විසින් ඉන්දීය ක්‍රීඩකයින්ට උපදෙස් ලබා දෙන්නේ අනවශ්‍ය පීඩනයකට හසු නොවී අවසන් ප්‍රතිඵලය ගැන නොසිතා ක්‍රීඩාවේ නිරත වන ලෙසයි.

Hayden විසින් ඉන්දීය කණ්ඩායමට මෙම උපදෙස ලබා දෙන්නේ එළඹෙන 07 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය අරබයායි.

මෙම තරගය පැවැත්වීමට නියමිත එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණය කණ්ඩායම් දෙකට ම සම අවස්ථා ලබා දෙනු ඇතැයි ද Hayden විසින් විශ්වාසය පළ කරනවා.

එමෙන් ම නිමා වූ IPL තරගාවලියේ දස්කම් පෙන්වූ ඉන්දීය ක්‍රීඩකයින් මෙන් ම ඕස්ට්‍රේලියාවේ Cameron Green වැන්නවුන් ද මෙම අවසන් තරගයේ සිය උපරිම දක්ෂතා අතරට පිවිසෙනු ඇති බවයි Hayden විසින් අනුමාන කරන්නේ.

මේ අතර රිය අනතුරකට භාජනය වීම නිසා ටික කලකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වී සිටීමට සිදු ව ඇත Rishab Pantගේ අහිමි වීම ඉන්දියාවට විශාල පාඩුවක් බවත් Hayden විසින් සඳහන් කරනවා.

මෙම ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පිළිබඳ ව සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<