දෝණිගේ ඇස් කඳුළින් තෙත් වුන තවත් එක දවසක්!

IPL 2023

1358

“මට ඔහු ගැන ගොඩක් සතුටුයි, ඉරණම ලියැවිලා තියෙන්නේ මේ විදිහට. මට පරදින්න වෙනවා නම් මම කැමතියි ඔහු ඉදිරියේ පරාජය වෙන්න.”

පිට පිටම දෙවැනි වතාවටත් IPL ශූරතාව ජයග්‍රහණය කිරීමේ අරමුණින් පිටියට පිවිසි Gujarat Titans නායක Hardik Pandya විසින් MS Dhoniගේ නායකත්වයෙන් යුත් Chennai Super Kings කණ්ඩායම හමුවේ 2023 IPL අවසන් මහා තරගය පරාජය වීමට සිදුවීම පිළිබඳ දක්වන්නේ එවන් අදහසක්.

“හොඳ මිනිසුන්ට හොඳ දේවල් සිද්ධ වෙනවා. ඔහු මම දන්න හොඳම අය අතරින් කෙනෙක්. දෙවියන් කරුණාවන්තයි, දෙවියන් මටත් කාරුණික වෙලා තියෙනවා, නමුත් අද ඔහුගේ රාත්‍රිය වුනා.”

ප්‍රතිවාදී නායකයකුගෙන් ලැබිය හැකි ඉහළ ම ගෞරවය Chennai නායක MS Dhoni හට Hardik Pandyaගෙන් හිමි වන්නේ ඒ ආකාරයෙනුයි.

මෙය Dhoniහට නුපුරුදු අත්දැකීම නම් නෙවෙයි, ඔහු ඉන්දියාවේ කුමන ප්‍රදේශයකට සංචාරය කළත්, කිසිදු පුද්ගල භේදයකින් තොරව ඔහුට ලැබෙන අසීමිත ප්‍රතිචාර පිළිබඳ බොහෝ දෙනෙකු අතරේ කතාබහට ලක් වෙනවා. නමුත් Dhoni මේ බොහෝ අවස්ථාවල බොහෝ සන්සුන් ව සහ අතිශය අවම හැඟීම් ප්‍රමාණයක් පිටතට පෙන්වමින් සිටීමට සමත් වීම පුදුමයට කරුණක්.

කෙසේ වෙතත් ඊයේ ලද ජයග්‍රහණයෙන් අනතුරුව අහමදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී තමන්ගේ සාමාන්‍ය ස්වරූපයෙන් ඉවතට ගොස් තරමක් සංවේදී වූ අවස්ථාවක් පිළිබඳ Dhoni විසින් මෙසේ සිහිපත් කළා.

“මෙය මගේ ක්‍රීඩා ජීවිතයේ අවසන් කොටස නිසා මම හැඟුම්බර වීම සාමාන්‍ය කාරණයක්. එය ආරම්භ වුනේ මෙතැනින් (අහමදාබාද් හිදි), තරගාවලියේ පළමු තරගය (Gujarat Titans සමඟ) මම ක්‍රීඩා කරද්දී.

මම පොඩ්ඩක් පිටිය වටේ ඇවිද්දා, පිරිලා හිටපු ප්‍රේක්ෂකාගාරය මගේ නම කියලා කෑ ගැහුවා. මගේ ඇස් කඳුළින් පිරුණා, මම එතන ටික වෙලාවක් හිට ගෙන හිටියා. මම ටික වෙලාවක් ගත කළා, පසුව මම ඒ ගැන තේරුම් ගත්තා, මට ඒ මොහොත විඳින්න අවශ්‍ය වුනා. ඒ දේ ම චෙන්නායි වල දීත් සිදු වුනා.”

තරගාවලියේ පළමු තරගය ද පැවැත්වුණේ අවසන් මහා තරගය පැවැත්වුණු ක්‍රීඩාංගණයේ දී ම වන අතර, තරගයට ක්‍රීඩා කළේ ද අවසන් තරගයේ දී මුණ ගැසුණු කණ්ඩායම් දෙකමයි. එම පළමු තරගයෙන් චෙන්නායි කණ්ඩායමට ගුජරාටය හමුවේ පරාජය වීමට සිදු වුනා.

කෙසේ වෙතත් තමන්ට ලැබෙන මෙම අසීමිත රසික ප්‍රේමය පිළිබඳ Dhoni පිටතට පෙන්වනවාටත් වඩා තෘප්තියක් හදවතින් විඳින වග නම් අනුමාන කළ හැකියි. එමෙන්ම Dhoni අවසන් තරගයෙන් අනතුරුව නැවත වරක් අවධාරණය කළේ මෙය තමන්ගේ අවසන් IPL තරගාවලිය ද යන්න තවමත් ස්ථිරව ම කිව නොහැකි බවයි. ඉදිරි මාස 6-7ක කාලය තුල අදාළ කාරණය පිළිබඳ Dhoni විසින් තීරණයක් ගනු ඇති බව අනුමාන කළ හැකි.

දිනෙන් දින උණුසුම් ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<