HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ ජීවිත රැක ගන්න නම් ලෝකයේ ජෛව විවිධත්වය රැක ගන්න ඕනෑ.

අද ජෛව විවිධත්ව දිනයයි. සෑම වසරකම මැයි 22 වන දින සමරන අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනයේ මෙවර තේමාව වන්නේ "ගිවිසුමේ සිට ක්‍රියාව තෙක්: ජෛව විවිධත්වය නැවත ගොඩනඟමු" (‘From Agreement to Action: Build Back Biodiversity’) යන්නයි. මෙම තේමාව අපට කියන්නේ අපේ කැපවීම්වලින් ඔබ්බට ගොස් ජෛව විවිධත්වය යථා තත්වයට පත් කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට වහා ක්‍රියාත්මක විය යුතු බවයි. මෙය පෘථිවියේ පැවැත්මට සෞඛ්‍ය සම්පන්න ජෛව විවිධත්වයක් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය පිළිගැනීමටත්, සොබාදහමේ අර්බුදය තක්සේරු කිරීමටක් හොඳ අවස්ථාවකි. 

2022 දෙසැම්බර් මාසයේදී කැනඩාවේ මොන්ට්‍රියල්හි පැවති නියෝජිත සමුළුවේ 15 වන රැස්වීමේදී රටවල් 196 ක් එක්ව සම්මත කර ගත් කුන්මිං-මොන්ට්‍රියල් ගෝලීය ජෛව විවිධත්ව වැඩ පිළිවෙළ ඓතිහාසිකව සම්මත කර ගැනීමෙන් පසු එළඹෙන මුල්ම ජෛව විවිධත්ව දිනය මෙය වන නිසා එම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීම ගැන වැඩි අවධානයක් යොමු කළයුතු වෙයි. 

සොබාදහමට වන හානිය නැවැත්වීම සහ පැවති තත්වයට ජෛව විවිධත්වය ආපසු හැරවීම සඳහා තීරණාත්මක ලෙස පැසසුමට ලක් වූ මෙම වැඩ පිළිවෙළ 2030 වන විට සහ ඉන් ඔබ්බට ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ තිරසාර ලෙස භාවිතා කිරීම සඳහා සාක්ෂාත් කර ගත යුතු ගෝලීය ඉලක්ක සපුරා ගැනීමට නම් ස්වදේශීය ජනතාව හා ප්‍රාදේශීය ප්‍රජාවගේ අනුග්‍රහය හා සභාගිත්වය ලබා ගත යුතුය. 

මූල්‍ය සම්පත්, දේශපාලන අභිලාෂයන් සහ ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදනය වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක වනු ඇති අතර එයින් අදහස් වන්නේ ඒ සඳහා සමස්ත සමාජ ප්‍රවේශයක් අවශ්‍ය බව විශේෂඥයින් මතයයි. 

"ජෛව විවිධත්වය යනු මානව පැවැත්ම රඳා පවතින සංකීර්ණ ජාලයකි." එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් පවසයි. "කුන්මිං-මොන්ට්රියල් ගෝලීය ජෛව විවිධත්ව වැඩ පිළිවෙළ යනු මෙම සංකීර්ණ ජාලයට සිදු වූ හානිය පූරණය කිරීම සහ අප ඇතුළු පෘථිවියේ සියලුම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා වන අපගේ ගෝලීය සැලැස්මයි. ජෛව විවිධත්ව වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඇත්තේ තවත් වසර හතක් පමණකි. අප සියලු දෙනාම එක්ව දැන් ම ක්‍රියාත්මක විය යුතුය. ඒ වගේම අපේ ජීවන ජාලය සුරක්ෂිත වන තුරු අපි දිගටම ක්‍රියා කළ යුතුයි." 

සොබාදහම සහ එය ලබා දෙන ප්‍රතිලාභ ලොව පුරා පෙර නොවූ විරූ අනුපාතයකින් පිරිහී යන විට, ජෛව විවිධත්ව දිනය සොබාදහමේ අර්බුදය විසඳීම සඳහා ආහාර පද්ධති, මුල්‍ය හා පරිසර පද්ධති ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණය හරහා ක්‍රියාමාර්ග ගැනීමේ හදිසි අවශ්‍යතාව සිහිපත් කරයි. 

ජෛව විවිධත්වය වටහා ගතයුතුව ඇත්තේ බොහෝ විට විවිධාකාර ශාක, සතුන් සහ ක්ෂුද්‍ර ජීවීන් අනුවයි. නමුත් එයට එක් එක් විශේෂය තුළ ඇති ජානමය වෙනස්කම් ද ඇතුළත් විය යුතුයි - නිදසුනක් වශයෙන්, බෝග ප්‍රභේද සහ පශු සම්පත් අභිජනන අතර - සහ ඒවායේ සාමාජිකයින් (මිනිසුන්, ශාක,) අතර බහු විධ අන්තර්ක්‍රියා පවත්වන පරිසර පද්ධති (විල්, වනාන්තර, කාන්තාර, කෘෂිකාර්මික භූ දර්ශන හා සතුන්)

සාගර හා ජලජ පරිසර පද්ධති පෘථිවියේ ජීවය පවත්වා ගැනීම 
සඳහා අවශ්‍ය තීරණාත්මක සේවාවන් සපයයි.

ජෛව විවිධත්ව සම්පත් යනු අප ශිෂ්ටාචාර ගොඩනඟන කුලුනු වේ. මාළු බිලියන 3 කට පමණ සත්ව ප්‍රෝටීන්වලින් සියයට 20 ක් සපයයි. මිනිස් ආහාරයෙන් සියයට 80 කට වඩා ලබා දෙන්නේ ශාකවලිනි. සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් සියයට 80 ක් පමණ මූලික සෞඛ්‍ය සේවාව සඳහා සාම්ප්‍රදායික ශාක මත පදනම් වූ ඖෂධ මත රඳා පවතී. 

පරිසර පද්ධතිවල ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණය 

පරිසර පද්ධති පෘථිවියේ ස්ථාවරත්වය සහතික කරයි; ඔක්සිජන් උත්පාදනය කරයි; පානීය ජලය සපයයි; දේශගුණය නියාමනය කරයි. සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධති, ආහාර නිෂ්පාදනය සඳහා ස්වාභාවික ඖෂධ, පරාගණය සහ සාරවත් පස ඇතුළු තීරණාත්මක සේවාවන් ද සපයයි. 

නමුත් ගොඩබිම සහ මුහුදේ සොබාදහම, ඉතිහාසයේ වෙනත් කවරදාටත් වඩා වේගයෙන් විනාශ මුඛයට පත්වෙමින් තිබේ. දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට අනුව සත්ව හා ශාක විශේෂ මිලියනයක් මේ වන විට වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. මහා පරිමාණ ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර පද්ධති බිඳ වැටීම වැළැක්වීම සඳහා, ලෝකයේ ඉඩම්, අභ්‍යයන්තර ජලය, වෙරළබඩ ප්‍රදේශ සහ සාගරවලින් අවම වශයෙන් සියයට 30 ක් වත් ඵලදායී ලෙස සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම මෙන්ම 2030 වන විට පිරිහුණු පරිසර පද්ධතිවලින් සියයට 30 ක් ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙම වැඩ පිළිවෙළේ අපේක්ෂාවයි. 

ගෝලීය ආහාර සැපයීම සොබාදහම මත බෙහෙවින් රඳා පවතී. බිලියන 3 කට වැඩි ජනගහනයක් සඳහා ප්‍රෝටීන්වල මූලික ප්‍රභවය සාගරයයි. ඉඩම් පරිහරණය වෙනස් කිරීම සහ වාසස්ථාන බවට පරිවර්තනය කිරීමේ විශාලතම කොටස ආහාර පද්ධති වේ. ඒවා ජෛව විවිධත්වය අහිමි වීමට බලපාන ප්‍රධාන සාධක වන අතර වනාන්තර විනාශයෙන් සියයට 80 කට සහ මිරිදිය භාවිතයෙන් සියයට 70 කට වග කියයි. 

කෘෂිකර්මාන්තය, ජලජීවී වගාව සහ වන වගාව යටතේ පවතින ප්‍රදේශ තිරසාර ලෙස කළමනාකරණය කිරීම, ගෝලීය ආහාර අපද්‍රව්‍ය අඩකින් කපා හැරීම සහ අධික පරිභෝජනය සහ අපද්‍රව්‍ය නිෂ්පාදනය සැලකිය යුතු ලෙසින් අඩු කිරීම මෙම වැඩ පිළිවෙළේ ප්‍රධාන කටයුත්තකි. 

තිරසාර ආහාර නිෂ්පාදනය ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කරන අතර තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සහාය වේ.

UNEP පර්යේෂණවලින් පෙනී යන්නේ සොබාදහමේ තත්වය ගෝලීය ආර්ථිකය සහ මුල්‍ය පද්ධතිය සමෘද්ධිමත් විය හැකි ආකාරය පදනම් කර ගන්නා බවයි. සොබාදහම යනු එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 44 ක ආර්ථික වටිනාකමක් සහිත බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන වැදගත් ප්‍රාග්ධන වත්කමකි. 

සොබාදහමේ ආයෝජනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10 ක ව්‍යාපාරික වටිනාකමක් උත්පාදනය කිරීමට සහ රැකියා මිලියන 395 ක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දෙයි. මුල්‍ය ආයතන දැන් ෆොසිල ඉන්ධන සහ පරිසරයට හානි කරන ව්‍යාපෘතිවල දිගුකාලීන අන්තරායන් අවබෝධ කර ගනිමින් සිටින අතර, අභිලාෂකාමී වැඩ පිළිවෙළකට ස්වභාව ධර්මය-ධනාත්මක ආර්ථිකයක් කරා පෞද්ගලික ප්‍රාග්ධනය තවදුරටත් පුළුල් කළ හැකි අතර ගෝලීය ජෛව විවිධත්ව ඉලක්ක සමඟ මුල්‍ය ප්‍රවාහයන් පෙළගැස්වීම සිදු කළ හැකිය. 

කෙසේ වෙතත්, සොබාදහමේ ආයෝජන, ජෛව විවිධත්ව හානිය විසඳීම සඳහා අවශ්‍ය පරිමාණයෙන් වැඩි නොවේ. අරමුදල් පරතරය විසඳීමට උපකාර කිරීම සඳහා, වැඩපිළිවෙළ 2030 වන විට රාජ්‍ය හා පෞද්ගලික මූලාශ්‍රවලින් දේශීය හා ජාත්‍යන්තර ජෛව විවිධත්වය හා සම්බන්ධ අරමුදල් සඳහා වසරකට අවම වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 200 ක් ඉල්ලා සිටී. 2030 වන විට වසරකට අවම වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 500 කින් ජෛව විවිධත්වයට හානි කරන සහනාධාර ඉවත් කරන ලෙස ද එය ඉල්ලා සිටී. 

අවසාන වශයෙන්, විද්වතුන් බලාපොරොත්තු වන්නේ ජෛව විවිධත්ව දින වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් සොබාදහම ආරක්ෂා කිරීමට සහ යථා තත්වයට පත් කිරීම සඳහා පවතින ගම්‍යතාව ගොඩනැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය මෙහෙයවීමට උපකාරී වනු ඇති බවයි. 

“සොබාදහම ආරක්ෂා කිරීම සහ යථා තත්වයට පත් කිරීම, දේශගුණික විපර්යාස විසඳීම සහ දූෂණය හා නාස්තිය විශාල වශයෙන් අඩු කිරීමට, සෑම රජයක්ම, සෑම ව්‍යාපාරයක්ම, සෑම ආයෝජකයෙකුම සහ සෑම පුද්ගලයෙකුම ඔවුන්ට කළ හැකි දේ නොපිරිහෙළා කළ යුතුයි.” යයි ඇන්ඩර්සන් තවදුරටත් පවසයි. 

- පර්සි ජයමාන්න


Post a Comment

0 Comments