ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

569

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.

එම අට දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (30) දකුණු කොරියාව බලා පිටත් වූ අතර එම සංචිතය සඳහා ක්‍රීඩකයින් හතර දෙනෙකු සහ ක්‍රීඩිකාවන් හතර දෙනෙකු ඇතුළත් වෙනවා.

තරගාවලියට නම් ශ්‍රී ලංකා සංචිතයට මෑත කාලයේ ඉහළ දස්කම් අතර සිටින තරුෂි කරුණාරත්න ඇතුළත් වන අතර ඇය මීටර් 800 ඉසව්වේ වත්මන් දස්කම් මත ආසියාවේ පෙරමුණේ සිටින ක්‍රීඩිකාව වීම ද විශේෂත්වයක්.

මීටර් 800 ඉසව්ව තත්පර 2:01.39 ක කාලයකින් අවසන් කිරීමට ඇය මෙම වසරේ දී සමත් වූ අතර එය ආසියානු කනිෂ්ඨ පිටියේ නිසැක පදක්කමක් දිනා ගැනීමට හැකි දස්කමක් වෙනවා.

එමෙන්ම මෙම සංචිතයට මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වූ යොවුන් ක්‍රීඩිකා ජයේෂි උත්තරා ද ඇතුළත් වෙනවා.

කලකට පසු මෙරට නියෝජනය කරමින් මීටර් 100 ඉසව්ව සඳහා බාලක අංශයෙන් ආනන්ද විද්‍යාල ක්‍රීඩක මෙරෝන් ජූලියන් සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ දිනාරා බණ්ඩාර තරගාවලියට එක් වෙනවා.

ඔවුන් දෙදෙනාම නිමා වූ 63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දී දැක්වූ දස්කම් මත මෙම තරගාවලියට සුදුසුකම් ලැබුවා.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ හොඳම දක්ෂතාවයට හිමි සම්මානය දිනා ගත් කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන මලිත් යසිරු මෙම සංචිතයට එක් වෙන්නේ තුන් පිම්ම ඉසව්ව සඳහායි.

රත්නපුර ප්‍රදේශයම නියෝජනය කරන කඩුලු පැනීමේ ක්‍රීඩක විනෝද් ආරියවංශ කඩුලු පැනීමේ ඉසව්ව සඳහා කණ්ඩායමට එක් වන අතර මීටර් 800 සහ 1500 ඉසව් නියෝජනය කරමින් ශෙහාන් දිල්රංග තරගාවලියට සහභාගී වෙනවා.

තරගාවලියේ බාලිකා උස පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් සහභාගී වන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පෙහන්සා ගමගේ කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩිකාවයි.

තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම:

  • බාලක: මෙරෝන් ජූලියන්, මලිත් යසිරු, විනෝද් ආරියවංශ, ශෙහාන් දිල්රංග.
  • බාලිකා: දිනාරා බණ්ඩාර, තරුෂි කරුණාරත්න, ජයේෂි උත්තරා, පෙහෙන්සා ගමගේ.

මෙම තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය උපරිම දස්කම් දක්වා ලක් මාතාවට පදක්කම් ගෙන ඒම ThePapare.com හි ප්‍රාර්ථනාවයි. තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<