Main Logo

Monday 29 May 2023

බුදුදහමට අපහාස කරන්නේ කවුද?

 

 

 

බුදුදහමට අපහාස කරන්නේ කවුද?

 

ටික කාලෙකට ඉස්සර ඉන්දියාවට ආපු මැකෝලි (ඉංගිරිසින්ට ඔහු සාමිවරයෙක්) කිවුවෙ අධ්‍යාපනය මගින් හමින් දුඹුරු සිතුම් පැතුම්වලින් ඉංගිරිසි පිරිසක් බිහිකරන්න ඕන කියා. මෙහි දී ඔහු සිතුම් පැතුම් කිවුවෙ නිර්මාණාත්මක සිතන පතන කියන එක නොවෙයි. ඉංගිරිසින් අනුච සිතන එහෙම නැත්නම් අනුකාරකයන් ටිකක් බිහිකරන්න ඕන කියන එක. මැකෝලි වෑඩියෙන් සාර්ථක වුණෙ සිංහල බෞද්ධයන් සම්බන්ධයෙන් වෙන්න ඕන.

 

මෙරට ඉංගිරිසි අධ්‍යාපනය ඉංගිරිසියෙන් දුන්නත් සිංහලෙන් දුන්නත් කෙරෙන්නෙ එක්කො හීනමානය නැත්නම් අධිමානය ඇති පිරිසක් බිහි කිරීමයි. ආසියාවෙ ඉන්න වැඩි අනුකාරක රොත්ත ඊනියා උගත් සිංහලයන් වෙන්න ඕන. තම ජනවර්ගයට භාෂාවට සංස්කෘතියට වඩාත් ගරහන්නෙ සිංහල බෞද්ධයන් රොත්තක්. මෙරට දෙමළ අතර හරි මුස්ලිම් හරි ජනකොටස් අතර හරි එවැනි අය දකින්න අමාරුයි. එක පාසලේ ඉගෙන ගත්තත් සිංහල බෞද්ධයන් තරම් ඉංගිරිසින් අනුකරණය කරන්න දඟලන පිරිසක් දෙමළ හා මුස්ලිම් ජන කොටස් අතර නැතුව ඇති.

 

ඒකට හේතු දෙකක් තියෙනවා. සිංහල බෞද්ධයන්ට දැඩි නීීති රීති නොමැති වීම හා සිංහල බෞද්ධ නායකත්වය නැති කිරීම. ථෙරවාදයෙ දැඩි නීති රීති නැහැ. ක්‍රිස්තියානි හා වෙනත් ආගම්වල තමයි දැඩි නීති තියෙන්නෙ. බෞද්ධයන් ආගමක් ඇදහුවෙ නැහැ. ඔවුන්ට තිබුණෙ ජීවන දහමක්. ස්වයං හික්මීමක්. ඉංගිරිසි ක්‍රිස්තියානින්ට තමයි දැඩි නීති රීති තියෙන්නෙ. සමහර විට කාට හරි හිතෙන්නෙ පුළුවන් ඉංගිරිසින්ට ලොකු නිිදහසක් තියෙනව කියලා. එහෙම නැහැ පුද්ගලිකත්වය වුණත් ක්‍රියාත්මක වෙන්නෙ නීති පද්ධතියක. කිසිවකු ඕනෑම තැනක නිරුවතින් යන්නෙ නැහැ. බටහිරයන් අතර විශිෂ්ටයන් ඉන්නවා. විශිෂ්ටයන් සමාජයට අලුත් අදහස් දෙනවා. අනුව නීීති රීීති සම්පාදනය වෙනවා.

 

අපේ සමාජයෙ විශිෂ්ටයන් නැහැ. අපි බොහෝ දුරට සජාතීය පිරිසක්. අපට ගුරු වුනෙ අපේ විඤ්ඤුන් වුනෙ පන්සලේ හාමුදුරුවො. දහනවැනි සියවස අගභාගය වෙනකම් කටයුතු සිද්ධ වුනෙ රටාවට. පාණදුරා වාදය වෙන තෙක් හාමුදුරුවරු තමයි මූලිකත්වය ගත්තෙ. එහෙත් ඉන් පස්සෙ මැකෝලිගෙ අධ්‍යාපනයත් ඕල්කට්තුමාගෙ පිළිවෙතත් නිසා තත්වය වෙනස් වුණා. ගිහියන් සමාජයේ නායකත්වයට පත් වුනා. අධ්‍යාපනයෙන් සමාජ රටාව වෙනස් කෙරුණා. අධ්‍යාපනය මත පදනම් වූ ධුරවලියක් ඇති කෙරුණා. බටහිර අධ්‍යාපනයක් ලැබූ අයට සමාජ තත්වයක් ලැබුණා. බටහිර වෙදමහතුන් නීතිඥයන් ඉහළ පිරිස වුණා. රාජකීය විිදුහල අනුකරණය කරන පාසල් ධුරාවලියක් ඇති වුණා. ඊනියා බෞද්ධ පාසල් අනුකාරක ක්‍රිස්තියානි පාසල් වුනා.

 

ඉගෙන ගත් පාසල අනුව උගත් විෂය ධාරාව අනුව රැකියාව අනුව හීනමාන අධිමාන ඇති වුනා. අතර නුවර යුගයේ පටන්ගත් කුලමානය තිබුණා. තම හීනමානය වසා ගැනීමට ඊනියා උගත්කමක් ප්‍රදර්ශනය කිරීමට ඇතැම් නූගතුන් පෙළඹුණා. අද මෙටාවේ සමාජ මාධ්‍යයේ මොවුන් දැක ගන්න පුළුවන්. බටහිරින් අහුලාගත් වචන වමාරන පිරිසක් ඇති වුනා. අර X කණ්ඩායම එහි සංකේතයක්. ඔවුන් අතර විද්‍යා අධ්‍යාපනයක් ලැබූ පිරිස ඉතා අඩුයි. විද්‍යා අධ්‍යාපනය මහා ලොකු දෙයක් නොවෙයි. එහෙත් බොහෝ දෙනා උත්සාහ කෙළේ තමන් තාර්කික බව විිද්‍යාත්මක බව පෙන්වීමට. මා නම් විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව පැමිණි අයෙක්. නිසා දෝ මා දන්නවා බටහිර ගණිතයේ හා විද්‍යාවේ ඇති තර්කය මොකක් කියා. මා දන්නවා තර්කයේ දුර්වලකම්. මා කාළාම සූත්‍රයෙන් දැන ගත්තා යමක් තර්කානුකූල වූ පමණින් න්‍යායාත්මක වූ පමණින් නොපිළිගත යුතු බව. තර්කය පසුපස යන්නන් බෞද්ධයන් වෙන්න බැහැ.

 

බොහෝ දෙනා කැමතියි හරියට නොදන්නා වුවත් අනෙකා කියැවීම වගේ වචන දන්නා බව ප්‍රදර්ශනය කරන්න. ඔවුන් දයලෙක්තිකවාදීන් කියනවා. මා අභියෝග කරනවා කාට හරි අපෝහකයේ රූපිකය පොත් පිංචට පිළිතුරක් ලියන්න. අද උගතකු බව ප්‍රදර්ශනය කරන්න පහසු මාර්ගය බුදුදහමට බෞද්ධ සංස්කෘතියට ගැරහීම. අති ප්‍රබුද්ධ නිළියන්ට තවත් ප්‍රසිද්ධිය අවශ්‍ය කුමකට කියා නම් තේරුම් ගන්න අමාරුයි. සිදුහත් කුමරුගේ ආතල් ගැන ලියූ අය සිටියා. ඔවුන් සුස්ති කාරයන්. ජාතිය මළකඳක් යැයි කී අය හිටියා. ඔවුන් සියලු දෙනා ප්‍රබුද්ධයන්.

 

මෙරට විශිෂ්ටයන් නැති නිසා ලියන්න කියන්න දත් ඕනෑම අයකුට ප්‍රබුද්ධයකු වෙන්න පුළුවන්. අවශ්‍ය වන්නේ වික්ටෝරියානු සදාචාරය, ගතානුගතිකත්වය, මිථ්‍යා මතධාරීන් කියන අය, සසර වැනි පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ ආදිය බැහැර කිරීම පමණයි. මේ එක් අයකුවත් තම ක්‍ෂෙත්‍රයෙහි බටහිර දැනුමට ඇලපිල්ලක්වත් එකතු කළ අය නො වෙයි. බටහිර විිද්‍යාවේ පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ ගැන ප්‍රබුද්ධයන්වත් නොදත් දොස්තරලාවත් දන්නෙ නැතුව ඇති. නිවුටන්ගේ අවස්ථිති සමුද්දේශ රාමුව (inertial frame of reference) දැකපු අයෙක් ඉන්නවා ?  බටහිර විශිෂ්ටයින් ඉන්නවා. එහි සමහරු ක්‍රිස්තියානි කතාවලට හිනහවුනත් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය ආධිපත්‍යය දරණවා. හිනහවීම නිසා ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපඑහත්‍යයට අබමල් රේණුවක හානියක් වන්නෙ නැහැ. බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යය අපේ රටවලත් තියෙනවා.

 

බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය විසින් අපේ ස්වොත්තමවාදයක් ගැන කතා කෙරෙනවා. සුපිරි ස්වොත්තමවාදයක් ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට. ඔවුන් අඩු ගණනේ විවිධ කතෝලික සංස්කෘතීන්ටවත් තැනක් දෙන්නේ නැහැ. කලක සිට බටහිර මෙහෙයවීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමේ ව්‍යාපාරයක් ඇති කෙරිලා. පරගලයත් එහි එක්තරා ව්‍යාපෘතියක් පමණයි. ඔවුන්ට අවශ්‍ය වුණේ මහින්ද හා ගෝඨාභය ඉවත් කර සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම කුළු ගැන්වීමට මගක් පාදා ගැනීමටයි.

 

ඔවුන් අද එය සපුරාලන තත්වයකට පත්වෙලා. ලියන්න කියන්න පුළුවන් අය සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීල ප්‍රබුද්ධයන් වෙන්න හදනවා. ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ තම හීනමානයයි. එය නිසා පමණක් නම් අප ගැන කලබල විය යුතු නැහැ. එහෙත් එය කෙරෙන්නේ බටහිර වුවමනාවකට. බටහිර නීතිය ඔවුන්ට පිහිටවේවි. මැකෝලි ඔවුන් පසුපස ඉන්නවා. අපට මැකෝලි පරාජය කරන්න පුළුවන් වෙන්නෙ මැකෝලි පසුපස ඊනියා තර්කය විද්‍යාව පසු පස ගිහින් නො වෙයි. බුදුදහම මත පදනම් වීමෙන් පමණයි.