ABගේ ප්‍රියතම IPL තරුව Kohliවත්, De Villiersවත් නෙමෙයි!

IPL 2023

538

හිටපු සුපිරි දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු වන AB De Villiers විසින් මෙවර IPL තරගාවලියේ සිය ප්‍රියතම ක්‍රීඩකයා පිළිබඳව හෙළිදරව් කර තිබෙනවා.

ඔහුගේ මෙම කැමැත්ත ප්‍රකාශ කිරීම තරමක් විශේෂ එකක් වන්නේ ඔහු විසින් බොහෝ දෙනා අනුමාන කළ පරිදි සිය RCB සහයක පිතිකරුවා වූ Virat Kohli, දකුණු අප්‍රිකානු කණ්ඩායම් සගයා වූ Faf du Plessis හෝ මෙවර තරගාවලියේ සාර්ථක ම පිතිකරු වන Shubman Gill යන අයව නොසලකා හරිමින් වෙනත් ක්‍රීඩකයෙකු තෝරා ගැනීම නිසායි.

මෙවර තරගාවලියේ මූලික වටයේ පස්වැනි ස්ථානයට පත් වෙමින් Play-Off වටයට පිවිසීමේ අවස්ථාව අහිමි කර ගත් Rajasthan Royals කණ්ඩායමේ ප්‍රවේගකාරී තරුණ ආරම්භක පිතිකරු Yashasvi Jaiswalව De Villiers විසින් ඒ වෙනුවට තෝරා ගෙන තිබෙනවා.

Jaiswal විසින් මෙවර IPL තරගාවලියේ Rajasthan Royals වෙනුවෙන් ඉහළ ම ලකුණු ලාභියා බවට පත් වීමට සමත් වුනේ තරග 14ක් ක්‍රීඩා කරමින් 48.08ක සාමාන්‍ය අගයක් ද සහිතව ලකුණු 625ක් රැස් කිරීමත් සමඟයි.

මෙම තරගාවලියේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 163.61ක් වැනි අතිශය ඉහළ අගයක රැඳී තිබූ අතර, මෙම ලකුණු 625 තුලට එක් ශතකයක් සහ අර්ධ ශතක 5ක් ද අන්තර්ගත කර ගැනීමට ඔහු විසින් සමත් වුනා. එමෙන් ම ඔහු මෙවර තරගාවලියේ තවමත් සිව් වැනියට ඉහළ ම ලකුණු ලාභියා ලෙස ද රැඳී සිටිනවා.

විශේෂයෙන්ම පිටියේ පන්දු රකින්නන් නොමැති තැන් සොයා ගනිමින් සිය අලංකාර පහර ස්ථානගත කිරීමට ඔහුට ඇති හැකියාව බොහෝ දෙනෙකුගේ අගය කිරීමට ලක් වන අතර, මෙවර තරගාවලියේ ඔහුගේ සහයක ආරම්භක පිතිකරු Jos Buttlerගේ දුර්වල පිතිකරණය නිසා ම Jaiswalගේ හැකියාව තවත් වැඩියෙන් කැපී පෙනුණා.

මෙවැනි හේතු ගණනාවක් නිසා හිටපු Royal Challengers Bangalore පිතිකරු AB De Villiers විසින් Jaiswalව 2023 IPL තරගාවලියේ සිය ප්‍රියතමයා ලෙස නම් කරනවා.

“ඉතා ම විශාල පරතරයක් සහිතව Yashasvi Jaiswal තමයි අනිවාර්යයෙන් ම මගේ ප්‍රියතමයා වෙන්නේ. ඔහු තරුණ ක්‍රීඩකයෙක් ඒ වගේ ම සියලු ම පොතේ පහරවල් ඔහු සතුව තියෙනවා. මම කැමතියි ඔහු කරන දේට. ඔහු කඩුල්ලේ දී ඉතා ම සැහැල්ලුයි. හැම තිස්සේ ම පන්දු යවන්නන් පාලනය කරමින් පාලනයකින් යුතු ව ඉන්නවා.

Shubmanට ටිකක් වයසයි. මම හිතන්නේ Jaiswalට ගොඩක් දුර යන්න තියෙනවා. ඔහුට විශිෂ්ටයකු වීමට අවශ්‍ය සුදුසුකම් සියල්ල තිබෙනවා.”

JioCinema වෙත අදහස් දක්වමින් De Villiers විසින් මේ බව ප්‍රකාශ කළා.

මෙවර තරගාවලියේ දී Rajasthan Royals ක්‍රීඩා කළ තරග 14න් 7ක් ජයග්‍රහණය කළ අතර, තරග 7ක් පරාජය වීමට සිදු වුනා. මෙහි දී Rajasthan වෙනුවෙන් Jaiswalගේ පිත්ත අති සාර්ථකව ක්‍රියාත්මක වුනත්, Jos Buttler විසින් පෙන් වූ පසුබෑම කණ්ඩායමේ ඉදිරි ගමනට විශාල බලපෑමක් එල්ල කළා.

මේ අතර මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය Gujarat Titans සහ Chennai Super Kings කණ්ඩායම් අතර අද (29) රාත්‍රියේ ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම එම තරගය සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<