යුපුන්ගේ රසිකයින්ට කණගාටුදායක පුවතක්!

3465

පාදයේ ඇති වූ ආබාධයක් නිසා සති කිහිපයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වන බව ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් විසින් තහවුරු කර සිටියා.

සිය ආබාධ තත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් යුපුන් ප්‍රකාශ කර සිටියේ, සැවෝනා හී පැවති තරගයෙන් පසු සිදු කළ පරීක්ෂණවලින් පසු පාදයේ සුළු ආබාධ තත්වයක් ඇති බව වාර්තා වූ බවයි.

“සැවෝනා තරගයෙන් පසුව සිදු කළ MRI පරීක්ෂාවෙන් පස්සේ මට කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා පාදයේ ඇතිව තිබෙන සුළු ආබාධ තත්වයක් නිසා මට ඉදිරි සති කිහිපය පිටියෙන් ඈත් වෙලා විවේක ගන්න කියලා වෛද්‍යවරුන් උපදෙස් දුන්නා කියලා.

මම මේ වන විට මගේ භෞතික චිකිත්සක, වෛද්‍යවරුන් සහ කණ්ඩායම් සගයන් සමඟ සුව වීමේ වැඩ සටහන ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම මම ඉදිරියේ පැවැත්වෙන තරග සඳහා පෙරට වඩා ශක්තිමත්ව සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා, යනුවෙන් නිවේදනයේ සඳහන් වුනා.

යුපුන් සැවෝනා නුවර දී මෙවර තරග වාරයේ පළමු මීටර් 100 තරගය සඳහා සහභාගී වූ අතර එම තරගය තත්පර 10.01ක කාලයකින් අවසන් කළ ඔහුට හිමි වුනේ දෙවැනි ස්ථානයයි.

තරගයේ මුල සිටම පෙරමුණ ගැනීමට යුපුන් අබේකෝන්ට හැකි වුනත් තරගයේ අවසන් මොහොතේ ඔහු යම් ආබාධ තත්වයකින් වේගය අඩාල කර තරගය අවසන් කරනු දක්නට ලැබුණා.

එම තරගය අතරතුර ඔහුට සුළු ආබාධයක් ඇති වූ බව මෙලෙස වෛද්‍ය වාර්තා වලින් තහවුරුව තිබෙනවා. යුපුන් එළඹෙන සිකුරාදා (02) ඩයම්න්ඩ් ලීග් තරගයකට සහභාගී වීමට ද නියමිතව තිබුණා.

ලොව ප්‍රබල ක්‍රීඩකයින් සහභාගී වන එම තරගය ඔහුගේ ක්‍රීඩා දිවියේ සිහිනයක් වැනි තරගයක් වූවත්, මෙම අවාසනාවන්ත ආබාධය නිසා ඔහුට එම තරගයෙන් ඉවත් වීමට සිදු වෙනවා.

නමුත් මෙම වසරේ ආසියානු ක්‍රීඩා උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය පැවැත්වෙන නිසා යුපුන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉතා වැදගත් වෙනවා.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන යුපුන් අබේකෝන් එම ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ එකම සහ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ද වෙනවා.

දෙස් විදෙස් මලල ක්‍රීඩා පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<