2022/05/18 – ලංකාදීප

නිසි විසදුමක් නොලැබුණ අංශ සම්බන්ධයෙන් අරගලයක් අපට ඇත. ආර්ථිකය, සමාජය හා සංස්කෘතික ව්‍යුහය සංකීර්ණ මුහුණුවරක පවතී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකෘතියකට අනුව ක‍්‍රමය වෙනස් කරන උත්සාහයක් තිබුණි. එයින් අපේක්ෂා සාක්ෂාත් වී නැත. මෑත කාලය තුළ ඇති වූ අරගල ජනතාව නගන මතය පිළිබිඹු කරයි. තමන් පත් කරගත් ආණ්ඩුවකින්, මහජන නියෝජිතයෙකුගෙන් අස්වැසිල්ලක් නොලැබෙන අතරතුර ඔවුහු අලූත් ආණ්ඩුවක් සදහා ඡන්දය පාවිච්චි කළහ. අවසානයේ නොනවතින විරෝධතාවයකය.

යුක්තිය හා සාධාරණ අවස්ථා ජනතාව ඉල්ලා සිටී. පාක්ෂිකයන්ට සලකන, අනුගාමිකයන් පමණක් යැපෙන ආණ්ඩුවලින් සිදුවන අසාධාරණකම් ප‍්‍රතික්ෂේප කරති. වරින් වර පැන නැගී ඇවිළුන, උද්ඝෝෂණ මෑත කාලයේ සුලබ අවස්ථා බවට පත්ව තිබුණි. තීරණාත්මක මොහොතකට පසු මහා කැළඹීමක් ඇති කර තිබේ. එයින් ඇති කරන ලද විනාශය වෙනම කාරණයකි. මහජන කැළඹීම්, අරගල සහ ප‍්‍රකෝපකාරී සිදුවීම අවසානයේ දී අප සියළුම දෙනාට ඉගෙනගත යුතු පාඩමක් ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලක ක‍්‍රමය මෙතෙක් පැමිණි ගමන ගැන හරි වැරදි ගැන සාකච්ඡාවක්, සංවාදයක් සිදුවිය යුතුය. දේශපාලනඥයන් පමණක් නොව සමාජ මතාධාරීන්, සිවිල් සමාජ නායකයන්, විද්වතුන් එහි විවිධ පැති කෙරෙහි සියුම් ගවේශණයක් කළ යුතුව ඇත. සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයට හේතු වූ අංශ වෙන් කරගත යුතුව තිබේ.

දූෂිත, අකාර්යක්ෂම හා යුක්ති සහගත බවක් නැති බව පෙනෙන, ව්‍යුහය විනාශ කිරීම පමණක් අරගල කළ යුතු නොවේ. අලූත් යමක් නිෂ්පාදනය කළ යුතුය. කැළැඹිලි තිබිය යුතුය. කැළඹීම තුළින් මතු කරගත යුතු යමක් තිබේ.

ලෝකය වෙනස් වෙන්නේ කැළඹිලිවලින්ය. ගල් යුගයේ සිට තාක්ෂණික යුගය දක්වා එන අතරමග දැවැන්ත වෙනස්කම් නිර්මාණය කරගෙන ඇත. ගින්දර, රෝදය සොයාගත්තේ කැපවීමකින්ය. සාමාන්‍ය මිනිසුන් අත ගසන්නට බිය තැන් ස්පර්ශ කරන ලද නිර්මාණශීලීහු ඒවා මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට හරවා ගෙන ඇත. පරිවර්තනීය අදහස් අනුව ක‍්‍රියා නොකළේ නම් ලෝකය ගෝලාකාර බව තවමත් විශ්වාස කරන්නේ නැත. අහසින් ගමන් කරන්නට නොසිතයි. සාගරය හෝ අභ්‍යවකාශය තරණය කරන්නට හිතන්නේ නැත. ක්ෂණයකින් ලෝකය පුරා දත්ත විසුරුවා හරින සන්නිවේදනයක් පිලිබදව කිසිසේත් අවධානය යොමු නොකෙරේ. පරාජය කළ නොහැකි විප්ලවීය අදහස් වෙනුවෙන් ජීවිතය කැප කළ පරාර්ථකාමීහු අද අප ජීවත්වන විද්‍යාත්මක හා තාක්ෂණිය ජන සමාජය බිහිකර ඇත.

හැකියාව, දක්ෂතාව අනුව ස්ථානයක් හිිමිවන සමාජ ක‍්‍රමයක් රටට අවශ්‍ය කර තිබේ. අප සිටින්නේ එවැනි උවමනාවන් ගැන හිතන තැනකද? ඉගෙනගැනීමට අතිවිශාල ධනයක් වැය කරන්නට සිදුවන, සහ බලය හා ධනය ඇති පිරිසට පමණක් අවස්ථා හිමි අධ්‍යාපන ක‍්‍රමයක් නිදහස් එකක් සේ සලකන්නට අප පුරුදු වී ඇත. ආණ්ඩුව රැකියා සපයන තැනක් බව විශ්වාස කරයි. අසීමිත රැකියා අවස්ථා ප‍්‍රමාණයක් සපයන රජය, වැටුප් ගෙවන්නේ ජනතාවගෙන්ම අය කරන බදුවලින් බව තකන්නේ නැත. ජාතික සම්පත් ආරක්ෂා කරගැනීම යැයි මිත්‍යාවක ගිලී සිටී. රට බෙදන, රට විකුණන බව කියන මතවාදයක් මනසට ඇතුළු කරන දේශපාලනඥයෝ එයින් යැපෙන තැනට පත්ව ඇති බව අපට දැනෙන්නේ නැත. කාර්යක්ෂමතාව හෝ ඵලදායීතාව ගැන නොසලකා සිටී. රජයේ ආයතනයකින් අවශ්‍යතාවයක් ඉටු කරගැනීමට විශාල පරිශ‍්‍රමයක් දැරිය යුතු අතර තාක්ෂණයට පැවැරිය හැකි ක‍්‍රම පවා වෙනස් කරන්නට කිසිම උත්සාහයක් නොගැනේ. මේවා ගැන අලූතින් කල්පනා නොකරන්නේ ඇයි?

තරුණන්ගේ අරගලය සාධාරණය. එහෙත් එයට දර්ශනයක් තිබිය යුතුය. විනාශ කිරීමෙන් පසු ඇති කරන සමාජ ක‍්‍රමය කුමක්ද යන්න ගැන කතිකාවක් අවශ්‍යය. නිලධාරීවාදය තුරන් කරන, නිෂ්පාදනයට ඉඩ දෙන, ව්‍යවසායකත්වය නංවන තීරණ සදහා ඇති යෝජනා කවරේද? මුල්‍ය ක‍්‍රමය වෙනස් කරන්නේ කෙසේද? අඩුම තරමින් ප‍්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන ක‍්‍රමය අලූතින් හදන පියවරක් ගැන යෝජනා තිබිය යුතුය. අද පලවා හරින දේශපාලනඥයන් වෙනුවට හෙට එන අලූත් කණ්ඩායම ද අනුගමනය කරන්නේ පැරණි පිලිවෙලම නම් අරගලයෙන් පලක් නැත. මේවා ගැන සාකච්ඡා කරන්නට පරිනත නායකත්ව අවශ්‍යය.ඉක්මනින් තීරණ ගත යුතු අතර ක‍්‍රම අත්හදා බලන්නට කාලයක් නැත. අසාර, අතාත්වික සහ අදූරදර්ශී පොදු සතුරා පලවා හැරීම සදහා ක‍්‍රමෝපාය සකස් කළ යුතුය. පුද්ගලයන් පලවා හැරීමෙන් පසු නැවතත් පත් කරන පිලිවෙල ජන සමාජයට වැඩදායක ද යන්න කල්පනා කළ යුතු අරගලය තුළ බව සදහන් කිරීම අවශ්‍යය.