IPL වලට අදත් වැස්සොත් මොකද වෙන්නේ?

IPL 2023

2621

2023 IPL තරගාවලියේ අවසන් මහා තරගය Gujarat Titans සහ Chennai Super Kings කණ්ඩායම් අතර ඊයේ (28) පැවැත්වීමට නියමිත ව තිබූ නමුත් රාත්‍රි කාලය පුරා ක්‍රීඩාංගණයට ඇදවැටුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මේ අනුව ඊයේ රාත්‍රි 10.55ට පමණ තරගය අද (29) දිනය (Reverse Day) තෙක් කල් දැමීමට තීරණය කළ නමුත් තරගය පැවැත්වීමට නියමිත අහමදාබාද් ප්‍රදේශයට අද දිනයේ ද තරමක වර්ෂාවක් පතිත වීමට ඉඩ පවතින බවයි දැන ගන්නට ලැබෙන්නෙ.

පසුගිය දින කිහිපය මුළුල්ලේ ම අහමදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයට වැසි ඇද වැටුණු අතර පසුගිය සිකුරාදා (26) Gujarat Titans සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත ව තිබූ Qualifier 2 තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නියමිත වෙලාවට ආරම්භ කිරීමට අවකාශය ලැබුණේ නැහැ.

අදත් වැස්ස වැටේවි ද?

අද දිනයේ සවස පහට පමණ අදාළ ප්‍රදේශයට ගිගිරුම් සහිත වැසි ඇති වීමට හැකි බවට දැනට අනාවැකි පළ කර ඇති නමුත්, එම වර්ෂාව පැයක් පමණ කාලයක් තුල නතර වනු ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

මීට අමතරව තරගය පැවැත්වෙන වෙලාව අතරතුර වර්ෂාව ඇති වීමේ අවදානමක් පිළිබඳ තවමත් කිසිදු අනාවැකියක් පළ වී නැහැ. ඒ අනුව තරගය සම්පූර්ණ තරගයක් ලෙස පැවැත්වීමට හැකි වනු ඇති බවයි දැනට අනුමාන කරන්නේ.

නමුත් අද දිනයේ ද වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් තත්වය තරමක් වෙනස් වීමට ඉඩ තිබෙනවා. රාත්‍රි 9.35 වන තෙක් සම්පූර්ණ තරගය පැවැත්වීමට අවකාශය ඇති අතර, එතැන් පටන් මධ්‍යම රාත්‍රි 12.06 වන තෙක් පන්දුවාර ප්‍රමාණය අඩු කරමින් පන්දුවාර 5ක තරගයක් පැවැත්වීම දක්වා කාලය වෙන් වී තිබෙනවා. ඊට අමතරව සුපිරි පන්දුවාරයක් මඟින් තරගයේ තීරණය ලබා ගැනීමේ අවස්ථාව ද ඉතිරි ව පවතින අතර ඒ සඳහා උදෑසන 1.20 වන විට පිටිය සූදානම් කර තිබිය යුතුයි.

මේ කිසිදු ආකාරයකින් තරගයට තීරණයක් ලබා ගත නොහැකි ව තරගය අත්හැර දැමීමට තීරණය කළහොත් තරගාවලියේ මූලික වටයේ දී ලකුණු සටහනේ පෙරමුණ ලබා ගත් Gujarat Titans කණ්ඩායමට මෙවර IPL තරගාවලියේ ශූරතාව හිමි වනු ඇති.

මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය  ThePapare.com වෙතින් ඔබට සජීවී ව නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<