අවසන් පන්දුවේ ජයෙන් IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස්ට!

225
Chennai Super Kings v Gujarat Titans

අති උද්වේගකර තරග රැසකින් පිරුණු ඉතිහාසයේ සාර්ථකම Indian Premiere League තරගාවලියක් අද (30) අලුයම අවසන් වුනේ MS Dhoni නායකත්වය දරන Chennai Super Kings කණ්ඩායම 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගන්වමින්.

ඔවුන් හමුවේ ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව අවසන් පන්දුවේ දී කඩුලු 5කින් පරාජය ලැබුවේ මෙවර ලකුණු සටහනේ ඉහළින්ම සිටි Gujarat Titans කණ්ඩායමයි.

ඉරිදා දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවට යට වීම නිසා තරගය ඊළඟ දිනයට කල් දමන්නටයි සංවිධායකයින්ට සිදු වුනේ. මේ අනුව ඊයේ රාත්‍රියේ තරගය යළි ඇරඹෙන්නේ Chennai නායක MS Dhoniට කාසියේ වාසිය හිමිකර දෙමින්. ඒ අනුව ලකුණු හඹා යාමේ සුවිශේෂී දස්කම් දැක්වූ Gujarat Titans කණ්ඩායමට එම අවස්ථාව ලබා දීමට තරම් ලොව හොඳම ක්‍රිකට් මොළයක් වන Dhoni අනුවණ වුනේ නැහැ.

මේ අනුව Gujarat Titans කණ්ඩායමට මුලින් පිතිකරණයේ යෙදීමට සිදු වුනා. තම මංගල IPL තරගාවලියට ක්‍රීඩා කළ දසුන් ශානක තමන්ට ලැබුණු සීමිත තරග කිහිපයේ දී කැපී පෙනෙන දස්කම් දක්වා නොතිබූ නිසා අවසන් තරගයේ Gujarat නියෝජනය කරන්නට තරම් වාසනාවන්ත වුනේ නැහැ. අනෙක් පසින් Chennai කණ්ඩායමේ හොඳම විදෙස් තුරුම්පු දෙක වන මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ තම කණ්ඩායමට කුසලානය දිනා දීම වෙනුවෙන් සැදී පැහැදී සිටියා.

මෙවර තරගාවලිය පුරාවටම මූලික සිද්ධාන්ත අකුරටම ඉටු කරමින් අවසන් තරගයට වරම් ලද Chennai කණ්ඩායම ඊයේ තරගයේ පළමු අර්ධයේ නොසිතූ ලෙස දියාරු ක්‍රීඩා රටාවක නිරත වුනා. එහි භයානකම මොහොත වූයේ ශතක 3ක් සමඟින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස වැජඹුනු Shubman Gill ලකුණු 3 දී ලබා දුන් පහසු උඩපන්දුව Deepak Chahar විසින් බිම අත හැරීමයි.

නැවතත් තමාගේම පන්දුවකට Wriddhiman Saha ලබා දුන් උඩපන්දුවක් ද Chaharගේ ඇඟිලි තුඩුවල දැවැටෙමින් බිම පතිත වුනා. Chahar ඇතුළු සෙසු පන්දු රකින්නන්ගෙන් ද ඊයේ නිරූපණය වුනේ අවසන් තරගයකට නොගැලපෙන දියාරු පන්දු රැකීමක්. අනෙක් ගැටලුව වුනේ පන්දුව අතට දෙන සෑම අවස්ථාවකම යුතුකම් ඉටු කරන මහීෂ් – මතීෂ යුගලය පවා ඊයේ නොසිතූ ප්‍රහාරයකට ලක්වීමයි.

මේ නිසා පළමු කඩුල්ලටම ලකුණු 67ක් එකතු කරන්නට ගුජරාටයට හැකි වුනා. ඉන්දියාවේ මීළඟ ක්‍රිකට් කුමරු ලෙස හැඳින්වෙන Shubman Gill ඊයේ පන්දු 20කට මුහුණ දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 39ක්. ඔහුගේ සහාය පිතිකරු Wriddhiman Saha ඊයේ අර්ධ ශතකයක් ලබා ගත්තේ පන්දු 39කට මුහුණ දෙමින්. ඉතාමත් ශක්තිමත් පිතිකරණ බලඇණියක් සහිත Gujarat කණ්ඩායම වෙනුවෙන් ඊයේ නොසිතූ දස්කම් දැක්වූවේ ඔවුන්ගේ ළාබාලම පිතිකරුවා වන Sai Sudharsan.

ඔහු පන්දු 47කට මුහුණ දෙමින් ලකුණු 96ක් ලබාගෙන ශතකය කරා කුරුමානම් අල්ලමින් සිටිය දී ඔහුගේ ගමන නතර කරන්නට මතීෂ පතිරණට හැකි වුනා. ඒ Sudharsanව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්. මෙම 21 හැවිරිදි යෞවනයාගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් ඇතුළත් වුනා. මේ නිසාම ගුජරාටයට ලකුණු 200 සීමාව පසුකර යාමට හැකි වූ අතර අවසන් මොහොතේ Hardik Pandya පැමිණ එය ලකුණු 214ක් ලෙස අවසන් කළා.

Vijay Shankar සහ Rahul Tewatia යන විශේෂඥ පිතිකරුවන් දෙදෙනාටම ඉහළින් පිටියට එවූ Rashid Khanව ලකුණු 0 දී ම දවා ගැනීමත් සමඟ මතීෂ පතිරණ ඊයේ ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත්තා. මීට අමතරව Deepak Chahar සහ Ravindra Jadeja එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තරගාවලිය පුරාවටම අඛණ්ඩ දස්කම් අතර සිටි මහීෂ් තීක්ෂණ අවසන් තරගයේ දී නම් ලකුණු 36ක් ලබා දෙමින් කඩුලු බිඳ දැමීමට සමත් වුනේ නැහැ.

Chennai ඉනිම ඇරඹී පන්දු 3ක් යවන විටම නැවතත් අහමදාබාද් නුවරට වැසි පතිත වුනේ අවසන් තරග උණුසුම සෑහෙන දුරකට මකා දමමින්. නමුත් පළමු දිනයේත් වැසි නවතින තුරුම බලා සිට රාත්‍රිය දුම්රියපළවල් වල ගෙවා දැමූ ප්‍රේක්ෂකයින්ව ක්‍රීඩාංගණයෙන් ඉවත් කරන්නට වැසි දෙවියන්ට හැකි වුනේ නැහැ. අවසානයේ හෝරා කිහිපයක පමාවකින් පසු තරගය නැවත ඇරඹුණේ Chennai කණ්ඩායමට පන්දුවාර 15ක් පමණක් ඉතිරි කර දෙමින්.

ඒ අතරේ ඔවුන්ට කුසලානය දෝත දරන්නට නම් ලකුණු 171ක් ලබා ගැනීම අවශ්‍ය කළා. මෙම අභියෝගය හිස නමා පිළිගත් Devon Conway සහ Ruturaj Gaikwad පළමු කඩුල්ලටම වේගවත් ලකුණු 74ක් එකතු කළා. ඔවුන් දෙදෙනාගේ ප්‍රහාරය නිසාම සිහිනයක් වැනි මෙම ඉලක්කය සැබෑවක් කර ගැනීම අපහසු නොවන බව Chennai කඳවුරට තේරුම් ගියා.

තරගය පැවැත්වුණේ Gujarat බලකොටුවේ වුව ද, Dhoni වෙනුවෙන් පිටියට බට දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ද උපරිම සහයෝගය Chennai කණ්ඩායමට පල කළා. අවසානයේ සාර්ථක සබඳතාවයක නිමාව සනිටුහන් කරමින් Ruturaj Gaikwad දැවී ගියේ පන්දු 16කින් ලකුණු 26ක් ලබා ගැනීමෙන් පසුවයි. වඩාත් ප්‍රහාරාත්මක වූ Devon Conway ලකුණු 47ක් උදුරා ගත්තේ පන්දු 25ක් පමණක් වැය කරමින්.

අවසානයේ ඔවුන් දෙදෙනාම එකම පන්දුවාරයක දී දවා ගන්නට ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Noor Ahmed සමත් වුනා. Ajinkya Rahane පන්දු 13කින් ලකුණු 27යි. තම අවසන් IPL තරගයට ක්‍රීඩා කරන Ambati Rayudu කණ්ඩායමට අවශ්‍ය කරන ලකුණු වේගය සපුරා දුන්නේ Mohit Sharmaට පිට පිටම හයේ පහර 2ක් සහ එක් හතරේ පහරක් එල්ල කරමින්. ඔහු පන්දු 8කින් රැස් කළේ ලකුණු 19ක් පමණක් වුව ද, මෙම ඉනිම තරගයේ පාලනය Chennai කණ්ඩායමට ලබා දීමට ප්‍රමාණවත් වුනා.

Rayuduගේ දැවී යාමත් සමඟ Chennai ප්‍රේක්ෂකයින් පුනපුනා බලා සිටි Dhoniව තරගය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් පිටියට එවූවත්, ඔහු තමාට ලැබුණු පළමු පන්දුවේ දී ම Miller අතට පහසු උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියා. මේ නිසා Chennai කණ්ඩායමට අමතර පීඩනයකට මුහුණ දීමට සිදු වූ අතර අවසන් පන්දුවාරයට ලකුණු 13ක් ලබා ගැනීමට ඔවුන්ට සිදු වුනා.

මෙම පන්දුවාරය ක්‍රියාත්මක කළ Mohit Sharma පළමු පන්දු 4 ම ලකුණු 3කට අවසන් කළේ ගුජරාටයට පිට පිටම දෙවැනි වරටත් කුසලානයේ මිහිර විඳින්නට ඉඩ ලැබෙන ලකුණු පහළ කරමින්. Chennai කණ්ඩායම කිසිවක් කරකියා ගන්නට නොහැකිව පසුබා සිටි මේ මොහොතේ ඉතිරි පන්දු 2ත් යවා තරග ජය මුද්‍රා තැබීම වෙනුවට මේ මොහොතේ පුහුණුකරු Ashish Nehra පණිවිඩකරුවන් පිටියට එවමින් කාලය නාස්ති කිරීම Chennai කණ්ඩායමට ප්‍රතිසංවිධානයට අවශ්‍ය කාලය ලබා දුන්නා.

ඉන්පසු යැවූ පන්දු දෙකේ දී හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කළ Ahamadabad ප්‍රදේශයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ Ravindra Jadeja චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සෑහෙන දුරින් තිබු කුසලානයේ පහස විඳින්නට ඉඩ හසර විවර කර දුන්නා. ඔහුට අනගි සහයක් ලබා දුන් Shivam Dube අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටියේ පන්දු 21කින් ලකුණු 32ක් ලබාගෙනයි.

Gujarat Titans – කඩුලු 4ක් දැවී ලකුණු 214 (පන්දුවාර 20): Sai Sudharsan 96, Wriddhiman Saha 54, Shubman Gill 39, Hardik Pandya 21*, මතීෂ පතිරණ 2/44, Ravindra Jadeja 1/38, Deepak Chahar 1/38.

Chennai Super Kings – කඩුලු 5ක් දැවී ලකුණු 171 (පන්දුවාර 15): Devon Conway 47, Shivam Dube 32*, Ajinkya Rahane 27, Ruturaj Gaikwad 26, Ambati Rayudu 19, Ravindra Jadeja 15*, Mohit Sharma 3/36, Noor Ahmed 2/17.

මෙම තරගාවලිය පුරාවට කැපී පෙනෙන පන්දු යැවීමක යෙදෙමින් වැඩිම කඩුලු ලාභීන් අතර මුල් ස්ථාන 3ම දිනා ගත් ගුජරාට් පන්දු යවන්නන් තිදෙනා වන Mohommed Shami (28), Mohit Sharma (27) සහ Rashid Khan (27) යන තුරුම්පු ත්‍රිත්වයම සිටිය දීත් Chennai අවසන් මහා තරගයක මෙවන් විශාල ලකුණු ප්‍රමාණයක් හඹා යාම සුවිශේෂී සිදුවීමක්.

තරගයේ වීරයා සම්මානය අසීරු අභියෝගයක් හඹා යන හැටි Chennai කණ්ඩායමට ඉගැන්වූ Devon Conwayටත්, තරගාවලියේ වීරයා සම්මානය තරග 17ක දී ලකුණු 890ක් ලබා ගත් Shubman Gillටත් හිමි වුනා.

මේ අනුව මාස 2ක් පුරාවට ලොව පුරා ක්‍රිකට් පිපාසය සිඳවාලූ Indian Premiere League තරගාවලිය අවසන් වුනේ Dhoni ඇතුළු Chennai පවුලට පස්වැනි වරටත් කුසලානය හිමිකර දෙමිනුයි.

තරගාවලියේ සෙසු සම්මාන පහත අයුරින් බෙදී ගියා.

  • හොඳම නැගී එන ක්‍රීඩකයා – Yashasvi Jaiswal
  • තරගාවලියේ උඩපන්දුව – Rashid Khan
  • ජීව ගුණය සුරැකි කණ්ඩායම – Delhi Capitals
  • දම් පැහැ හිස්වැස්ම – Mohommed Shami
  • තැඹිලි පැහැ හිස්වැස්ම – Shubman Gill

තවත් උණුසුම් ක්‍රීඩා තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<