ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු මතීෂ අතේ – ඉන්දියාවෙන් අනාවැකියක්

Sri Lanka vs Afghanistan 2023

5468

Chennai Super Kings කණ්ඩායමේ නවතම වේගපන්දු තරුව වන මතීෂ පතිරණ එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ විශාලතම තුරුම්පුව වනු ඇති බව Hindustan Times වෙබ් අඩවිය විසින් සඳහන් කරනවා.

නිමා වූ IPL තරගාවලියේ ශූරතාව දිනා ගත් Chennai Super Kings කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වූ මතීෂ එම තරගාවලිය නිමා කළේ කඩුලු 19ක් දවා ගනිමිනුයි. තවමත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් විස්සයි විස්ස තරගයට පමණක් ක්‍රීඩා කර ඇති මතීෂ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කෙරෙන විශාලතම ආයෝජනය වනු ඇති බවයි ප්‍රසිද්ධ ඉන්දීය පුවත් වෙබ් අඩවියක් වන Hindustan Times විසින් සඳහන් කරන්නේ.

2004 වර්ෂයේ දී ශ්‍රී ලංකාව සිදු කළ තීරණාත්මක ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ලසිත් මාලිංග විසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ අතර, 2008 ආසියානු කුසලානය ආරම්භ වීමට ටික කලකට පෙර ශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස්ව ද ක්‍රිකට් පිටියට හඳුන්වා දුන්නා. ඔහු සිය ආගමනය වර්ණවත් කළේ 2008 ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක් දවා ගනිමින් ආසියානු ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වීමත් සමඟයි.

ශ්‍රී ලංකාව විසින් මෙවැනි ම ආකාරයකින් මතීෂ පතිරණ හට ද එක්දින වරම් ලබා දීමට සූදානම් ව ඇති බව පවසන Hindustan Times විසින් වැඩිදුරටත් සඳහන් කරන්නේ මාලිංග සහ මෙන්ඩිස් සිය ක්‍රිකට් දිවියට විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තා සේ ම  සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී මතීෂ විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ යමක් සිදු කරනු ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) උදෑසන ආරම්භ වූ අතර එහි දී මතීෂ විසින් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වුනා.

මේ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිසීමට පෙර මතීෂ පිළිබඳ ව යම් අදහසක් ලබා ගැනීමට මෙම තරගාවලිය අවස්ථාවක් කර ගත හැකි.

එමෙන්ම මෙවර එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සෘජු සුදුසුකම් ලබා ඇති ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හොඳ තර්ජනයක් එල්ල කරනු ඇති බවත් අනුමාන කළ හැකියි. ඔවුන්ගේ ප්‍රධාන දඟපන්දු තුරුම්පුව වන Rashid Khan හට මෙම තරගාවලියේ පළමු තරග දෙක මග හැරී යන බව දැන ගන්නට ලැබෙන නමුත් Mujeeb Ur Rahman සහ Mohommad Nabi ප්‍රමුඛ ඇෆ්ගන් පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති.

කෙසේ වෙතත් මෙම තරගාවලිය සිම්බාබ්වේ හි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට හොඳ අවස්ථාවක් කර ගත හැකි බව විශ්වාස කළ හැකියි. මෙම මස 10 වැනිදාට ප්‍රථම එම තරගාවලිය වෙනුවෙන් සංචිත නම් කළ යුතු බවට ICCය විසින් නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය සමඟ තරගාවලිය වෙනුවෙන් හිටපු එක්දින නායක සහ වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නව ද ශ්‍රී ලංකා සංචිතය හා එක් කර ඇති අතර ජ්‍යෙෂ්ඨයින්ගේ අත්දැකීම් සමඟින් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව බව අනුමාන කළ හැකියි.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<