ක්‍රිකට් ගිලින IPL වල මුල හොයමු

Indian Premier League

2946
​The story behind concept of ipl and how it starts feature

Cricketainment කියලා අමුතු වචනයක් තියෙනවා. තියෙනවා කිව්වට ඉස්සර ඉඳන් තිබුණු වචනයක් නම් නෙවෙයි ඒක. ඇත්තටම පිරිසක් විසින් එකතු වෙලා එහෙම වචනයක් හැදුවා.

Cricketainment කියන වචනය හැදෙන්නේ Cricket සහ Entertainment කියන වචන දෙක එකට එකතු වෙලා. ක්‍රිකට් වලට මිනිස්සු ආදරය කරනවා, Entertainment කියන්නේ මිනිසුන්ගේ ජීවිත වල එක කොටසක්.

මේ වචන දෙක එකට එකතු වෙන තැන විශාල රසික ආකර්ෂණයක් ඇති වෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වගේ රසික ආකර්ෂණයක් සමඟ විශාල වාණිජ වටිනාකමක් ලබන්න පුළුවන් බවත් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි.

Cricketainment වචනය හැදෙන්නේ අන්න ඒ වාණිජමය සාර්ථකත්වය බලාපොරොත්තුවෙන්. මේ වචනයට උපත ලබා දෙන්නේ IPL එහෙම නැත්නම් Indian Premier Leagueය විසින්.

The story behind concept of iplIPL තරගාවලිය ආරම්භ වෙන්නේ 2008 වසරේ දී. මේ තරගාවලිය ආරම්භ වීමත් සමඟින් Cricketainment කියන වචනයත් සමාජගත කරන්න තරගාවලි සංවිධායකයින් විසින් සාර්ථක උත්සාහයක් දරනවා.

ඉන්දියාව තුල ප්‍රධාන වශයෙන් ම මුල් බැස ගත්තු සංස්කෘති දෙකක් වන ක්‍රිකට් සහ සිනමාව කියන අංශ දෙක මූලික කර ගන්න ගමන් තමයි ඔවුන් IPL තරගාවලිය සමාජගත කරන්න උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් තමයි Cricketainment කියන වචනය නිර්මාණය වෙන්නේ.

IPL තරගාවලිය ආරම්භ වෙන්න ප්‍රධාන ම හේතු කිහිපයක් මේ විදිහට පෙළ ගස්සවන්න පුළුවන්.

  1. Zee Entertainment ආයතනය විසින් 2007 වසරේ දී ආරම්භ කළ ICL (Indian Cricket League) තරගාවලිය.

ඉන්දියාවේ මුලින් ම ආරම්භ වුන ක්‍රිකට් ලීග් තරගාවලිය IPL නෙවෙයි. IPL තරගාවලියේ ආරම්භයට පෙර 2007 වර්ෂයේ දී ඉන්දීය ආයතනයක් වන Zee Entertainment විසින් ICL නමින් විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කරනවා. සමහර විට ඔබට මතක ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පවා මේ තරගාවලියට සහභාගී වුන බව. සාපේක්ෂව IPL තරගාවලි ආකෘතියට සමාන විදිහේ තරග ආකෘතියක් සමඟ පැවැත්වුණු මේ තරගාවලිය ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ (BCCI) පිළිගැනීමට පාත්‍ර වෙන්නේ නැහැ.

Zee Entertainment අධිපති (Subhash Chandra) සහ BCCI අතර මත ගැටුම් ඇති වෙන්නේ 2000 දශකය ආරම්භයේ දී. ඉන්දීය ක්‍රිකට් විකාශන අයිතිය ලබා ගන්න Subhash විසින් උත්සාහ කරද්දී BCCI ඊට විරුද්ධ වීමෙන් තමයි මේ ගැටලුව ආරම්භ වෙන්නේ.

පස්සේ මේ අර්බුදය නිසා ම Subhash විසින් ඉදිරිපත් කරන ICL සංකල්පය BCCI වෙතින් ප්‍රතික්ෂේප වෙනවා. ICL ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ඉන්දීය ක්‍රිකට් තහනම් වෙන තැන තෙක් ම මේ අර්බුදය දිග්ගැස්සෙනවා.

නමුත් BCCI විසින් ICL ප්‍රතික්ෂේප කළාට, ICL සංකල්පය බැහැර කරන්නේ නැහැ. ඔවුන් ඒ සංකල්පය IPL දක්වා ගෙන එන්න සමත් වෙනවා.The story behind concept of ipl

  1. 1996 වසරේ පටන් Lalit Modiගේ හිතේ පැලපදියම් වෙලා තිබුණු අදහසක්.

නමුත් IPL තරගාවලියේ ආරම්භක පුරුක එහෙම නැත්නම් IPL නිර්මාතෘ සහ ආරම්භක සභාපති විදිහට ගෞරවය දිනා ගත්ත හිටපු BCCI උප සභාපති කෙනෙක් වන Lalit Modi නම් පවසන්නේ මේ IPL සංකල්පය 1996 වසරේ පටන් තමන් ගේ ඔළුවේ වැඩ කළ එකක් බව.

1996 වසරේ දී ඇමරිකානු ක්‍රීඩා සංස්කෘතිය දකින Modiට හිතෙනවා ඉන්දියාවේත් මේ වගේ වෙනසක් සිදු කරන්න. ඔහු ඒ වෙනුවෙන් යොදන නම තමයි Indian cricket league කියන්නේ. නමුත් මේක පන්දුවාර 50 තරගාවලියක් විදිහට පවත්වන්න තමයි ඔහු මුලින් ම සැලසුම් සකස් කරන්නේ. ඒ වගේ ම BCCI අනුමැතිය යටතේ ESPN ආයතනයට නිල විකාශන අයිතිය ලබා දෙමින් මේ තරගාවලිය ආරම්භ කරන්න ඔහු සැලසුම් කරනවා.

නමුත් BCCI හි එවකට සිටි ඉහළ පෙළේ නිලධාරියෙක් Modiගෙන් මේ හා සම්බන්ධ කටයුත්තකට අල්ලසක් ඉල්ලා සිටීමෙන් පසුව ඔහු තමන්ගේ ව්‍යාපෘතිය හකුළා ගන්න තීරණය කරනවා.

නමුත් පසු කාලයක දී ක්‍රිකට් ලෝකය උඩු යටිකුරු කරමින් කරළියට පැමිණි විස්සයි විස්ස ක්‍රීඩාව සහ 2007 විස්සයි විස්ස ලෝක කුසලානය තමන්ගේ සැලසුම් වල යම් වෙනසක් කරන්න හේතු වුනු බව Modi විසින් පවසනවා. ඔහු වසර ගණනාවක් තිස්සේ තමන්ගේ ඔළුවේ වැඩ කළ සැලසුමක් 2008 දී යථාර්ථයක් බවට පත් කරන්න සමත් වෙනවා.

  1. ඉන්දියාව විසින් 2007 වසරේ පැවැත්වුණු ආරම්භක විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම.

විස්සයි විස්ස තරග රටාව ලෝකයට හඳුන්වා දීම සහ 2007 විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීම IPL කියන සංකල්පය වෙනුවෙන් හේතුවක් වුනත්, මේ සංකල්පය ඉන්දියානු භූමියේ පැල කරන්න නම් ඊටත් වඩා විශාල ප්‍රස්තුතයක් BCCI සහ Modiට අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේ දී තමයි MS Dhoniගේ නායකත්වයෙන් යුතු ව ඉන්දීය කණ්ඩායම මංගල විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න සමත් වෙන්නේ.

ඒ වෙද්දී 2007 සීමිත පන්දුවාර ලෝක කුසලානයේ මූලික වටයෙන් ම ඉවත් වෙන්න සිදු වෙලා සිටි ඉන්දීය ක්‍රිකට් වල දැවැන්ත වෙනසකට මුලපුරමින් මේ දිනා ගත්තු ලෝක කුසලානය ලෝක ක්‍රිකට් ක්‍රීඩාව ම සෑහෙන්න තරමකට වෙනස් වෙන්න හේතුවක් වෙනවා. මේ ජයග්‍රහණය පෙර සඳහන් කළ ජන මනස වෙනස් කිරීමේ වගකීම ඉටු කරනවා.

ඒ වගේ ම මේ IPL තරගාවලිය ඉන්දියාවේ පැල කිරීමේ කර්තව්‍යයේ තවත් එක් උපක්‍රමයක් තමයි Cricktainment කියලා කියන්නේ.

ඉන්දියාවේ සුපිරි නළු නිළි නම් IPL සමඟ ඈඳෙන්න පටන් ගන්නේ මෙන්න මේ හේතුව නිසා බව (ඔවුන් සතු මූල්‍යමය ස්ථාවර බවත් එක් හේතුවක්) විශ්වාස කරන්න පුළුවන්.

ඒ අනුව සුපිරි නළු Shah Rukh Khan සහ Juhi Chawla විසින් Kolkata Knight Riders කණ්ඩායම භාර ගනිද්දී, තවත් සුපිරි නිළියක් වන Preity Zinta විසින් Kings XI Punjab (දැන් Punjab Kings) කණ්ඩායමේ වගකීම භාර ගන්නවා. මේ කණ්ඩායම්වලට නළු නිළි සහයෝගය ලැබෙද්දී ඒ සුපිරි තරු වටා සිටින රසික ප්‍රජාවත් නොදැනුවත්ව ම මේ IPL කණ්ඩායම් වෙනුවෙන් සහය දෙන්න පෙලඹෙනවා. විශේෂයෙන්ම දකුණු ඉන්දියාව නියෝජනය කරමින් තරගාවලියට එකතු වෙන Chennai Super Kings කණ්ඩායමට ලැබෙන අධික රසික ආකර්ෂණයට එක හේතුවක් විදිහට මේ කණ්ඩායම වටා ඉන්න දකුණු ඉන්දීය සුපිරි සිනමා තරු හඳුන්වලා දෙන්න පුළුවන්.

The story behind concept of iplමේ හේතු සියල්ල නිසා 2008 වසරේ දී ආරම්භ වුන IPL තරගාවලිය මේ වෙද්දී නොකඩවා 16 වැනි වතාවටත් පැවැත්වෙනවා. මේ ගෙවුණු කාලය පුරාවට ම IPL තරගාවලිය දිනෙන් දින දියුණු වුනා සහ විශාල වුනා. අතරින් පතර යම් යම් ගැටලු සහ මතභේදකාරී සිදුවීම් සිදු වුනත් IPL තවමත් ජීවමානයි.

IPL කියන්නේ දැන් උන්මාදයක් විතරක් ම නෙවෙයි තවත් එක බලාපොරොත්තුවක්.

IPL කියන්නේ සරලව ම ක්‍රිකට් සැණකෙළියක්. මේ වටා අධික වශයෙන් මුදල් හුවමාරු වෙනවා. දූෂණ සහ අක්‍රමිකතා සිදු නොවෙනවා කියලා විශ්වාසයෙන් කියන්න කාටවත් ම බැහැ. IPL දැන් වෙද්දී ඉන්දියාව විතරක් නෙවෙයි ක්‍රිකට් ලෝකය ම වෙලා ගෙන අවසානයි. දැන් ICC තරග කැලැන්ඩරයේ IPL වෙනුවෙන් නිත්‍ය කාලයක් වෙන් වෙන තැනට ම ඇවිත්. වෙනත් රටවල් අදාළ කාලයේ ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීම සීමා වෙලා.

දැන් ඉන්දියාව අනුගමනය කරමින් බොහෝ රටවල් විසින් ක්‍රිකට් ලීග් තරගාවලි ආරම්භ කරනවා. ඒත් තවමත් ඉන්දීය ආධිපත්‍යයට අභියෝග කරන්න ඔවුන්ට හැකියාවක් ලැබිලා නැහැ. හේතුව තමයි ඉන්දීය ක්‍රිකට් රසිකයින් සහ ක්‍රීඩකයින්. IPL කියන්නේ ඔවුන්ගේ ලේ වලට බද්ධ වුන දෙයක් වෙලා.

ඕනෑම රටක ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තියෙන විශාලතම බලාපොරොත්තුවක් තමයි තමන්ගේ රට නියෝජනය කිරීම. නමුත් IPL මේ සමීකරණ තරමක් පුළුල් එකක් කළා. අද ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකුට IPL වලට තේරී පත් වෙනවා කියන එක ජාතික කණ්ඩායමට තේරෙනවා හා සමාන හැඟීමක් වෙලා.

“බලන්න, අපි මේ කුසලානය දින්නේ දෙවෙනි වතාවට, නමුත් අපි කිසිම කෙනෙකුට තවම IPL කොන්ත්‍රාත්තුවක් නැහැ.”

2019 වසරේ ඉන්දීය රන්ජි කුසලානය ජයග්‍රහණය කළ Vidarbha කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ඒ විදිහේ අදහසක් පළ කරලා තිබුණා.

IPL ඉන්දීය ක්‍රිකට් වල මොන තරම් ඉහළ තැනක තියෙනවා ද කියන්න වෙන සාක්ෂි මොකටද?

ඒ වගේ ම IPL වගේ තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයකු තේරී පත් වෙනවා කියන එක ම අපට මොන තරම් විශේෂ හැඟීමක් ද.

The story behind concept of ipl
IPL නිර්මාතෘ Lalit Modi

ඒ තමයි වසර 16ක් තුල Indian Premier League තරගාවලිය ලෝක ක්‍රිකට් තුළ සිදු කළ වෙනස!

මෑත දිනක දී ක්‍රිකට් පිටියෙන් අපට ලැබුණු දූසමාන ආරංචි දෙකක් තමයි එංගලන්තයේ Jofra Archerට Mumbai Indians කණ්ඩායමෙන් පූර්ණ කාලීන ගිවිසුමකට ආරාධනා ලැබුණා සහ එංගලන්තයේ ම Jason Roy හට ඇමරිකාවේ නව විස්සයි විස්ස ලීගයෙන් (Los Angeles Knight Riders කණ්ඩායමෙන්) වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සඳහාත් ඇරයුම් ලැබුණා කියන දේ. මේ ආරංචි සත්‍ය නම් සහ ඒවා ඒ විදිහට ම ක්‍රියාත්මක වෙනවා නම් ECBට (එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට) මේ ක්‍රීඩකයින් ව ජාතික කණ්ඩායමට සම්බන්ධ කර ගන්න නම් අදාළ කණ්ඩායම් හිමි කරුවන්ගෙන් අවසර ගන්න සිදු වෙනවා.

IPL විසින් ක්‍රිකට් වලට එල්ල කළ බලපෑම තමයි මේ!

මේ හැම දෙයක් ම ආරම්භ වෙන්නේ බොහෝම පුංචි තැනකින්. IPL සමඟ කර කර සිටි ICL තරගාවලිය පවත්වන්න ලැබෙන්නේ අවුරුදු දෙකක් විතරයි. සමහර විට මේ IPL තරගාවලිය ආරම්භ කරන්න මුල පුරපු සහ ඒ වෙනුවෙන් සිය ශ්‍රමය කැප කළ පුද්ගලයින් පවා අද මේ දිහා බලමින් පුදුමයට පත් වෙනවා ඇති.

අද ඔවුන්ට පවා මේක වංකගිරියක් තරමට ගැඹුරු බව දැනෙනවා ඇති. අද වෙද්දී IPL කියන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සහ ක්‍රීඩකයින්ට උත්තේජනයක්. ඒ වගේ ම දැන් වෙද්දී ඉන්දියාව කියන්නේ ලෝක වෙළඳපොළ තුල විශාල වෙළඳ වටිනාකමක් හිමි වෙලා තියෙන රටක්.

ICC ය විසින් 2028 ඔලිම්පික් උළෙල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන්න ප්‍රධානත ම හේතුව විදිහට ලෝක ඔලිම්පික් කමිටුවට පෙන්වන්නේ ඉන්දියාව කියන රට සහ ඔවුන්ගේ වෙළඳ වටිනාකම. ඔවුන්ට මේ ලැබෙන වෙළඳ වටිනාකමට IPL ප්‍රධාන හේතුවක් බවට සැකයක් නැහැ.

ඒ නිසා 2008 වසරේ දී ආරම්භ වුන IPL තරගාවලියේ අවසන් නැවතුම කොතැනක වේවි ද කියලා ඔබට, මට හෝ කිසිවකුට අනුමාන කරන්න බැරි තරම් දුර බව පමණක් විශ්වාසයෙන් යුතු ව කියන්න පුළුවන්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<