ජීවකයන්ගේ කුසලානය මහනුවරට

Doctors Cricket League 2023

347

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය එක් ව පළමු වරට සංවිධානය කරන ලද Doctors Cricket League – 2023 විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Kandy Knights කණ්ඩායම සමත් වුනා.

අවසන් මහා තරගය පසුගිය දා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී Kandy Knights කණ්ඩායම Colombo Super Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 61ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මංගල මහා තරගාවලියේ සව්දිය පිරුවා.

තරගාවලිය සඳහා Colombo Super Kings, Dambulla Royal, Galle Titans, Jaffna Healers සහ Kandy Knights යන කණ්ඩායම් සහභාගී වූ අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී සහ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී තරග පැවැත්වුනා.

තරගාවලිය පැවති ආකාරය
1 Colombo Super Kings Dambulla Royal Colombo Super Kings කණ්ඩායමට ලකුණු 30ක ජයක්.
2 Jaffna Healers Kandy Knights Kandy Knight කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
3 Galle Titans Jaffna Healers Galle Titans කණ්ඩායමට ලකුණු 86ක ජයක්.
4 Kandy Knight Colombo Super Kings Colombo Super Kings කණ්ඩායමට ලකුණු 40ක ජයක්.
5 Dambulla Royal Kandy Knights Kandy Knight කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
6 Galle Titans Colombo Super Kings Colombo Super Kings කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
7 Galle Titans Kandy Knights Kandy Knight කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
8 Jaffna Healers Dambulla Royal Dambulla Royal කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
9 Colombo Super Kings Jaffna Healers Colombo Super Kings කණ්ඩායමට ලකුණු 53ක ජයක්.
10 Dambulla Royal Galle Titans Dambulla Royal කණ්ඩායමට ලකුණු 16ක ජයක්.
තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගය
11 Galle Titans Dambulla Royal Galle Titans කණ්ඩායමට ලකුණු 7ක ජයක්.
අවසන් මහා තරගය
12 Colombo Super Kings Kandy Knights Kandy Knight කණ්ඩායමට ලකුණු 61ක ජයක්.

තරගාවලියේ පළමු වටය නිමාවේ දී Colombo Super Kings අපරාජිතව සිටිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය හිමි කර ගත් අතර එහි දෙවැනි ස්ථානය Kandy Knights කණ්ඩායම සතු වුනා.

ඒ අනුව එම කණ්ඩායම් 2 අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර එහි දී වාසි සහගත තරගයකට Colombo Super Kings පිවිසියා. ඒ ඔවුන් පළමු වටයේ දී පහසුවෙන් ම Kandy Knights පරාජය කිරීම හේතුවෙන්.

අවසන් මහා තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී කාසියේ වාසිය දිනා ගත් Kandy Knights ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම ඉනිමට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා. එහි දී ආරම්භක පිතිකරු තිළිණ සමරසිංහ පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔහුට අමතර ව ශෂික චන්ද්‍රරත්න පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට පන්දු 63ක දී ලකුණු 126ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colombo Super Kings කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 142ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් ගිහාන් අත්තනගොඩ පන්දු 21ක දී ලකුණු 27ක් සහ අචින්ත තාරක පන්දු 13ක දී ලකුණු 28ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

Colombo Super Kings පාලනය කිරීමේ දී අමිල කොඩිකාර ලකුණු 33කට කඩුලු 4ක් සහ අමිල මදුරාගොඩ ලකුණු 5කට කඩුලු 2ක් දවා ගත්තා.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Kandy Knights– කඩුලු 2ක් දැවී 203 (20)තාරක වික්‍රමගේ 28, තිළිණ සමරසිංහ නොදැවී 111, ශෂික චන්ද්‍රරත්න 46, ඉසුරු අහේෂ් 1/34
  • Colombo Super Kings– සියලුම දෙනා දැවී 142 (15.5)ඉසුරු අහේෂ් 19, ගිහාන් අත්තනගොඩ 27, අචින්ත තාරක 28, අමිල කොඩිකාර 4/33, අමිල මදුරාගොඩ 2/05

Kandy Knights කණ්ඩායමට ලකුණු 61ක ජයක්.

අවසන් තරගයේ වීරයා තිළිණ සමරසිංහ

මේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවති තරගයේ දී Dambulla Royal කණ්ඩායමට එරෙහිව ලකුණු 7ක ජයග්‍රහණයක් වාර්තා කළ Galle Titans එම ස්ථානයට පත් වූවා.

තරගාවලියේ දක්ෂතා දැක්වූවෝ

රජීව් නිර්මලසිංහම් තරගාවලියේ දක්ෂතම පිතිකරු

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ Jaffna Healers කණ්ඩායමේ රජීව් නිර්මලසිංහම්. ඔහු තරග 4ක ඉනිම් 4ක දී ශතකයක් සමඟින් ලකුණු 198ක් ලබා ගන්නවා. ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ Dambulla Royal කණ්ඩායමට එරෙහිව පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 115යි.

එය මෙම තරගාවලියේ පිතිකරුවෙක් එක් ඉනිමක දී ලබා ගත් පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව ද වුනා.

ඉන් අනතුරුව මෙම ලැයිස්තුවට එක් වූයේ Galle Titans කණ්ඩායමේ ඩිලාන් පරනමාන්න. ඔහු තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 194ක් ලබා ගන්නවා. ඊට Dambulla Royal සහ Kandy Knights කණ්ඩායම්වලට එරෙහිව ලබා ගත් අර්ධ ශතක 2ක් ද ඇතුළත්. ඊට අමතර ව ඔහු දකුණතින් මද වේගපන්දු යවමින් කඩුලු 5ක් ද දවා ගැනීමට සමත් වෙනවා.

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතරින් තෙවැනි අසුන වෙන් කර ගත්තේ Kandy Knights කණ්ඩායමේ ශෂික චන්ද්‍රරත්න. ඔහු තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 179ක් ලබා ගන්නවා.

නිශාන්ත කරුණාරත්න තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා

තරගාවලියේ පන්දු යවන්නන් අතරින් දක්ෂතා දැක්වූවන් අතර පෙරමුණ ගත්තේ Colombo Super Kings කණ්ඩායමේ දකුණතින් පා දඟපන්දු යවන නිශාන්ත කරුණාරත්න. ඔහු තරග 5ක ඉනිම් 5ක දී කඩුලු 10ක් ලබා ගන්නවා. ඔහු Jaffna Healers සහ Kandy Knights කණ්ඩායම්වලට එරෙහිව කඩුලු 4 බැගින් දවා ගන්නා අතර හොඳම පන්දු යැවීම බවට පත් වූයේ Kandy Knights කණ්ඩායමට එරෙහිව ලකුණු 8කට දවා ගත් කඩුලු 4යි.

පන්දු යවන්නන් අතරින් දෙවැනි සහ තෙවැනියන් ලෙසින් සම අසුන් වෙන්කර ගැනීමට Galle Titans කණ්ඩායමේ ශෙහාන් සංජීව සහ උදාර අබේවික්‍රම සමත් වෙනවා. ඔවුන් දෙදෙනා ම කඩුලු 9ක් බැගින් ලබා ගන්නවා. මේ අතරින් උදාර අබේවික්‍රම Jaffna Healers කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට කඩුලු 5ක් දවා ගනිමින් තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ද සමත් වෙනවා.

ඩිලාන් පරණමාන්න තරගාවලියේ වීරයා

  • අවසන් තරගයේ වීරයා – තිළිණ සමරසිංහ (Kandy Knights)
  • තරගාවලියේ වීරයා – ඩිලාන් පරණමාන්න (Galle Titans)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – රජීව් නිර්මලසිංහම් Jaffna Healers
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා  – නිශාන්ත කරුණාරත්න Colombo Super Kings

මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි භාණ්ඩාගාරික සූජීව ගොඩලියැද්ද මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් අතිරේක ලේකම් සුනිල් ගමගේ මහතා සහ  රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපතිවරයා ද සහභාගී වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<