චෙන්නායි වෙත ආදරයෙන්!

IPL 2023

1199

IPL ඉතිහාසයේ තවත් තියුණු අවසන් මහා තරගයක නිමාව අද (30) අලුයම ඉන්දියාවේ අහමදාබාද් හි Narendra Modi ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සනිටුහන් වුනේ සිය පස්වැනි IPL ශූරතාව Chennai Super Kings කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමත් සමඟිනුයි.

මෙහි දී අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් Gujarat Titans ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ අතර Chennai Super Kings කණ්ඩායමේ පන්දු යවන්නන් සියල්ලන් ම පාහේ ගුජරාටය හමුවේ දැඩි පහර කෑමකට ලක් වුනා.

එහි දී ගුජරාට් ඉනිමේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ යොවුන් ශ්‍රී ලාංකිකයා මතීෂ පතිරණ විසින් යොමු කළ පළමු පන්දු දෙකට ම Sai Sudharsan විසින් දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කළ නමුත්, නැවත සිය සුපුරුදු රිද්මය සොයා ගත් මතීෂ මීළඟ පන්දුවෙන් Saiව දවා ගත් අතර ඉතිරි පන්දු 3 තුල දී තවත් ලකුණු දෙකක් පමණක් ලබා දෙමින් (මේ ලකුණු දෙක ම අතිරේක ලකුණු ලෙස ගුජරාට් ඉනිමට එක් වූ අතර ඒවා මතීෂගේ නම ඉදිරියෙන් ලියැවුණේ නැහැ.) තව කඩුල්ලක් බිඳ හෙළීමට ද සමත් වුනා.

මේ අනුව මෙවර IPL තරගාවලිය නිමා කරන විට මතීෂ විසින් කඩුලු 19ක් දවා ගැනීමට සමත් වී සිටි අතර ඔහු තරගාවලියේ වැඩි ම කඩුලු ලාභීන් අතර 9වැනි ස්ථානයේ රැඳී සිටියා.

මතීෂ විසින් තරගාවලිය පුරා පන්දුවෙන් දැක්වූ දක්ෂතා පිළිබඳ මෙන් ම, අවසන් මහා තරගයේ දීත් ඔහු විසින් දැක්වූ දක්ෂතා පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට විශේෂ ඇගයීම් ලැබෙමින් පවතින අතර මේ එවැනි Twitter සටහන් කිහිපයක්.

මේ වන විටත් 20 හැවිරිදි වියේ පසු වන මතීෂ විසින් IPL ශූරතාවක් ජයග්‍රහණය කළ ළාබාලතම විදෙස් ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමට සමත් වී ඇති බවයි Twitter හරහා දැන ගැනීමට ලැබෙන්නේ.

එමෙන් ම 2019 වසරේ Chennai Super Kings සහ Mumbai Indians අතර පැවැත්වුණු අවසන් මහා තරගයේ දී ලසිත් මාලිංග විසින් චෙන්නායි වෙතින් උදුරා ගත් IPL ශූරතා සිහිනය වෙනුවෙන් මතීෂ විසින් මෙවර යමක් කළ බව බොහෝ චෙන්නායි රසිකයින් විසින් විශ්වාස කරනවා.

“ඔහු අප සමඟ දශකයක් තිස්සේ රැඳී සිටී වී.

තරුවක් ඉපදෙමින් පවතී!”

එමෙන් ම මෙවර තරගාවලියේ 16-20 පන්දුවාර තුළ වැඩි ම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට පත් වීමට ද මතීෂ විසින් සමත් වී තිබෙන්නේ කඩුලු 16ක් දවා ගනිමිනුයි. මේ අතර එහි දී ඔහුගේ ලකුණු ලබා දීමේ සාමාන්‍ය 7.8ක් වැනි ඉතා ම අවම අගයක රඳවා තබා ගැනීමට සමත් වීම විශේෂයෙන්ම අගය කළ යුතුයි.

එමෙන්ම 20 හැවිරිදි වියේ දී වැඩි ම IPL කඩුලු ප්‍රමාණයක් බිඳ හෙළු පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට ද මතීෂ විසින් මෙවර සමත් වුනා.

එමෙන්ම ලැබූ ජයග්‍රහණය සමරමින් මතීෂ විසින් මෙවැනි සටහනක් Twitter හි සටහන් කර තිබුණා.

මේ අතර මහීෂ් තීක්ෂණ ද මෙවර තරගාවලියේ චෙන්නායි වෙනුවෙන් කඩුලු 11ක් දවා ගැනීමට සමත් වූ නමුත්, අතරින් පතර ඔහුගේ රිද්මය ගිලිහී ගිය බවත් දකින්නට ලැබුණා. නමුත් ඊයේ තරගයෙන් අනතුරුව ඔහු වෙනුවෙන් ද විශේෂ ඇගයීම් Twitter හරහා දකින්නට අවකාශය හිමි වුනා.

එමෙන්ම ඊයේ තරගය අවසන් වීමත් සමඟින් නන් අයුරින් මෙම තරගය හා සම්බන්ධ වූ අය මෙම ජයග්‍රහණය සැමරූ අයුරු Twitter හි මෙසේ සටහන් වී තිබුණා.

IPL ඉතිහාසයේ විශිෂ්ට පිතිකරුවෙකු ලෙස සිය නම රැඳවීමට සමත් වූ Robin Uthappa විසින් සිය අවසන් IPL කණ්ඩායම වූ CSK ලද ජයග්‍රහණය සැමරුවේ ඒ අයුරිනුයි.

Uthappa විසින් Chennai Super Kings කණ්ඩායම සමඟ එක් වුනේ සිය ක්‍රිකට් ජීවිතයේ අවසන් කාලයේ දී වූ නමුත් ඔහුට CSK කෙරෙහි සිය පවුල තරමේ හැඟීමක් ඇති බව ඔහුගේ සැමරුම් තුලින් පවා පෙනී යනවා.

මේ අතර මෙවර තරගාවලිය අතරමැද දී චෙන්නායි සමඟ එක් වීමට සිදු වූ (ආබාධයක් නිසා) Deepak Chahar විසින් තරගාවලිය නිමා වන විට කඩුලු 13ක් ලබා ගැනීමට සමත් වී තිබුණා. මේ අතරින් බොහෝ කඩුලු තරගයේ ආරම්භක පන්දුවාර වල දී දවා ගැනීමට ඔහු සමත් වූ අතර, කඩුල්ලක් බලාපොරොත්තුවෙන් Dhoni විසින් Chaharව කැඳවන බොහෝ අවස්ථාවල දී ද Chahar විසින් එම බලාපොරොත්තුව ඉටු කිරීමට සමත් වුනා.

ඊයේ තරගයේ දී ද ඔහු විසින් ගුජරාට් ඉනිමේ 14 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් අර්ධ ශතක ලාභී Wriddhiman Sahaගේ කඩුල්ල බිඳ දැමීමට සමත් වුනා. පහතින් දැක්වෙන්නේ ඊයේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව Chahar විසින් සිය සතුට සැමරූ ආකාරයයි.

Chennai Super Kings කණ්ඩායමට ඇති ප්‍රේක්ෂක ආදර කෙතරම් ද යන්න පහත වීඩියෝවෙන් තහවුරු වනවා. අවසන් තරගය ජයග්‍රහණය කිරීමෙ පසුව Narendra Modi ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් සිය සතුට සමරන්නේ මේ අයුරෙනුයි.

අවසන් තරගය තියුණු බව උත්කර්ෂයට නැංවීමේ වගකීමෙන් වැඩි බරක් තරග විස්තර විචාරකයින් හට හිමි වන අතර, මෙම අවසන් තරගයේ උච්චතම අවස්ථාවට හඬ ලබා දීම සඳහා Kevin Pietersen, Ravi Shastri සහ Ian Bishop යන අය විස්තර විචාරක කුටියේ රැඳී සිටියා.

එමෙන් ම මෙම තරගයේ චෙන්නායි ඉනිමේ අවසන් පන්දු දෙකට හයේ සහ හතරේ පහරක් එල්ල කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් තම කණ්ඩායමට හිමි කර දීමට සමත් වූ Ravindra Jadeja විසින් තරගයෙන් අනතුරුව සිය ප්‍රිය බිරිඳ Rivabaව වැලඳ ගන්නා අයුරු බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා.

“බොලිවුඩ් ආදර කතා අධිතක්සේරු සහගතයි,

සැබෑ ආදරය යනු මෙයයි!”

එමෙන් ම මෙවර තරගාවලියේ විශාලතම වෙනසක් සිදු කළ ක්‍රීඩකයෙකු ලෙස හඳුන්වා දිය හැකි Ajinkya Rahane හට තමන් සිදු කළ කැප කිරීම් වලට උපරිම ප්‍රතිඵල ලැබුණේ සිය පළමු IPL ශූරතාව දිනා ගැනීමට හැකි වීමත් සමඟයි.

මේ අතර මෙම තරගයේ අවසන් පන්දු දෙකට ලකුණු 10ක් ලබා ගත යුතු ව තිබූ අවස්ථාවේ ගුජරාට් නායකයා විසින් තරගය ජයග්‍රහණය කළා සේ හැසිරුණු ආකාරය ද මේ වන විට තරමක කතා බහකට බඳුන් වෙමින් පවතිනවා.

එමෙන් ම මෙම තරගය සිය අවසන් IPL තරගය බව නිවේදනය කරමින් තරගයට පිවිසෙමින් අවශ්‍යතම මොහොතේ චෙන්නායි ඉනිමට ශක්තියක් වීමට සමත් වූ Ambati Rayudu විසින් සිය 6 වැනි IPL ශූරතාව හිමි කර ගැනීමෙන් පසුව තරමක් සංවේදී ව කඳුළු සලනා ආකාරය ද කැමරා කාචයට මෙසේ හසු වී තිබුණා.

“එක් වරක් ශූරයින් වීම අපහසු දෙයක්, පස් වතාවක් ශූරයින් වීම අදහා ගත නොහැකි දෙයක්.”

මේ සටහන සමඟින් චෙන්නායි වෙත සුබ පැතුම් එක් කරන්නේ Gautam Gambhir විසිනුයි.

එමෙන්ම චෙන්නායි කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරීමට අසීරු අවස්ථාවක සිටි මොහොතක කඳුළු සලමින් සිටි චෙන්නායි රසිකාවියන්, තරගය ජයග්‍රහණයෙන් පසුව නැවතත් කඳුළු සලනා ආකාරය දිස් වූ අතර, එහි වෙනස වුනේ දෙවැනි වතාවේ ඒ ඇස්වලින් පිට වුනේ සතුටු කඳුළු වීමයි.

මතීෂ පතිරණ විසින් ශූරතා කුසලානය ද රැගෙන සිය කණ්ඩායම සමඟ ඔවුන් නැවතී සිටි හෝටලයට පිවිසෙද්දී ඔවුන්ට හිමි වුනේ මෙවන් ප්‍රතිචාරයක්.

Chennai Super Kings කණ්ඩායම ලද මේ අනභිභවනීය ජයග්‍රහණය පිටුපස සිටි නොසෙල්වෙන සෙවණැල්ල බඳු වූ Captain Cool MS Dhoniහට ද ඊයේ පටන් ලැබෙන ආදරණීය ප්‍රතිචාර සහ ඔහුව අගයමින් රසිකයින් විසින් තබන සටහන් වල නිමක් නැති තරම්.

“අපට එය MS Dhoni වෙනුවෙන් ජයග්‍රහණය කළ යුතු වුනා. Raina 2018දී, Bravo 2021 දී සහ Ruturaj විසින් 2023 දී.”

එමෙන්ම තරගය අතිශය තියුණුව ඇදී යන අවස්ථාවක පවා Dhoni විසින් කිසිදු හැල හොල්මනකින් තොර ව සන්සුන්ව සිටින අයුරු බොහෝ දෙනාගේ අවධානයට යොමු වුනා.

මේ අනුව 16 වැනි IPL තරගාවලිය ඒ අයුරින් නිමාව දුටු අතර, මෙවර තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වුනා. මේ අයුරින් ම ඉදිරියටත් ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ලෙස ඔබට සමීප ව සිටීමට Thepapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<