10 yeras for 10 coconuts

පොල් ගෙඩි දහයකට අවුරුදු දහයක් හිරේ දැමීමේ කතාව

මේ මොහොතෙ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් රටේ පවතින්නෙ තනිකර ව්‍යාජ පුවත්, වෛරී ප්‍රකාශ, දුස්තොරතුරු, වැරදි තොරතුරු, ද්වේෂ සහගත තොරතුරු (fake news, hate speech, disinformation, misinformation, malinformation) ප්‍රචාරණ රැල්ලක්.

ඒකෙ අරමුණ මහජනයා අතර භේද ඇතිකිරීම. රාජ්‍යය කෙරෙහි කලකිරවීම. නායකත්වයට අවමන් කිරීම සහ අරාජිකත්වය පැතිරවීම. ආසන්න සිද්ධි දෙකක් විතරක් කියන්නම්. නැගී එන නායකයකු වන කංචන විජේසේකර ගැන සමගි ජන බලවේගය මුල්වෙලා පතුරුවපු බොරුව උදාහරණයක්.

පොල් ගෙඩි දහයකට අවුරුදු දහයක් මිනිහෙකුව හිරේ දැම්මාය කියන එක තව එකක්. එතනදි ඇත්තටම එක දවසක්වත් ඒ මිනිහාව හිරේට දැම්මෙ නැහැ.

දුප්පත් මිනිසුන්ට අධිකරණය අසාධාරණ දඬුවම් පමුණුවන බව පවසමින් ජනතාව අතර අධිකරණය කෙරෙහි ද්වේෂයක් ඇතිකිරීමේ අරමුණින් හා අරාජිකත්වය පැතිරවීමේ අරමුණින් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල බොහෝ දෙනා මේ රූපයේ තිබෙන ප්‍රවෘත්තිය ගැන මෙහෙම කිව්වා.

අන්න පොල් ගෙඩි 10කට අවුරුදු 10ක සිර දඬුවමක් දීලා.

ඒත්, මේ ප්‍රවෘත්තිය කියවා බලන්න. “චුදිතට පෙර වැරදි නොමැති බවට ඇගිලි සටහන් වාර්තා අනුව සනාථ වී ඇති හෙයින් නියම කළ බරපතළ වැඩ ඇතිව එක් වසරක සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට නියම කළාය. එම වසර දහය යහපත් කල් ක්‍රියාවෙන් ගෙවන ලෙසට චුදිතට අධිකරණයෙන් වැඩිදුරටත් නියම කෙරුණි.”

මේ වැරදිකරු ඇත්තෙන්ම නිදහස ලැබුවා. ඔහු එක් දිනක්වත් සිරගත වුණේ නැහැ. ඔහුට දුන් අවුරුද්දක සිර දඬුවම අවුරුදු දහයක් යනතෙක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. හැබැයි ඔහු එම කාලය තුළදී යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කළ යුතුයි. අවුරුදු දහයක් යන්නට පෙර කළ තවත් වරදකට වැරදිකරුවකු වුණොත් ඔහුට ඒ දඬුවමට අමතරව මේ දඬුවමත් විඳින්නට වෙනවා. ඒකත් අවුරුද්දක් විතරයි. කිසි සේත්ම අවුරුදු දහයක් හිරේ යන්නෙ නැහැ.

මේ අත්හිටවූ සිර දඬුවම් පිළිබඳ බොහෝ අයට අවබෝධයක් නැති බවයි මෙමගින් පෙනෙන්නෙ. අත්හිටවූ සිර දඬුවම අවම දඬුවමක් වගේම නිවැරදි කිරීම සඳහා දැඩි කොන්දේසියක්.

පුද්ගලයකු වෙැනි දඬුවමක් ලැබුවාම ඒ පිළිබඳ වාර්තාගත කරන්නෙ නමින් විතරක් නෙමෙයි. ඇඟිලි සලකුණු ඔස්සේ. පස්සෙ කාලෙක කෙනෙකුට නම වෙනස් කරගත්තත් වැඩක් නැහැ. නැවත වරදක් කර දඬුවම් නියම කරන්නට සිදුවුණොත් ඇඟිලි සලකුණු අතීත වාර්තා සමග සසඳා බලනවා. පෙර වැරදි තියෙනවා නම් අහුවෙන්නෙ එහෙමයි.

මේකත් දැනගන්න: හොර පොල් කැඩීම, රබර් ෂීට් හොරකම්, හොරෙන් තේ දළු කැඩීම වගේ දේවලට දැඩි දඬුවම් පමුණුවන්නේ නැතුව ආර්ථිකය ගොඩනගන්නට බැහැ. හේතුව, හැම වත්තකටම, හැම දුම්ගෙයකටම පොලිස් ආරක්ෂාව දාන්න බැහැ.

මේ සම්බන්ධ නීතිය පිළිබඳ අපගේ පාඨකයකුගේ අදහසක් පහත දැක්වෙනවා:

මීට අදාල නීතිය 1979 අංක 15 දරන නඩු විධාන සංග්‍රහ පනතේ 303/304/හා 305 වගන්තිවල මුලින් සදහන්ව තිබූ අතර පසුව 1999 අංක 47 අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන මගින් 303/304 වගන්ති සංශෝධනය කොට 305 වගන්තිය අහෝසි කෙරුවා. මේ වන විට බලපවත්වන නීතිය 303 /304 වගන්ති වේ.මේ සම්බන්ධව පෙර පැවති නීති අනුව එනම් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 303(5) උප වගන්තියට අනුව අදාල අත්හිටවූ සිර දඬුවම ක්‍රියාමක කරන කාලය තුල පුද්ගලයා කිසිම වරදක් නොකළ තැනැත්තකු ලෙසට සැලකිය යුතු බව සදහන්ව තිබුණත් 1999 අංක 47 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත) 303 වගන්තියට අනුව ධුරයක් අහිමි කිරීමටත්, ධුරයකට නුසුදුසු වීමටත් විශ්‍රාම වැටුප් හෝ වෙනත් සහන ලබා ගැනීම අහිමි කිරීම හෝ අත්හිටුවිම හැර වෙනත් නීති කාර්යයන් සඳහා එය නියම බන්ධනාගාරගත කිරීමක් ලෙස සලකනු ලබනවා. එහෙයින් වර්තමානය වන විට අත්හිටවූ සිර දඬුවම යන්න යටකී අවස්ථාවල හැර නියමාකාර බන්ධනාගාරගත කිරීමක් ලෙස සැලකේ. එහෙත්, එය 303(9) වගන්තියට අනුව සලකා බැලිය යුතුය.