මිශාර, දමිත, චමෝද්, දිනුක සහ ලසඳගෙන් වැඩි දස්කම්

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

360
ARMY SC vs CHILAW MCC

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2023 අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරග දිනය අද (29) ක්‍රියාත්මක වුනා. එහි දී NCC, හලාවත මේරියන්ස්, BRC, මුවර්ස්, පානදුර සහ CCC කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා.

ක්‍රීඩකයින්ගේ දස්කම් සලකා බැලීමේ දී කමිල් මිශාර (ලකුණු 56* – NCC) සහ දමිත සිල්වා (ලකුණු 56 – හලාවත මේරියන්ස්) අර්ධ ශතක ලබා ගන්නා විට, චමෝද් සඳරු (කඩුලු 5 – හලාවත මේරියන්ස්), දිනුක ඩිල්ශාන් (කඩුලු 4 – මුවර්ස්) සහ ලසඳ රුක්මාල් (කඩුලු 4 – ගුවන් හමුදාව) අද දිනයේ කැපී පෙනන දස්කම් දැක්වීමට සමත් වුනා.

යුද හමුදාව සහ NCC

කාසියේ වාසිය දිනා ගත් NCC පළමුවෙන් පන්දුවට පහර දීමට යුද හමුදාවට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 121ක් ලබා ගන්නට සමත් වුනා. හර්ෂජිත් විරේන්ද්‍ර ලකුණු 26ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ NCC එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහි දී දක්ෂ පිතිකරණයක නිරත වුනු කමිල් මිෂාර නොදැවී ලකුණු 56*ක් ලබා ගන්නට සමත් වූ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 34ක් හා තවීෂ අභිෂේක් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා. ඒ අනුව තරගය කඩුලු 9කින් ජය ගන්නට NCC සමත් වුනා.

යුද හමුදාව – 121/8 (20): හර්ෂජිත් විරේන්ද්‍ර 26, අසේල ගුණරත්න 25, ෂෙහාන් ප්‍රනාන්දු 22, අශේන් ඩැනියෙල් 3/17, කමිල් මිෂාර 2/25

NCC – 126/1 (12.4): කමිල් මිෂාර 56*, නිරෝෂන් දික්වැල්ල 34, තවීෂ අභිෂේක් 24*

NCC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

පොලිස් ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හලාවත මේරියන්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තා. එහි දී දක්ෂ ලෙස පන්දුවට පහර දුන් දමිත සිල්වා ලකුණු 56ක් ලබා ගන්නට සමත් වූ අතර කසුන් විදුර ලකුණු 22ක් හා චමෝද් සඳරු ලකුණු 21ක් ලබා ගන්නට සමත් වුනා.

පන්දු යැවීමේ දී නලින් ප්‍රියදර්ශන කඩුලු 3ක් දවා ගත් අතර වමතින් වේගපන්දු යවන දනාල් හේමානන්ද කඩුලු 2ක් දවා ගන්නට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍ර්‍රීඩා කළ පොලිස් ඉනිම ලකුණු 129කට සීමා කරමින් චමෝද් සඳරු කඩුලු 5ක් දවා ගත්තා. ඒ අනුව පොලිස් කණ්ඩායම මේ දක්වා තරග කළ තරග 2ම පරාජයට පත්ව තිබෙනවා. නිපුන් ප්‍රේමරත්න කඩුලු 2යි.

හලාවත මේරියන්ස් – 151/7 (20): දමිත සිල්වා 56, කසුන් විදුර 22, චමෝද් සඳරු 21, නලින් ප්‍රියදර්ශන 3/23, දනාල් හේමානන්ද 2/30

පොලිස් – 129 (19.2): රන්දුණු ගංගානාත් 26, චතුරංග ජයතිලක 24, සුපුන් මධුසංක 23, චමෝද් සඳරු 5/22, නිපුන් ප්‍රේමරත්න 2/20

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සහ BRC

කාසියේ වාසිය දිනා ගත් කැන්ඩි කස්ටම්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 75ක් පමණයි. එහි දී වැඩිම ලකුණු ලාභියා වූ සසිත් මනුරංග නොදැවී ලකුණු 23*ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මොහොමඩ් ශිරාස් කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ BRC කඩුලු 3ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කැන්ඩි කස්ටම්ස් – 75/8 (20): සසිත් මනුරංග 23, මොහොමඩ් ශිරාස් 3/10, දුවිඳු තිලකරත්න 2/04, මලිඳු ෂෙහාන් 2/26

BRC – 76/3 (9.2): දිල්රුවන් පෙරේරා 26, ලක්ෂාන් ගමගේ 23, සසිත් මනුරංග 2/07

BRC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

ගාල්ල ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය

තරගයේ කාසියේ වාසිය මුවර්ස් විසින් දිනාගත් අතර ඔවුන් පළමුව පන්දු ‍රැකීමට තීරණය කළා. ගාල්ල පිතිකරුවන්ගේ දුර්වලතා නිසා එම ඉනිම ලකුණු 40කට සීමා වුනා. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිනුක ඩිල්ෂාන් කඩුලු 4ක් දවා ගත් අතර ඔහුට සහය වුනු ලහිරු සමරකෝන් කඩුලු 3ක් හා තිලාන් ලොරෙන්සුහේවා කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 41ක පහසු ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී පසුකරමින් ඔවුන් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගන්නට මුවර්ස් කීඩා සමාජය සමත් වුනා.

ගාල්ල – 40 (13.3): දිනුක ඩිල්ෂාන් 4/10, ලහිරු සමරකෝන් 3/05, තිලාන් ලොරෙන්සුහේවා 2/07

මුවර්ස් – 42/2 (7.4):

මුවර්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 8ක ජයක්.

පානදුර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

කාසියේ වාසිය දිනා ගත් ගුවන් හමුදාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පානදුර ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා. එහි දී රජීව වීරසිංහ ලකුණු 47ක් ද, සිනෙත් ජයවර්ධන ලකුණු 36ක් ද, රොෂාන් විජේනායක නොදැවී ලකුණු 34*ක් ද ලබා ගත්තා. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක ලසඳ රුක්මාල් කඩුලු 4ක් දවා ගත්තේ ගුවන් හමුදා නායකයා ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුවන් හමුදාවට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 81ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නදුන් ඩිල්ෂාන් ලකුණු 31ක් ලබා ගත් අතර සෙසු ක්‍රීඩකයන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට හෝ හැකියාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී විශ්ව ලහිරු කඩුලු 3ක් දවා ගත් අතර අසේල සම්පත් හා කොෂාන් ජයවික්‍රම අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පානදුර – 156/8 (20): රජීව වීරසිංහ 47, සිනෙත් ජයවර්ධන 36, රොෂාන් විජේනායක 34*, ලසඳ රුක්මාල් 4/33

ගුවන් හමුදාව – 81 (17.3): නදුන් ඩිල්ෂාන් 31, විශ්ව ලහිරු 3/19, අසේල සම්පත් 2/11, කොෂාන් ජයවික්‍රම 2/12

පානදුර ක්‍රීඩා සමාජයට ලකුණු 75ක ජයක්.

මීගමුව ක්‍රිකට් සමාජය සහ CCC

මීගමුව – 124/8 (20): ජීවක ශෂීන් 29, දිමුත් සඳරුවන් 25, හිමාෂ ලියනගේ 21, විශ්ව ප්‍රනාන්දු 3/22, චතුරංග ද සිල්වා 2/29

කොළඹ – 127/5 (19.1): මිනෝද් භානුක 41, නිමේෂ ගුණසිංහ 40*, නිශාන් පීරිස් 2/15, සචිඳු කොළඹගේ 2/21

CCC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<