Main Logo

Thursday 1 June 2023

අපේ විනය හා එරාන්ගෙ තීරණය

 අපේ විනය හා එරාන්ගෙ තීරණය

 

සිංහලයන් අතර විනය පිරිහීමක් ඇති බව පිළිගන්න ඕන. ඉන් කියැවෙන්නේ අප විනය පවත්වාගෙන ගිය පිළිවෙළ නැති වී තිබෙන බවයි. අද දරුවන් දෙමවුපියන්ට අවනත වීමේ අඩුවක් දකින්න පුළුවන්. පන්සල්වල සාමණේර භික්‍ෂූන් වහන්සේ ගුරු හාමුදුරුවන්ට අවනත වෙන එකත් අඩු වෙලා. ඒත් පොසොන් පොහොයට පන්සල් යන එකේ අඩුවක් නැති වේවි. පන්සලේ දී විනයක් ඇති වැඩ කටයුතුවල යෙදෙවි.

 

එහෙම වෙන්නෙ ඇයි? අද කඩා වැටී තියෙන්නෙ මෙරට ඇංග්ලො සැක්සන් නීතියෙන් සංශෝධිත රෝම ලන්දේසි නීතියයි. පාසල් පද්ධතියයි. අප කිසිවකු විසින් බලයෙන් හික්මවුනු ජාතියක් නො වෙයි. අප යම් දහමකට අනුව අප විසින් හික්මවුනු ජාතියක්. අපට උඩ ඉන්න දෙවියකු අණ දුන්නේ නැහැ. අරක නොකරනු මේක නොකරනු නොමරනු ආදී වශයෙන් අණ දෙන්න අපට කිසිවකු හිටියේ නැහැ. අණ දුන්නට අපි අහන්නෙත් නැහැ.

 

බටහිරයන්ට නොමරණු කියා අණ දුන්නත් එය වෙනස් කෙරී තියෙනවා එහෙමත් නැත්නම් එහි අර්ථ විවරණය වෙනස් කියන එක පැහැදිලි නැහැ. ඔවුන් තම ආගම සංස්කෘතිය පැතිරවීමට මිනිසුන් මරා තියෙනවා. පාප්තුමා තමයි ස්පාඤ්ඤයට හා පෘතුගීසීයට ලෝකය බෙදල දුන්නේ. අවසරයෙන් ඔවුන් වෙනත් රටවල මිනිසුන් මැරුවා. අපත් මරණු ලැබුවා. පසුව ඉංගිරිසින් වැඩේ වඩාත් සාර්ථක කළා. හිරෝෂිමා නාගසාකි නගරවලට බෝම්බ අත්හැරියේ යුද්ධය දිනා අවසාන වීමෙන් පසු පරමාණූ බෝම්බ පරීක්‍ෂාවට ලක් කරන්න. ඔවුන් අප්‍රිකානුවන් පමණක් නොව අයිරිෂ් කතෝලිකයන් වහලුන් ලෙස රැගෙන ගියා. එයට කලකට පෙර හින්දුන් තම සංස්කෘතිය ප්‍රචාරය කිරීමට මිනිස් ඝාතන කළා. ඔවුන්ගේ සංස්කෘතිය වියට්නාමය (චම්පා) දක්වා විහිදුනේ නිකම් නො වෙයි. එහෙත් බෞද්ධයන් තම සංස්කෘතිය ප්‍රචාරය කිරීම සඳහා මිනිසුන් මරා නැහැ

 

අද මෙරට පාරෙ නීතියක් නැහැ. අපට පාරෙ යන එකත් හුරු නැහැ. වේගවත් යාන වාහන අපට ලැබුණේ බටහිරින්. අනෙක් බටහිර බොහෝ දේ මෙන් උඩින් අප වෙත පටවනු ලැබූ දේ. පාරෙ යන එන එක සම්බන්ධයෙන් බටහිර රටවල නීති තියෙනවා. නවතිනු කියා තිබුණොත් නවතිනවා. අප නවතිනු කියන සංඥාවට ගරු කරන්නේ නැහැ. කාර්යාලවල වැඩ කිරීමේ දී නීති බලපාන්නේ නැහැ. අපට නීතිය මතක් වෙන්නෙ අපේ රැකියාව ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් පමණයි.

 

රටට ව්‍යවස්ථාවක් කියා එකක් තියෙනවා. සමිති සමාගම්වලටත් ව්‍යවස්ථා තියෙනවා. ව්‍යවස්ථා කී දෙනකු පිළිපදිනවා කියා දන්නේ නැහැ. ව්‍යවස්ථා කී දෙනකු කියවා තියෙනවා කියාත් දන්නේ නැහැ. අපට බටහිරයන්ගේ පිළිවෙළ ලබා ගැනීමට, එය අවශෝෂණය කර ගැනීමට බැරි වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ අපට පිළිවෙළක් නොතිබූ බව නො වෙයි. අපේ පිළිවෙළ තවමත් පන්සල් භූමියේ දී දැක ගන්න පුළුවන්. පිළිවෙළ තමයි කලකට පෙර රටේත් තිබුණෙ.

 

සිංහල බෞද්ධ සංස්කෘතිය තරම් සහනශීලී සංස්කෘතියක් සමහරවිට තවත් නැතුව ඇති. අදත් පඬි නැට්ටන්ට විවිධ ප්‍රබුද්ධයන්ට උගතුන්ට තාර්කිකයන්ට සිදුහත් කුමරුට අපහාස කිරීමට ඉඩ ඇත්තෙත්  සහනශීලී ගුණය නිසා. අපහාස කරන්නන්ට විරුද්ධ නඩු දාන්න කියන්නෙ බෞද්ධ නීතියකට අනුව නො වෙයි. නඩු පවරන්න යන්නෙ බටහිර ක්‍රිස්තියානි නීතිය අනුවයි. නඩු ගැන අප එතරම් කරදර වෙන්න අවශ්‍ය නැහැ. නඩු හා නීති තියෙන්නෙ ක්‍රිස්තියානි සංස්කෘතිය රැක ගන්න මිසක් බෞද්ධ සංස්කෘතිය රැක ගන්න නො වෙයි. 1815 ගිවිසුම 1892 ආඥා පනත විතරක් නොවෙයි වත්මන් ව්‍යවස්ථාවෙ නවවැනි වහන්තියත් අපේ නීති නො වෙයි.

 

එරාන් වික්‍රමරත්න කියා තිබුණා ඔහු සිංහල වුනෙ තම තීරණයක් අනුව නො වෙයි කියල. සමහර විට ඔහු ක්‍රිස්තියානි වෙන්න ඇත්තෙ ඔහුගෙ හරි වෙන කාගෙ හරි තීරණයක් අනුව වෙන්න පුළුවන්. පඬි නැට්ටකුගෙන් අහන්න ඕන. පඬි නැට්ටන් දන්න අපි නොදන්න දේ ලෝකයේ බොහෝ තියෙනවා. කොහොම වෙතත් වාර්තාවෙ තියෙන ආකාරයට ඔහු කියන දේ අපැහැදිලියි. ඔහු සිංහලයකු වන්න තීරණය කරනවා නම් එසේ කරන්නෙ කොහෙ ඉඳන් ? අපට නම් සසරක් තියෙනවා. බෝසතාණන් වහන්සේ සිදුහත් කුමරු ලෙස ඉපදෙන්න ඉස්සෙල්ල පස්මහා බැලුම් බැලුව. පුද්ගලයකු නොමැති එසේ කරන්නෙ කොහොමද කියන එක ථෙරවාදයෙ විස්තර කෙරෙනවාඑරාන් වික්‍රමරත්න සිංහලයකු වෙන්න ඉස්සර කොහෙවත් හිටියෙ නැහැ. එහෙම නම් ඔහුට තීරණයක්  ගන්න විධියක් නැහැ. පඬි නැට්ටකු හරි සසර ගැන විශ්වාසයක් නැති බෞද්ධ යැයි කියා ගන්නා නොදත් දොස්තර කෙනකු හරි එය පැහැදිලි කරනවා ?

 

මෙතැන තමයි අපේ අවුල තියෙන්නෙ. අපට ලැබෙන අධ්‍යාපනයෙන් අපට ඊනියා ඉන්ද්‍රිය ගෝචර තාර්කික දේ පමණක් පිළිගන්න කියනවා. දෙවියන් වහන්සේවත් මහා පිපිරුමවත් ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒක පැත්තකින් තියමු. අපට බටහිර චින්තනය අවශෝෂණය කර ගන්න බැහැ. අපි එහෙන් මෙහෙන් ඔවුන්ගෙ සංස්කෘතික කෑලි එල්ල ගන්නවා පමණයි. අපට ඔවුන්ගෙ උඩින් එන නීතිය අවශෝෂණය කර ගන්න බැහැ. බටහිර විද්‍යාව හා අනෙක් බටහිර දැනුම් අවශෝෂණය කර ගන්නත් බැහැ. ප්‍රජාතන්ත්‍රවාදයත් බැහැ. බටහිරයන් අපට කියනවා ඊනියා තර්කය මත පදනම් වෙන්න කියා. අපට එයත් බැහැ. ඒත් අප එය මත පදනම් වෙලා අපේ පිළිවෙළ නැති කර ගන්නවා. අපට පන්සලේ දි හැර වෙන තැනක කිසිම පිළිවෙළක් නැහැ. පන්සලේ පිළිවෙළත් පන්සල් ඇතුළෙ නැහැ. තවම පිළිවෙළ තියෙන්නෙ පන්සල් භූමියෙ පමණයි. අද අපේ විඤ්ඤුන් හාමුදුරුවරුන් නො වෙයි. අපට විනයක් නැති කම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. එරාන් නිසා යළි ඉපදෙන්න තීරණයක් ගෙන ? අපි දන්නෙ නැහැ.