HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ කාලේ කිසිම ළමයෙක් නොකරන පරිත්‍යාගයක් කළ සිසුවෙක්!

 

මෙවර 2023 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල පැවැත් වුණේ හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා. ඒ සඳහා දිවයිනේ නන් දෙසින් පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගි වුණා. එහිදී මීටර් තුන්දහස බාධක දිවීමේ තරඟයට පාසල් ක්‍රීඩකයන් සූදානම් වෙමින් සිටියා. 

හංවැල්ලේ කළුඅග්ගල ශාන්ත බොස්කෝ විද්‍යාලයයේ ශෙහ‍ාන් තීක්ෂණ සිසුවාත් මේ තරඟයට ඉදිරිපත්ව සිටියා. ඔහු හදිසියේ ම දැක්කා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණ සිටි තරඟකරුවකු අබලන් සපත්තු දෙකක් අමාරුවෙන් පලඳිනවා. ඒක රෙදි සපත්තු දෙකක්. මීටර් තුන් දහසේ බාධක දිවීමේ තරඟය මැද දී දිය මතින් ද දිව යාමට තිබුණා. රෙදි සපත්තු දමා ගෙන ඒ කටයුත්ත කරන්න අමාරු බව ශෙහ‍ාන් තීක්ෂණට තේරුණා. ඔහු ඒ තරඟකරුවා කලින් එකම එක වතාවක දී හමුවී තිබුණා. ඔහු නමින් හසිඳු ධනංජයයි. ඔහුගේ දස්කම් ගැන පළමු හමුවීමේ දීම තීක්ෂණ තේරුම් ගෙන තිබුණා. 

තීක්ෂණ කළේ කෙළින්ම ඔහු වෙත ගොස් කතා කිරීමයි. “ඔය සපත්තුවලින් මේ තර‍ඟ‍ෙ දුවන්න බෑ. මගේ ළඟ සපත්තු ජෝඩු දෙකක් තියෙනවා. එකක් මට අද ඉස්කෝලෙන් ලැබුණා. ඒක ගැන අවිශ්වාසයෙන් මම යාළු අයියා කෙනෙකුගෙන් එකක් ඉල්ලා ගෙන ආවා. මං දෙන්නං ඒ දෙකෙන් එකක්. කැමති එකක් දාගෙන දුවන්න” කියලා කිව්වා. 
මෙහි දකුණේ සිටින්නේ ශෙහාන් තීක්ෂණයි. 
වමේ සිටින්නේ හසිඳු ධනංජයයි.

තමන් මීට පෙර එක් වතාවක් පමණක් හමු වී ඇති මේ මිතුරාගේ යෝජනාවෙන් පිනා ගිය හසිඳු ඒ සපත්තු දෙක බාර ගත්තා. ඒ සපත්තු දෙක දමා ගෙන ඔහු තරඟයට ඉදිරිපත් වුණා. දෙදෙනාම ඒ තරඟයට සහභාගි වුණා. අවසානයේ දී වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ හසිඳු ධනංජය සිසුවා පළමු තැනට පත්වෙමින් රන් පදක්කම දිනා ගත්තා. ඔහු සපත්තු පරිත්‍යාග කළ ශාන්ත බොස්කෝ විද්‍යාලයයේ ශෙහ‍ාන් තීක්ෂණට හිමි වුණේ 7 වන තැනයි. 

තමන්ගේ ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට කුමක් හෝ සිදුකර කෙසේ හෝ ජය ගන්නට ක්‍රීඩකයන් උත්සාහ කරන අවස්ථා දක්නට ලැබෙන මෙවන් කාලයක තමා සන්තක දේත් ලබා දී එම තරඟ ජයග්‍රහණ දැක සතුටු වන මෙවන් දරුවන් සෑම ක්ෂේත්‍රයකම ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ආදර්ශයක් වනු නොඅනුමානය. 

මේ පිළිබඳව අදහස් දක්වමින් හංවැල්ලේ කළුඅග්ගල ශාන්ත බොස්කෝ විද්‍යාලයයේ ශෙහ‍ාන් තීක්ෂණ සිසුවා ලංකාදීප වාර්තාකරුට මෙසේ කියා තිබුණා. 

“මං හසිඳුව දැකලා තිබුණේ එකම එක දවසක් විතරයි. එයා දක්ෂයෙක් කියලා එදා මම දැක්කා. මේ සැරේ කනිෂ්ඨ මලල ක්‍රීඩා තර‍ඟ‍ෙට එයා ඇවිත් හිටියෙ හුඟක්ම පරණ වෙච්ච රෙදි සපත්තු දෙකක් දාගෙන. මටත් සපත්තු දෙකක් තිබුණෙ නෑ. මගේ ඉස්කෝලෙන් තමා මටත් සපත්තු දෙකක් දුන්නෙ. ඒත් මං එදා තරගයට යද්දි දන්න අයියා කෙනෙකුගෙන් සපත්තු දෙකක් ඉල්ලා ගෙන ගියේ, හදිසියේ මගේ සපත්තු දෙකට ප්‍රශ්නයක් වුණොත් විකල්පයක් හැටියට ගන්න හිතාගෙන. ඒත් හසිඳු අර සපත්තු දාලා තරගයට සහභාගිවෙනවා දැක්කාම මට දුක හිතුණා. ඒ විදියට දිව්වා නම් හසිඳුට එයාගෙ නියම දක්ෂතා පෙන්නන්න බැරි වෙනවා. ඒක අපරාධයක්. ඒ නිසා එයාට මග‍ෙ තිබුණ සපත්තු දෙක ගන්න කිව්වා. ඒ තරඟයේ හසිඳු පළමු වැනියා. මම හත් වැනියා. ඒත් මට රන් පදක්කම ලැබුණාට වඩා සතුටුයි, හසිඳු ඒ තරඟයේ ජයග්‍රාහකයා වීම ගැන.” යනුවෙන් තීක්ෂණ සිසුවා ‘ලංකාදීපය’ට කීවා. 


Post a Comment

0 Comments