සාරාංශ වශයෙන් ගත්විට විමල් වීරවංශ ගේ “නවය: සැඟවුණු කතාව” පොතේ කියන්නේ මෙවැනි අදහසකි. ගාලු මුවදොර අරගලය ඇමරිකානු තානාපතිනිය ගේ සැලසුමකි. එහි ‘පිටපත’ සකස් වන්නේ 2014 වසරේ යුක්රේනයේ මයිදාන් “කුමන්ත්‍රණයට” අනුවයි. එහි අරමුණ වන්නේ ලංකාවේ දුර්වල අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කොට, මෙරට රාජ්‍යය අකර්මන්‍ය කර, ඇමරිකාවට වුවමනා ලෙස මෙරට පාලනය කිරීමයි. අන්තර්කාලීන ආණ්ඩුව පත්කිරීම අසාර්ථක වුවත් එහි දෙවැනි පියවර වශයෙන් රනිල් පත් කිරීම ඇමරිකානු වුවමනාව විය. එය සාර්ථක වූ අතර දැන් රනිල් ඇමරිකානු වුවමනාවන්ට අනුව රට පාවා දෙමින් තිබේ.

මෙම තර්කයේ තිබෙනා මූලික දුර්වලතාවය වන්නේ රනිල් පත් කිරීම ප්ලෑන් B එක වූවානම් ඔහුට පෙර අගමැති ධූරය බාර ගැනීමට සජිත් ප්‍රේමදාසට සහ සරත් ෆොන්සේකා ට ආරාධනා ලැබුනේ ඇයිද යන්න මේ මගින් පැහැදිළි නොවීමයි. එවැනි කෙනෙක් එය බාර ගත්තේ නම් ඇමරිකානු සැලසුම වන්නේ කුමක්ද? එවිට එය ප්ලෑන් C එක ද? මෙහි දී ඉන්දියාවට රනිල් ඉවත් කිරීමට වුවමනා වූ බවත් කියවෙයි. ඇමරිකානු තානාපති වුවමනාවන්, ඉන්දියාවේ අරමුණ සමග ප්‍රතිවිරුද්ධ වන විට මේ තරඟකාරී තානාපති කාර්යාල තිරය පසුපස සිය මෙහෙයුම් ගෙන ගියේ කෙසේද? මෙහි ඉඟි කෙරෙන ආකාරයට සරත් ෆොන්සේකා මහතා ද මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක් වෙයි. එසේ නම් ඔහු ලැබුණු අවස්ථාවේ තනතුර බාර නොගත්තේ ඇයි? මේ අවස්ථාවේ දී ගෝලීය භූ දේශපාලන අභිලාශ තිබෙන චීනය වැනි රාජ්‍යයන් හුදු නිරීක්ෂකයන් පමණක් වන්නේ ද? එසේත් නැතිනම් ඉරානය සහ සවුදි අරාබිය චීනයේ මග පෙන්වීම යටතේ යාළු වූ ආකාරයට චීනය බලා සිට තිබෙන්නේ ද සියල්ල අවසානයේ දී අරගලයේ ගැටුම්කාරී පාර්ශව යාළු කිරීමටද? අවාසනාවට එවැනි තොරතුරු කිසිවක් මෙහි නැත.

සත්‍ය වශයෙන්ම, මෙහි ‘සැඟවුණු කතාව’ ලෙස අපට කියවන්නට තිබෙන්නේ මූලික තොරතුරු තුනක් පමණි. එකක් වන්නේ ඇමරිකානු තානාපතිනිය ගෝඨාභය ජනාධිපතිවරයා ට කතා කර ගාලු මුවදොර අසල නවතා තිබූ හමුදා රථ ඉවත් කර ගන්න කියා ‘තර්ජනය’ කළා යන්නයි. එසේ නොමැති වුවහොත්, පොතේ තිබෙන ආකාරයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබා ගැනීමට නොහැකි බව ඇය කියා තිබේ. දෙවැනි තොරතුර වන්නේ කතානායක නිල නිවසට ගොස් තාවකාලික ආණ්ඩුවේ නායකත්වය බාර ගන්න කියා ඇමරිකානු තානාපතිනිය සිදු කළා කියන ඉල්ලීමයි. එම වාර්තාවට අනුව ඇය කියා තිබෙන්නේ රනිල් වෙනුවට මහින්ද යාපා අබේවර්ධන ට ජනාධිපති ධූරය බාර ගන්න කියාය. කතානායකවරයා මෙය ප්‍රතික්ෂේප කළ විට, පොතේ දැක්වෙන ආකාරයට, තානාපතිනිය කෝපයෙන් පිටව ගොස් තිබේ. තුන්වැනි තොරතුර වන්නේ, ඉහතින් ද කියූ ලෙස, සරත් ෆොන්සේකා මහතා කියා සැක කළ හැකි පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරයෙක් හමුදාවේ උසස් නිලධාරියෙක් ට ලබා දුන්නා කියා කියවෙන දුරකථන ඇමතුමක් ය.

මෙම තොරතුරු තුන හැරෙන්නට අපට මෙහි තිබෙනා අනෙක් ‘සැඟවුණු කතා’ ලෙස හමු වන්නේ ඇමරිකානු තානාපතිනිය ගේ ට්විටර් ගිණුමේ පළ කර තිබෙන සටහන් ය. ශවේන්ද්‍ර සිල්වා මෙහිදී සිතාමතා සිය රාජකාරී පැහැර හැරියා කියා හැඟෙන තොරතු ද මෙහි තිබේ. ඒවා පදනම් වන්නේ නිල පරීක්ෂණයක වාර්තාවක් මත යි. එයට අමතරව පුවත් පත් වල වාර්තා වූ ඇමරිකානු නියෝජිතවරුන් ගේ ආගමනයන් ගැන විස්තර සහ අරගලයට සම්බන්ධ වූවා කියා සැලකිය හැකි අයගේ ෆේස්බුක් සටහන් මෙයට ඇතුලත් වේ. විශේෂයෙන් වික්ටෝරියා නූලන්ඩ් මාර්තු 31 ට ආසන්න දිනයකදී මෙරටට පැමිණීම සහ මෙරට ‘සිවිල් සමාජ නියෝජිතයන්’ මුණ ගැසී සාකච්ඡා කිරීම මෙහිදී සඳහන් වෙයි. වික්ටෝරියා නූලන් පැමිණීම විශේෂයෙන් සඳහන් කිරීම විමල් වීරවංශ මහතාට වැදගත් වන්නේ ඇය සම්බන්ධ අතීත සිදුවීමක් නිසාය. එම සිදුවීම වන්නේ යුක්රේනයේ 2014 අර්බුදය සමයේ එරට විපක්ෂයේ බලයට පත් කළ යුත්තේ කවුද කියා ඇය සිදුකළ රහස් දුරකථන සංවාදයක හඬ පටයක් රුසියානු ආණ්ඩුව විසින් ප්‍රසිද්ධ කිරීමයි (මෙම හඬ පටයේ තිබූ සංවාදය BBC වෙබ් අඩවියේ ලිඛිතව පළ කට තිබුණි – Ukraine crisis: Transcript of leaked Nuland-Pyatt call යන්න සෙවුම් එන්ජිමක ඇතුලත් කර බලන්න). මේවාට අමතරව මෙම පොත මගින් යෝජනා කරන්නේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අක්තපත්‍රය බෙහෙවින් පලුදු වී ඇති එකක් බවත්, එය ලෝකයේ විවිධ රටවලට දේශපාලන අතපෙවීම් කර තිබෙනා බවත් ය.

මෙවැනි තොරතුරු කිසිවෙක් නොදැන සිටි ‘සැඟවුණු කතාවක්’ ලෙස අර්ථ ගැන්විය හැක්කේ දේශපාලනය පිළිබඳව කිසිවක් නොදත් පොඩි බබාලාට පමණි. සත්‍ය වශයෙන්ම ‘සැඟවුණු කතාවේ’ අති විශාල අඩංගුවක් ලෙස ඇමරිකානු තානාපතිවරියගේ ට්විටර් ගිණුමේ සටහන් ඉදිරිපත් වීමෙන් පැහැදිළි වන්නේ මෙයයි – ‘සැඟවුණු කතාව’ දිග හැරී තිබෙන්නේ ට්විටර් එකේ ය.

මේ මගින් සත්‍ය වශයෙන්ම පැමිණිය හැකි නිගමනය වන්නේ මෙහි ‘සැඟවුණු කතාවක්’ නොමැති බව යි. ඒ වෙනුවට මේ තිබෙන්නේ මෙවැනි රටවල් වලට ඇමරිකාව සිදුකරන ඉතාම සාමාන්‍ය මැදිහත්වීමකි. ඇමරිකාව පමණක් නොව ඉන්දියාව සහ චීනය වැනි රටවල් ද මෙවැනි මැදිහත්වීම් කරන බව අපි දනිමු. මෙවැනි රටවල් වල තානාපති කාර්යාල වලින් මුදල් ලබා දෙන ආයතන මෙන්ම පුද්ගලයෝ ද අපේ රටේ සිටිති. ඇත්තටම මෙය දේශපාලනයේ සාමාන්‍ය ස්වභාවය කියා ද කිව හැකිය. අප පුදුම විය යුත්තේ මෙවැනි දේ සිදු නොවන්නේ නම් ය. විමල් වීරවංශ ගේ පොත එළි දැක්වීමේ උත්සවයට චීන තානාපතිවරයා පැමිණ තිබෙන්නේ ද මේ ආකාරයේ මැදිහත්වීමක් ලෙසයි. එසේ පැමිණීම සම්බන්ධයෙන් අපගේ කිසිදු සදාචාර විරෝධයක් නැත. නැවතත්, දේශපාලනයේ ස්වභාවය එයයි.

මේ පොතේ තිබෙනා සෑම දෙයක්ම නරකයි කියා මින් අදහස් වන්නේ නැත. ඩොලරය මත යැපෙන්නේ නැති ගෝලීය වෙළඳාමක් මෙන්ම ගෝලීය බල තුලනයක් සිදුවීම යහපත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ රටේ ණය ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තොරතුරු ද වැදගත් වෙයි. නමුත් ගැටලුව ඇත්තේ මේ ජනතා නැගිටීම ප්‍රතික්ෂේප කිරීම තුළයි. එක අතකින් මේ සම්බන්ධයෙන් පුදුම වීමට ද දෙයක් නැත. මේ තිබෙන්නේ සිංහල ජාතිකවාදයට බාහිරින් මෑත කාලීනව මෙරට සිදු වූ ජවසම්පන්නම දේශපාලන සංවිධානගත වීමයි. එය දැන් අවසන් වී තිබෙන්නේ වුවත් ඒ මගින් සිංහල ජාතිකවාදී දේශපාලනයේ කොන්ද කඩා තිබෙනා බව පැහැදිළි වෙයි. එතනදී ද අපට විමල් වීරවංශ මහතා සමග ඉතා පහසුවෙන් එකඟ විය හැක:

“එමෙන්ම ගෝඨාභයගේ ආණ්ඩුව පමණක් නොව එම ආණ්ඩුව පිහිටවීමට මැදිහත් වූ ජාතිකවාදී බලවේගද යළි නැඟී සිටිය නොහැකි ආකාරයට චප්ප කර, බිමට සමතලා කරදැමීම අරගලයේ වැදගත් අරමුණක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත.” (පි. 68)

මෙයට අප එකඟ වනවා පමණක් නොව මෙය සැබැවින්ම සාර්ථක වූවා කියා ද අපි සිතමු. අප සිතනා ආකාරයට සිංහල වාර්ගික ජාතිකවාදය (ethno-nationalism) සහ මෙරට එක් පාලක රෙජීමයක් අතර තිබූ ඓතිහාසික සන්ධානයක් බිඳ වැටී තිබේ. එයට පහසු විකල්පයක් පෙනෙන තෙක් මානයක නැත. උත්ප්‍රාසජනක ලෙස මේ සම්බන්ධයෙන් නලින් ද සිල්වා මහතා චෝදනා කරන්නේ ද විමල් වීරවංශ මහතාගේ තීරණ වලටයි. ‘කුමන්ත්‍රණ තිසීස’ වල තර්කනය වන්නේ එයයි. විමල් එය එක් තැනකින් නතර කරන විට නලින් එය තවත් දුරකට ගෙන යයි. දෙවැනි අදහසට අනුව විමල් පවා ඇතුලත් වන්නේ ‘බටහිර සැලසුමේ’ අභ්‍යන්තරයටයි.

මෙතැනදී අපට අවංකව නලින් ට එරෙහිව විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටීමට හැකිය. සිංහල ජාතිකවාදී බලවේග “බිමට සමතලා” කළේ විමල් නොවේ. මෙය කළේ ‘අරගලකරුවන්’ ලෙස පෙනී සිටිනා අය ද නොවේ. කිසි සේත් අප නම් නොවේ. මෙය කළේ ‘අරගලයයි’. දෘෂ්ඨිවාදී සැකස්මවල් පුපුරා යා හැක්කේ මේ ආකාරයටයි.

මේ අරගලය තානාපති කාර්යාලයක් විසින් ඇති කළ දෙයක් කියා කරන යෝජනාව සමග වාද කිරීමේ ප්‍රතිඵලයක් නොමැති වන්නේ ද මේ නිසාය. විමල් එය කෙසේ පිළිගන්න ද? අපට කිව හැක්කේ මාර්තු 31 වන දා අප සිටියේ ද මේ රටේ බව පමණි. පැය 12ක් විදුලිය විසන්දි කර තිබුනේ එයට පෙර දිනයි. එතැන් පටන් සිදු වූ දේ ද මේ රටේ බොහෝ දෙනා දන්නා නිසා මේ ගැන වාද කිරීම තේරුමක් නැත. බදියු අපට කියා දී ඇති ලෙස ‘සිදුවීම’ ප්‍රතික්ෂේප කිරීම මෙන්ම එයට පක්ෂපාතී වීම ද ආත්මීය තීරණයකි.

නමුත් මෙයට පෙරවදනක් ලියූ ටියුඩර් වීරසිංහ මහතා වෙනුවෙන් අපට යුක්රේනයේ මයිදාන් අරගලය ගැන ස්ලැවෝයි ජිජැක් ඒ කාලයේ ලියූ සටහනක කොටසක් උපුටා දැක්වීමට සිදුවෙයි: “අවාසනාවට, චිත්‍රපට අධ්‍යක්ෂක ඔලිවර් ස්ටෝන් වැනි සමහර බටහිර වාමාංශිකයන් ද මයිදන් අරගලය ඇමරිකානු කුමන්ත්‍රණයක් යන ක්‍රෙම්ලිනයේ අදහස බොහෝ කල් සිට පුනරුච්චාරණය කරයි. මෙය ඉතා සරල ලෙස වැරදි වෙයි. 2013 නොවැම්බර් 21 වෙනිදා ක්යීව් නගරයේ මයිදාන් නෙසාලෙස්නෝස්ති (නිදහස් චතුරශ්‍රය) හී ආරම්භ වූ උද්ඝෝෂණ වියවුල්කාරී විය හැක. එයට බහුවිධ දේශපාලන ප්‍රවණතා සහ විදේශ මැදිහත්වීම් තිබිය හැක. නමුත් එය අව්‍යාජ ජනතා කැරැල්ලක් (popular revolt) වූවා යන්න සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැත”. [Sadly, some Western leftists, such as the film director Oliver Stone, have long parroted the Kremlin’s claim that Maidan was a US-orchestrated putsch against a democratically elected government. This is plainly false. The protests that began on November 21, 2013, in Kyiv’s Maidan Nezalezhnosti (Independence Square) may have been chaotic, featuring a variety of political tendencies and foreign interference; but there is no doubt that they were an authentic popular revolt.]

අවශ්‍යනම් ටියුඩර් වීරසිංහ මහතා ට ජිජැක් යනු ද ‘ගෝලීය උපරි පන්තියේ’ නියෝජිතයෙක් කියා හිත හදා ගැනීමට අවස්ථාව තිබේ. අපට කියන්න තිබෙන්නේ, අවාසනාවට, අනේ අපොයි කියා පමණි.

පසු සටහන: ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ වූයේ 1965 මැයි 14 දා බවත්, ඇමරිකානු තානාපතිනිය අනුර කුමාර දිසානායක හමු වූයේ ද මැයි 14 දිනක බවත් පොතේ දැක්වෙයි. මේ සටහන ලියවෙන අදත් මැයි 14 වෙනිදාවකි.

වංගීස සුමනසේකර