“දෝනි එදා රෑ ඇඬුවා” – හර්භජන් සිං

18202

පිරිමි කඳුලු වලටත් අගයක් ඇත. ඒ එය දුලබ නිසාවෙනි. M.S. දෝනි වන් ශක්තිමත් නායකයෙකුගේ කඳුලු ඊටත් වඩා දුලබ ය.

වයස අවුරුදු 40න් පසුවත් ඉන්දියාවේ ඔහුට සම වෙනත් කිසිදු නායකයෙකු නැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් සිටින දෝනි 2023 IPL තරගාවලියේ අවසන් මහා තරගයට CSK කණ්ඩායම ගෙන ගියේ 10 වැනි වතාවට ය. “තලා” නැත්නම් “ලොක්කා” යනුවෙන් හඳුන්වන ඔහු ඉන්දියාවේ සෑම ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකුගේම වීරයෙකි.

එවන් වීරයෙකු කඳුලු සැලූ රාත්‍රියක් ගැන හිටපු ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක හර්භජන් සිං Star Sports ඔස්සේ එක්වූ කතාබහක් අතරතුර පැවසුවේ ය.

2016දී ඔට්ටු තැබීම් වලට සම්බන්ධ වූයේ යැයි චෝදනාවට ලක්වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම IPL තරගාවලියෙන් තහනම් විය. දුලබ සිදුවීම සිදු වුනේ ඒ දෙවසරක තහනම අවසන් වී චෙන්නායි කණ්ඩායම නැවත IPL තරගාවලියට එන 2018 වසරේ දී ය.

“මට කතන්දරයක් බෙදාගන්න අවශ්‍යයි. 2018 දී, CSK අවුරුදු දෙකක තහනමකට පස්සේ ආයෙත් IPL එකට එද්දී කණ්ඩායමට ඩිනර් එකක් තිබුණා. ‘පිරිමි අඬන්නේ නෑ’ කියන කතාව අපිත් අහලා තියෙනවා. M.S.දෝනි එදා රෑ ඇඬුවා. ඔහු හැඟුම්බර වුනා. මං හිතන්නේ කවුරුත් මේ ගැන දන්නේ නෑ,” හිටපු CSK දඟපන්දු යවන්නෙකු වූ හර්භජන් පැවසුවේය.

සාමාන්‍යයෙන් ක්‍රිකට් ලෝකය තුළ දෝනි ප්‍රසිද්ධව ඇත්තේ හැඟීම් පිටස්තරයන්ට නොපෙන්වන, සැහැල්ලු (Cool) නායකයෙකු වශයෙනි. එහෙත් ඔහුට ද හැඟුම්බර රාත්‍රීන් පසුකරන්නට සිදුව ඇත.

හර්භජන් සමඟ Star Sports කුටියේ සිටි හිටපු දකුණු අප්‍රිකා ක්‍රීඩක ඉම්රාන් තහීර් ද කතාවට එක්විය. ඔහු ද එක් කලෙක CSK ක්‍රීඩකයෙකි.

“මමත් එතන හිටියා. ඒක ඔහුට (දෝනිට) හරිම හැඟීම්බර අවස්ථාවක් වුනා. ඔහුව ඒ විදියට දැකීමෙන් මට තේරුණා මේ කණ්ඩායම (CSK) කොච්චර ඔහුගේ හදවතට සමීප ද කියලා. ඔහු කණ්ඩායම සලකන්නේ තමන්ගේ පවුල හැටියට. ඒක අපි හැමෝටම හැඟුම්බර අවස්ථාවක් වුනා,” ඒ තහීර් ය.

“අපි අවුරුදු දෙකකින් ආයෙත් ඇවිල්ලා කුසලාන දිනුවා. මිනිස්සු අපට ‘වයසක කණ්ඩායම’ කියද්දීත්. මමත් ඒ අවුරුද්දේ සංචිතයේ හිටියා. ඒත් අපි ශූරතාවය දිනුවා. ඒ ජයග්‍රහණය ගැන මට ගොඩක් ආඩම්බරයි,” තහීර් පැවසුවේය.

අත්දැකීම් වල ඇති අගය ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂ ය. එහෙත් විස්සයි-විස්ස වැනි වේගවත් ක්‍රිකට් රටාවක දී විශ්වාස කෙරෙන්නේ තරුණ ජවය ඊට අතිශය වැදගත් බවයි. කෙසේ වෙතත් අභියෝග භාර ගැනීම විනෝදයක් කර ගත් දෝනි, CSK කණ්ඩායමට අත්දැකීම් සපිරි දේශීය ක්‍රීඩකයන්ව එකතු කර ගනිමින් එවර ශූරතාවය ජය ගත්තේය.

දෝනි විශේෂ නායකයෙකි. 2013 ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ව ඉවත් කළ ඔහුට මාධ්‍ය වලින් පහර කන්නට සිදු විය. විරේන්දර් ෂෙවාග්, ගෞතම් ගාම්භීර්, සචින් ටෙන්ඩුල්කාර්, හර්භජන් සිං, මුනාෆ් පටෙල්, අශිෂ් නේරා, ලක්ෂ්මිපති බලාජි වැනි ක්‍රීඩකයන්ව කණ්ඩායමෙන් ඉවත් කොට තරුණ ක්‍රීඩකයන් සමඟින් දෝනි එංගලන්තය බලා ගියේය.

ඔහු සිය තරුණ කණ්ඩායම ශූරයන්ගේ ශූරයන් වීම කරා මෙහෙය වූයේය. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ ෂෙවාග් වෙනුවට ක්‍රීඩා කළ ශිකර් ධවාන් ය. වැඩිම කඩුලු ලාභියා වූයේ තරුණ දඟපන්දු යවන්නා, රවීන්ද්‍ර ජඩේජා ය. අභියෝග විනෝදයක් ලෙස ගැනීමෙහි ලා දෝනි යනු පුරාවෘත්තයකි.

ඉන්පසුව CSK කණ්ඩායම සමඟින් තරුණ ක්‍රීඩකයන් අවම වශයෙන් ද, අත්දැකීම් බහුලයන් වැඩි වශයෙන් ද භාවිත කිරීම මඟින් දෝනි තමාවම පර්යේෂණය කළ ආකාරය විශ්මිත ය. ඔහු විශිෂ්ට නායකයෙකු වන්නේ එබැවිනි. ICCය විසින් සංවිධානය කෙරෙන සියලු ප්‍රධාන තරගාවලි ජය ගත් විරල නායකයෙකු ලෙස ඔහු ගෞරවනීය ය.

2023 වන විට 41 හැවිරිදි දෝනි, CSK කණ්ඩායම සමඟින් නැවත වරක් IPL අවසන් මහා තරගයට පිවිස ඇත. ඔහුගේ තරුණ පන්දු යවන බල ඇණිය සහ පන්දු රකින්නන් බල ඇණිය, ඔහු විසින් ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවීම ඕනෑම කෙනෙකුට පිටියේ දී සජීව ලෙසම දැකිය හැකිය.

බොහෝ දුරට මෙය දෝනිගේ අවසන් මහා තරගාවලිය වනු ඇතැයි පැවසේ. තවත් IPL ශූරතාවයක් සමඟින් නායකයෙකු ලෙස ඔහු සිය 5වැනි IPL ශූරතාවය සනිටුහන් කරනු ඇත. එම ජයග්‍රහණයත් සමඟින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට හැකි නම්, එය මේ ගෞරවනීය ක්‍රිකට් පුරාවෘත්තයට සොබාදහමෙන් ද කෙරෙන ආශීර්වාදයක් ද වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<