May 21, 2023

බිපින් චෞද්රිගේ අමතක වීම


Translation of the Short Story ‘Bipin Chowdhury’s Lapse of Memory’ by Sathyajit Rai

හැම සඳුදාවක ම වැඩ ඇරී එන අතරතුර පොත් මිළදී ගැනීම සඳහා වෙළඳපොළේ කලිචරන්ගේ පොත් සාප්පුවට ගොඩ වැදීම බිපින් චෞද්රිගේ පුරුද්දක් විය. ඔහු සාමාන්‍යයෙන් මිළදී ගත්තේ අපරාධ ගැන ලියවුණු කතා, හොල්මන් කතා සහ ත්‍රාසජනක කතා යි. සතිය ගෙවාගනීම සඳහා ඔහුට එක් වරකට පොත් පහක්වත් මිළට ගැනීමට සිදු විය. තනියම ජීවත් වූ ඔහු, සමාජ ආශ්‍රයට අදක්ෂ, වැඩි යහළුවන් නොමැති අයෙක් වූ අතර ඔහු අල්ලාප සල්ලාපයටද ප්‍රිය නොකළේ ය. ඔහුව මුණගැසීමට හවස් වරුවේ පැමිණෙන අය තමන්ගේ අවශ්‍යතාවය ඉක්මණින් සම්පූර්ණ කරගෙන පිටව ගියහ. එසේ නොගිය අයට, දොස්තර විසින් තමන්ට රාත්‍රී අටහමාරට රාත්‍රී කෑම ගන්නට නියම කර ඇති බව බිපින් බාබු විසින් රාත්‍රී අටට පමණ දැනුම් දෙනු ලැබේ. රාත්‍රී අහාරයෙන් පසු පැය භාගයක් විවේක ගන්නා ඔහු ඉනික්බිති පොතක් සමඟ ඇඳට යයි. වසර ගණනාවක් තිස්සේ ඔහු මේ පිළිවෙත නොකඩවා සිදු කර ඇත. 

අද පොත් සාප්පුවේදී කවුරුන් හෝ තමන් දෙස පරීක්ෂාකාරී ලෙස බලා සිටින බව බිපින් බාබු ට දැනුණි. ඔහු ආපිට හැරෙද්දී ඔහු ඉදිරිපස සිටියේ තරමක් නිවට පෙනුමක් ඇති රවුම් මුහුණකින් යුතු වූ මිනිසෙකි. 

“මහත්තයා මාව අඳුනාගත්තේ නැහැ මගේ හිතේ” ඒ මිනිසා පුළුල් සිනාවක් පෑවේය.

බිපින් බාබු ට අපහසුවක් දැනුණි. ඔහුට මේ මිනිසාව කිසි දිනක හමු වූ බවක මතකයක් නොවූ අතර ඒ මුහුණ ඉතා නුපුරුදු එකක් විය. 

“මහත්තයා ඉතින් බොහොම වැඩ අධික කෙනෙක්නෙ. වයිවාරන මිනිස්සුන්ව නිතර හම්බවෙනවා ඇති.’

“අපි මීට කලින් මුණගැහිලා තියෙනවාද?” බිපින් බාබු විමසුවේය.

ඒ මිනිසා මහත් සේ පුදුම වූ බවක් පෙන්වූයේය. “ඇයි මහත්තයා අපි සතියක් තිස්සේ දවස ගානේ හම්බවුණානේ. එක්දාස් නමසිය පනස් අට අවුරුද්දේ මහත්තයාට රාන්චි වල හද්රු ඇල්ල බලන්න යන්න මමනේ කාර් එකක් ලෑස්ති කළේ. මගේ නම පරිමාල් ගෝස්‌.”

“රාන්චි?”

වැරදීම සිදුව ඇත්තේ තමන්ට නොව මේ මිනිසාට බව බිපින් බාබු ට වැටහිණි. ඔහු කිසි දවසක රාන්චි වෙත ගොස් තිබුණේ නැත. කිහිප වතාවක් එහි යාමට සිතා සිටියත් ඊට අවස්ථාව ලැබුණේ නැත. මඳ සිනාවක් පෑ ඔහු මෙසේ ඇසුවේය.

“මම කවුද කියලා ඔහේ දන්නවාද?”

ඒ මිනිසා දෙබැම ඔසවා, දිව සපා ගත්තේය. “මම මහත්තයාව දන්නවාද අහන්නේ? බිපින් චෞද්රිව නොදන්නේ කවුද?”

එවිට බිපින් බාබු නැවතත් පොත් රාක්ක වෙත හැරී මෙසේ කීවේය. 

“කොහොම වුණත් තමුන්ට වැරදිලා. එහෙම දේවල් වෙනවා. මම කවදාවත් රාන්චි ගිහින් නැහැ.”

මෙය අසා මිනිසා හඬ නඟා සිනාසුණේය. 

“චෞද්රි මහත්තයා මොනවද මේ කියන්නේ? ඔබතුමා හද්රු වලදී වැටිලා දකුණු දණහිසත් තුවාල කරගත්තානේ. මමනේ ඒකට අයඩින් ගෙනාවේ. ඊළඟ දවසේ නෙතර්හත් යන්න මම කාර් එකක් ලැස්ති කරලා තිබ්බත් මහත්තයාට යන්න බැරි වුණා දණහිසේ වේදනාව නිසා. ඒ මුකුත්ම මතක නැද්ද? ඒ දවස්වල මහත්තයා දන්නා තව කෙනෙක් රාන්චි වල හිටියා. අර දිනේෂ් මුකර්ජි මහත්තයා. චෞද්රි මහත්තයා හෝටල් කෑම කන්න කැමති නැහැ කියලා බංගලාවක හිටියේ. මහත්තයාගේ කෑම ඉව්වේ කෝකියෙක්. මුකර්ජි මහත්තයා හිටියේ එයාගේ සහෝදරිය එක්ක. ඇයි මතක නැද්ද මහත්තුරු දෙන්නා සඳ ගමනය ගැන ලොකු බහින්බස් වීමක් වුණේ? මට තව විස්තර කියන්න පුළුවන්. මහත්තයා සිරි නරඹන්න ගිය හැම ගමනකදීම පොත් මල්ලක් අරගෙන ගියා. මම හරිද වැරදිද?” 

බිපින් බාබු තම දෑස පොත් රාක්කය වෙත රඳවාගෙනම සෙමෙන් පිළිතුරු දුන්නේය.

“ඔහේ කියන්නේ පනස් අටේ මොන මාසේ ගැනද?”

“පූජාවන් පටන් ගන්න ටිකකට කළින්, ඔක්තෝම්බර් මාසේ.” මිනිසා කීවේය.

“නැහැ ඔහේට වැරදිලා,” බිපින් බාබු කීවේය. “මම පනස් අටේ පූජා කාලේ ගතකළේ කාන්පුර් වල යාලුවෙක්ගේ ගෙදර. ඔබට සුබ දවසක්”

එහෙත් ඒ මිනිසා එතැනින් ඉවත් වූයේවත් කතාකිරීම නැවත්වූයේ වත් නැත. 

“හරිම පුදුමයි. එක දවසක් මම මහත්තයා එක්ක බංගලාවේ වැරන්ඩාවේ හවස තේ බිව්වා. මහත්තයා ඒ වෙලාවේ පවුලේ විස්තර මට කිව්වා. මහත්තයාට දරුවෝ නැති බවත් නෝනා මීට අවුරුදු දහයකට කලින් අන්තරා වුණ බවත් කිව්වා. මහත්තයාගේ එකම සහෝදරයා සිහි විකල් වෙලා මැරුණු නිසා රාන්චි වල මානසික රෝහලට යන්න තමන් අකමැති බවත් කිව්වා.” 

බිපින් බාබු පොත් වල මිළ ගෙවා සාප්පුවෙන් පිට වෙද්දීත් ඒ මිනිසා අදහාගත නොහැකි ලෙස තමන් දෙස බලාගෙන සිටිනු ඔහු දුටුවේය.

බිපින් බාබු ගේ මෝටර් රථය බර්ට්‍රම් පාරේ ලයිට්හවුස් සිනමා ශාලාව අසල ප්‍රවේශම් ලෙස නවතා තිබිණි. 

“සීතාරාම් ගංගා ගඟ අද්දරින් යමු” ඔහු රථයට ගොඩ වෙද්දී රියදුරුට කීවේය. 

ස්ට්‍රෑන්ඩ් මාවත ඔස්සේ යද්දී, ඒ කරදරකාරී මිනිසාට තමන් අවධානය දුන්නා වැඩි යැයි ඔහුට සිතිණි. තමන් කිසි දිනක රාන්චි නොගොස් තිබීම ගැන තර්කයක් තිබුණේ නැත. මීට අවුරුදු හය හතකට කලින් සිදු වූ එවැනි සිද්ධියක් තමන්ට අමතක වීම කිසිසේත්ම සිදුවිය නොහැක. ඔහු සතුව විශිෂ්ඨ මතකයක් තිබිණි. එහෙත්… බිපින් බාබු ට තම හිස බමන බවක් දැනිණි. 

තමන්ගේ සිහි කල්පනාව නැතිවෙමින් පවතිනවා විය හැකි බව ඔහුට හදිසියේ සිතුණි. 

එහෙත් එය සිදු විය හැක්කේ කෙසේද? වැදගත් ආයතනයක වගකීම් සහිත රැකියාවක් ඉසිලූ ඔහු දිනපතා තම කාර්යාලයට ගියේය. රැකියාව සම්බන්ධව මෙතක් කාලයක් කිසිම මහා පරිමාණ අඩුපාඩුවක් සිදුවූ බවක් ඔහුගේ මතකයේ නැත. අදත් ඔහු වැදගත් රැස්වීමක පැය භාගයක කතාවක් කළේ ය. එහෙත්…

පොත් සාප්පුවෙදී මුනගැසුනු මිනිසා තමන් ගැන බොහෝ දේ දැන සිටියේය. එසේ විය හැක්කේ කෙසේද? ඔහු තමන්ගේ සමහර අතිශයින් පෞද්ගලික කාරණා පවා දැන සිටියේය. තමන් යන තැන පොත් මල්ලක් ගෙන යන හැටි, බිරිඳ ගේ මරණය, සොහොයුරාගේ උමතු බව…. ඔහුට වැරදුනු එකම තැන තමන්ගේ රාන්චි ගමනයි. එය වැරද්දක් නොව හිතා මතාම කියූ බොරුවකි. පනස් අට වසරේ පූජා මාසයේදී ඔහු සිටියේ තම මිතුරු හරිදාස් බග්චි ගේ කාන්පූර් නිවසේ ය. හරිදාස් ට ලිපියක් ලීවා නම්- එහෙත් හරිදාස් ට ලිපියක් ලිවිය නොහැකි බව බිපින් බාබු ට හදිසියේම සිහි විය. ඔහුගේ අලුත් ලිපිනය ඔහු දැන සිටියේ නැත. 

එහෙත් මෙවැනි සාක්ෂි අවශ්‍ය වන්නේ කුමකටද? කුමක් හෝ හේතුවකට පනස් අට වසරේදී රාන්චි වල සිදු වූ අපරාධයකට පොලිසිය තමන්ව හසු කර ගැනීමට උත්සාහ කරනු ලැබුවේ නම් තමන් එහි නොසිටි බව ඔප්පු කිරීමට සිදුවනු අත. තමන් රාන්චි හි ගොස් නැති බව තමන් දන්නේ නම් එය ප්‍රමාණවත් බව ඔහු කල්පනා කළේ ය. 

ගඟ දෙසින් හමා ආ සුළඟ සුවදායක වූවත්, බිපින් බාබු ගේ සිතේ තරමක නොසන්සුන් බවක් දැවටෙමින් තිබිණි. 

මෝටර් රථය හේස්ටින්ග්ස් ප්‍රදේශය පසු කරද්දී බිපින් බාබු හදිසියේම කලිසමේ කකුල නවා තම දකුණු දණහිස දෙස බැලුවේය. එතැන අඟලක් පමණ දිග කැළලක් විය. මෙය සිදු වූයේ කෙසේදැයි සිහියට නඟා ගැනීම ඔහුට දුෂ්කර විය. තමන් කුඩා කල වැටී මේ තුවාලය සිදුවූවා විය නොහැකිද? එවැනි සිද්ධියක් සිහියට නඟා ගැනීමට උත්සාහ කළත් ඔහු ඊට අපොහොසත් විය. 

හදිසියේම ඔහුට දිනේෂ් මුකර්ජිව සිහි විය. ඔහුත් තමන් සමඟ එකම කාලයේදී රාන්චිහි සිටි බව කඩේදී හමුවූ මිනිසා කීවේය. කළ හැකි හොඳම දේ ඔහුගෙන් මේ ගැන ඇසීමයි. ඔහු විසූ බෙනිනාදන් වීදිය තමන්ගේ වීදිය ට කිට්ටුවෙන් තිබුණු අතර මේ දැන්ම වුව ඒ ගමන යා හැක. එහෙත් ඔහු පවා කිසි දිනක රාන්චි වෙත ගොස් තිබුණේ නැත්නම් මේ විමසීම ගැන ඔහු කුමක් සිතනු ඇතිද? බිපින් බාබු උමතු වෙමින් පවතින බවක් ඔහු අනුමාන කරනු අත. දිනේෂ් ගේ දරුණු උපහාස ගැන දැන සිටි බිපින් බාබුට දැනුණේ මෙසේ ඇසීම මහත් විකාරයක් වනු ඇති බවයි. 

වායු සමනය කරන ලද තමන්ගේ කාමරයේ ශීත බීමක් තොලගාමින් සිටිද්දී බිපින් බාබුට නැවත සැනසිල්ලක් දැනුණි. පොත් සාප්පුවේ මුනගැසුනු මිනිසාගෙන් තිබුණු කරදරයක්! අනෙත් අයට කරදර කරමින් තැන තැන යාමට වඩා වෙනත් රාජකාරියක් ඒ මිනිසාට නොමැති බව ඔහු අනුමාන කළේය. 

රෑ කෑමෙන් පසු, අලුතින් මිලදී ගත් ත්‍රාසජනක කතා පොතක් සමඟ උණුසුමට ඇඳේ පොරෝනා අතරට වැදුණු බිපින් බාබුට වෙළඳපොළේදී හමුවූ මිනිසා ගැන සම්පූර්ණයෙන්ම අමතක විය. 

නමුත් ඊට පසු දින, ගතවෙන හැම හෝරාවකදීම පෙර දවසේ සිදු වූ ඒ අමුතු හමුවීම තමන්ගේ සිත අරක් ගන්නා බව ඔහුට වැටහිණි. ඒ මිනිසා දෑස් විදහා පුදුම වූ හැටි, තමන් කී දේ අවිශ්වාස කර අවඥාවෙන් සිනාසුණු හැටි…! ඔහු බිපින් බාබුගේ පෞද්ගලික ජීවිතය ගැන මේ තරම් විස්තර දැන සිටියේ නම් ඔහුගේ රාන්චි ගමන ගැන වැරදීමක් සිදුවන්නේ කෙසේද?

දිවා ආහාර වේලාවට ප්‍රථම- දවල් එකට විනාඩි පහක් පමණ තිබියදී- බිපින් බාබුට තවදුරටත් මෙය ඉවසා සිටිය නොහැකි විය. දුරකථන නාමාවලිය අතට ගත් ඔහු දිනේෂ් මුකර්ජි ට ඇමතුමක් දෙන්නට සූදානම් වූයේය.

දුරකථනය ඔස්සේ මේ දැන්ම මෙය විසඳාගත යුතු බව ඔහු සිතුවේ මේ ප්‍රශ්නය නිසා ලැජ්ජාවක් ඇතිවූවත් එවිට තමන්ගේ මුහුණ මිතුරාට නොපෙනෙන බැවිණි. 

දෙකයි-තුනයි-පහයි-හයයි-එකයි-හය 

බිපින් බාබු දුරකතනයෙන් නොම්මරය කරකැවූයේය.

“හෙලෝ”

“දිනේෂ් ද? මේ බිපින්.”

“කොහොමද, කොහොමද? මොනවාද අලුත් තොරතුරු?”

“මම කතා කළේ එක්දාස් නමසිය පනස් අටේ වුණු සිද්ධියක් මතකද අහන්න.”

“පනස් අටේ? මොන සිද්ධියද?”

“මට මුලින්ම දැනගන්න ඕන අපි ඒ මුළු අවුරුද්ද පුරාවටම කල්කටාවේමද හිටියේ කියලා.”

“විනාඩියක් ඉන්න… පනස් අටේ නේද? ඉන්න මගේ දිනපොත බලනකම්”

විනාඩියක් ගතවෙන තුරු නිහැඬියාවක් පැතිරිණි. තම හද ගැස්ම වේගවත් වූ බවක් බිපින් බාබු ට දැනුණි. ඔහු තරමක් දහදිය දමමින් සිටියේය.

“හෙලෝ”

“ඔව්”

“හරි හම්බ වුණා. මම දෙවතාවක් කල්කටාවෙන් පිට ගිහින් තියෙනවා.”

“කොහෙද?”

“එක වතාවක් ළඟට ගිහින්…පෙබරවාරි මාසේ. ඥාති පුතෙක්ගේ මංගල්ලයක්ට ක්‍රිෂ්ණානගර් වලට. ඊළඟට.. මේක නම් ඔයාත් දන්නා ගමනක්, රාන්චි ගිය ගමන. ඔයාත් එහෙදි හම්බ වුණානේ. එච්චරයි. මොකද මේ රහස් පරීක්ෂක වැඩ කරන්නේ?”

“නැහැ මට නිකම් හිතුණා- කමක් නැහැ, බොහොම ස්තූතියි.”

බිපින් බාබු දුරකථනය වේගයෙන් අතහැර දෑතින්ම හිස බදාගත්තේය. ඔහුගේ හිස බමන බවක් ඔහුට දැනුණු අතර සීතලක් මුළු ඇඟ පුරාම පැතිරිණි. ඔහුගේ කෑම පෙට්ටියේ සැන්ඩ්විච් පෙති කිහිපයක් තිබුණත් ඔහුට ඒවා කෑමට සිතක් ඇතිවූයේ නැත. ඔහුගේ කෑම රුචිය සම්පූර්ණයෙන් ම අතුරුදහන් වී තිබිණි. 

දිවා ආහාර වේලාවෙන් පසු තවදුරටත් තම මේසයේ වාඩි වී රාජකාරියේ යෙදීම කළ නොහැකි බව බිපින් බාබුට වැටහිණි. ඔහු මේ ආයතනයේ සේවය කළ විසිපස් වසරටම මෙවැනි දෙයක් සිදු වූ පළමු වතාව මෙය විය. මහන්සි වී වැඩකරන අවංක සේවකයෙක් ලෙස ඔහු මෙහි නමක් දිනාගෙන සිටියේය. ඔහු යටතේ වැඩකළ සේවකයන් ඔහුට සැලකුවේ බොහෝ ගරුසරුවෙනි. මෙතෙක් කාලයක් බරපතලම ගැටළු හමුවේදීත්, නරකම අවස්ථාවන්හිදීත් බිපින් බාබු සන්සුන්ව ඒවාට මුහුණ දුන්නේය. නමුත් අද නම් ඔහුගේ මනස අවුල් වී තිබිණි. 

හවස දෙකහමාර වෙද්දී නිවසට ගිය ඔහු, තම නිදන කාමරයට ගොස් දොරගුළු ලාගෙන, ඇඳේ වැතිරී තම මනස සන්සුන් කරගැනීමට උත්සාහ කළේය. හිසට සිදුවූ අනතුරක් නිසා මතකය අහිමි විය හැකි බව ඔහු දැන සිටියේය. නමුත් එක් සිද්ධියක්- මෑතක වූ වැදගත් සිද්ධියක්- හැර අනෙත් සියලුම දේ මතකයට නැඟෙන මෙවැනි කිසිම අවස්ථාවක් ඔහු මින් පෙර අසා තිබුණේ නැත. රාන්චි පෙදෙසේ සංචාරය කිරීමට ඔහුට බොහෝ කල් සිට කැමැත්තක් තිබිණි. එබැවින් එහි ගොස්, විවිධ දේ කර තිබී ඒ කිසිවක් මතක නැති වීම සිදුවිය නොහැකි දෙයක් විය. 

රාත්‍රී හතට බිපින් බාබු ගේ මෙහෙකරු පැමිණ සෙත් ගිර්ධාරිප්‍රසාද් පැමිණ ඇති බව කියා සිටියේය. මේ ගිර්ධාරිප්‍රසාද් පොහොසත් ව්‍යාපාරිකයෙකු වූ අතර ප්‍රදේශයේ වැදගත් අයෙකු ද විය. ඔහු පැමිණ තිබුනේ කළින් වෙලාව වෙන් කරගැනීමෙනි. නමුත් බිපින් බාබු කෙතරම් වියවුලෙන් පසු වූයේද යත් තමන්ට ඇඳෙන් බැසීමට නොහැකි බව අමුත්තාට කියන මෙන් ඔහු මෙහෙකරුට කීවේය. වැදගත් අය යකාට ගියාවේ!

රාත්‍රී හතහමාරට මෙහෙකරු නැවත පැමිණියේය. ඒ වෙද්දී යන්තමින් නින්දට වැටී තිබුණු බිපින් බාබු මෙහෙකරු දොරට තට්ටු කරද්දී අප්‍රසන්න සිහිනයක් දකිමින් සිටියේය. ඒ පාර කවුද?

“චුනි බාබු ඇවිත් සර්, ලොකු හදිසියක් කියලා කියනවා.”

ඒ හදිසිය කුමක්දැයි බිපින් බාබු දැන සිටියේය. චුනිලාල් ඔහුගේ ළමා කාලයේ සිට මිතුරෙකි. මෑතක කරදර කිහිපයකට මුහුණ දී තිබුණු ඔහු රැකියාවක් ලබාදෙන්න යැයි බිපින් බාබු ට කරදර කරමින් සිටියේය. ඔහුව මගහැරීමට කෙතරම් උත්සාහ කළත් ඔහු නිරන්තරයෙන් ආපසු පැමිණෙමින් සිටියේය. මොන කරදකාරයෙක්ද!

අද තමන්ව මුනගැසීමට ඉඩකඩ නැති අතර ඉදිරි සති කීපයේදීත් ඊට ඉඩකඩ නොමැති බව ඔහු චුනිලාල් වෙත පණිවිඩයක් යැවීය.

නමුත් මෙහෙකරු කාමරයෙන් ඉවත් වූ මොහොතේම තමන් පනස් අටේ දී ගිය බව කියවෙන ගමන ගැන චුනිලාල්ට යමක් මතක තිබිය හැකි බව බිපින් බාබුට සිහි විය. ඔහුගෙන් ඒ ගැන විමසීමේ හානියක් නැත. 

ඔහු වේගයෙන් පහත මහලට දිව ගියේය. ඒ වෙද්දී චුනි ඉවත්ව යාමට සැරසෙමින් සිටියේය. බිපින් බාබු දැකීමෙන් ඔහු නතර වූයේ දෑසේ බලාපොරොත්තුවේ එළි දල්වා ගනිමිනි. 

නමුත් බිපින් බාබු අනවශ්‍යව කාලය නාස්ති කළේ නැත. 

“මේ අහන්න චුනි, මට දෙයක් අහන්න තියෙනවා. තමුසෙට හොඳ මතකයක් තියෙනවානේ, අනික දැන් අවුරුදු ගාණක් තිස්සේ මාව වරින් වර මුණගැහෙනවානේ. පොඩ්ඩක් ආපස්සට කල්පනා කරලා මට කියනවා- පනස් අට අවුරුද්දේදී මම රාන්චි ගියාද?”

“පනස් අටේද? පනස් අට වෙන්න ඕන. නැත්නම් ඒ පනස් නමයේ ද?”

“තමුසෙට විශ්වාසයිද මම රාන්චි ගියා කියාලා?”

චුනිගේ මුහුණේ ඇඳී ගිය පුදුමයට ඔහුගේ සිතේ ඇතිවූ කරදරකාරී බවත් මුසු වී තිබිණි.

“ඒ කියන්නේ උඹ ගිය බවට සැකයක් තියනවා කියන එකද?”

“ඇත්තටම මම ගියාද? තමුසෙට හොඳටම මතකයි ද?”

ඒ වෙද්දී සිටගෙන සිටි චුනි නැවතත් සෝපාවේ වාඩි වී, බිපින් බාබු වෙත දිගු, දැඩි බැල්මක් හෙලුවේය. 

“බිපින්, උඹ මොනවා හරි මත්වෙන ජාතියක් අරගෙනද? පහුගිය කාලේ නම් එහෙම කිසි දෙයක් නොගත්ත බව මම දන්නවා. මම දන්නවා උඹට පරණ යාළුකම් වලින් වැඩක් නැහැ කියලා ඒත් මෙච්චර කාලෙකට උඹට හොඳ මතකයක් තිබුණානේ. උඹට රාන්චි ගිය ගමන අමතක වෙලා කියලද ඔය කියන්නේ?”

චුනි තමන් වෙත හෙලූ සැක සහිත බැල්ම දරාගනු නොහැකිව බිපින් බාබු ට ඉවත හැරීමට සිදුවිය. 

“මගේ කළින් රස්සාව මොකක්ද කියලා මතකද?” චුනිලාල් ඇසුවේය.

“නැතුව, ට්‍රැවල් ඒජන්සියක නේ”

“උඹට ඒක මතකයි, ඒත් රාන්චි ගමනට ඔක්කොම ලෑස්ති කරලා දුන්නේ මම කියලා මතක නැහැ? මම ස්ටේෂන් එකටත් ආවා උඹව බස්සන්න. උඹ හිටිය මැදිරියේ විදුලි පංකාවක් වැඩ කළේ නැති නිසා මම ඒවා හදන කෙනෙක් ගෙන්නලා ඒක හැදෙව්වා. උඹට හැමදේම අමතක වෙලාද? මොකද වෙලා තියෙන්නේ? උඹ ටිකක් ලෙඩ පාටයිත් එක්ක.”

බිපින් බාබු සුසුමක් හෙළා හිස සැලුවේය.

“මම හිතන්නේ මම රස්සාවට මහන්සි වෙනවා වැඩියි,” ඔහු අවසානයේදී කීවේය. “ඒක වෙන්න ඕන හේතුව. ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බවෙන්න බලන්න ඕන”

චුනිලාල් තමන්ගේ රැකියා අවස්ථාව ගැන සිහි කිරීමක් නොකරම යන්නට ගියේ බිපින් බාබුගේ මේ අසනීප තත්ත්වය නිසා විය යුතුය. 


පරේෂ් චන්ඩා නම් දීප්තිමත් දෑසක් සහ උල් නාසයකින් යුතු වූ තරුණ වෛද්‍යවරයා බිපින් බාබු ගේ රෝග ලක්ෂණ අසා තරමක් කල්පනාබර විය.

“මේ අහන්න ඩොක්ටර් චන්ඩා,” බිපින් බාබු බැගෑපත් ස්වරයෙන් කීවේය. “මේ දරුණු ලෙඩේ කොහොම හරි හොඳ කරන්න ඕන. මේකෙන් මගේ රස්සාවට වෙන බලපෑම විස්තර කරන්න මට වචන නැහැ. දැන් කාලේ එක එක ජාතියේ බෙහෙත් තියෙනවනේ, මේ වගේ ලෙඩකට ගැලපෙන දෙයක් නැද්ද? මෙහෙ හොයාගන්න නැත්නම් මට පිටරටින් උනත් ගෙන්නා ගන්න පුළුවන්. මට කොහොමහරි මේ ලෙඩෙන් මිදෙන්නයි ඕන.”

වෛද්‍යවරයා හිස සැලීය.

“මම මීට කලින් කවදාවත් මේ වගේ ලෙඩක් දැකලා නැහැ චෞද්රි මහත්තයා. ඇත්තම කියනවා නම් මේක මගේ පළපුරුද්දෙන් එපිට දෙයක්. හැබැයි මට එක යෝජනාවක් කරන්න පුළුවන්. හරියයිද නම් දන්නේ නැහැ, ඒත් උත්සාහ කරලා බලන්න වටිනවා. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ.”

බිපින් බාබු උනන්දුවෙන් පුටුවේ ඉදිරියට බර විය.

“මට තේරෙන විදිහට- මම හිතන්නේ ඔබටත් මෙහෙම හිතෙනවා- ඔබ රාන්චි වලට ගිහින් තියෙනවා, ඒත් මොකක් නමුත් නොදන්නා හේතුවක් නිසා ඒ මුළු ගමනම ඔබේ මනසින් ගිලිහිලා. මම යෝජනා කරනවා ඔබට ආයෙමත් රාන්චි යන්න කියලා. එහෙ ගිහින් ඇවිදිද්දී ඔබට කළින් ගමන ආයෙත් මතක් වෙන්න පුළුවන්. මේක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඊට වැඩිය දෙයක් නම් මට මේ වෙලාවේ කියන්න බැහැ. මම ඔබේ මනස සන්සුන් වෙන්න බෙහෙතකුත් නින්ද යන බෙහෙතකුත් ලියලා දෙන්නම්. නින්ද අත්‍යවශ්‍යයි, නැත්නම් ඔය රෝග ලක්ෂණ වැඩි වෙනවා.”

එක්කෝ නිදි පෙත්ත නිසා, නැත්නම් වෛද්‍යවරයා දුන් උපදෙස් නිසා පසුවදා උදෑසන වෙද්දී බිපින් බාබුට මඳ සහනයක් දැනුණි. 

උදෑසන ආහාරයෙන් පසුව කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත් ඔහු, උපදෙස් කීපයක් දී, එදිනම හවස් වරුවට රාන්චි වෙත යාමට පළමු පන්තියේ දුම්රිය ප්‍රවේශ පතක් වෙන් කර ගත්තේය. 


පසුදින උදෑසන රාන්චි දුම්රියපළින් දුම්රියෙන් බසිද්දීම තමන් මින් පෙර කිසිදිනක එහි පැමිණ නැති බව ඔහුට වැටහිණි. 

දුම්රියපළින් පිටවී කුලී රියකට නැඟුණු ඔහු, ටික වේලාවක් නගරය වටා සංචාරය කළේය. එහි ගොඩනැගිලි, හෝටල්, කඩ මණ්ඩි, මොරබාදී කන්ද ආදී හැම දෙයක්ම නුපුරුදු බව ඔහුට පැහැදිලි වූ අතර ඒ එකක් ගැන වත් ඔහුට කිසිම මතකයක් නොවිණි. හද්රු ඇල්ලට ගියහොත් යම් වෙනසක් විය හැකිද? එසේ නොවන බව ඔහුට හැඟුනත් සියලු අවස්ථා අත්හදා නොබලා ආපසු යාමට අකමැති වූ ඔහු හවස් වරුවේ හද්රු යාමට කුලී රථයක් සුදානම් කරගත්තේය.

එදිනම හවස පහට පමණ හද්රුහි සතුටු සවාරියක යෙදී සිටි ගුජරාටි මහත්වරු දෙදෙනෙකුට ගල් කුළක් අසල සිහි නැතිව වැටී සිටි බිපින් බාබුව දක්නට ලැබිණි. ඔවුන්ගේ සහයෙන් පියවි සිහියට එළඹී බිපින් බාබුගේ මුවින් පිටවුණු පළමු වැකිය නම්, “මම ඉවරයි, තව දුරටත් බලාපොරොත්තු තියාගෙන තේරුමක් නැහැ” යන්නයි. 

මීට පසු දින බිපින් බාබු නැවත කල්කටාවට පැමිණ සිටියේය. තමන්ට ගොඩ ඒමක් නොමැති බව ඔහු වටහාගෙන තිබිණි. නොබෝ කලකින් ඔහුට රැකියාවට ඇති කැමැත්ත, ආත්ම විශ්වාසය, ඔහුගේ සමත්කම්, මානසික ඒකාග්‍රතාව ආදී සියලු දේ අහිමි වනු ඇත. ඔහුටත් රාන්චි හි මානසික රෝහලටම යන්නට සිදුවේද? බිපින් බාබු තව දුරටත් කල්පනා කිරීමට අපොහොසත් විය. 

නිවසට ආ පසු ඔහු දොස්තර චන්ඩා වෙත දුරකථන ඇමතුමක් දී හවස් වරුවේ පැමිණෙන ලෙස දැනුම් දුන් අතර, නෑමෙන් පසු අයිස් සහිත මල්ලක් හිසට තබාගෙන ඇඳට වී සිටියේය. ලියුම් පෙට්ටියට දමන ලද ලියුමක් මෙහෙකරු විසින් ඔහු වෙත ගෙන එනු ලැබුවේ එවිටයි. කොළ පැහැති ලියුම් කවරයක් වූ එහි ඔහුගේ නම රතු තීන්තයෙන් ලියා තිබිණි. නමට ඉහළින් ‘පුද්ගලිකයි රහසිගතයි’ යනුවෙන්ද ලියා තිබිණි. තමන්ගේ අසනීප තත්ත්වයද නොතකා මෙය කියවිය යුතුම බව බිපින් බාබු ට හැඟිණි. කවරය ඉරා ලියුම පිටතට ගත ඔහු එය කියවන්නට විය. එහි සඳහන් වූයේ මෙලෙසයි.

“හිතවත් බිපින්,

පොහොසත් වෙද්දී ඔබ මේ ලෙසම වෙනස් වනු ඇති මා කිසි විටක සිතුවේ නැත. කරදරයට පත්ව සිටින පැරණි මිතුරෙකුට උපකාර කිරීම ඔබට මෙතරම් දුෂ්කර ද? මා හට මුදල් නොමැති නිසා මා ළඟ සම්පත් ඇත්තේ සීමිත ප්‍රමාණයකයි.. නමුත් මා සතුව පරිකල්පනය ඇත. ඔබගේ හිතක් පපුවක් නොමැති හැසිරීම වෙනුවෙන් පලි ගැනීමට මා පාවිච්චි කළේ ඉන් බිඳකි.

ඔබට පොත් සාප්පුවේදී මුණගැසුණු මිනිසා මගේ හිතවත් අසල්වැසියෙකි. දක්ෂ නළුවෙකු වන ඔහු, මා ඔහුට ලියා දුන් චරිතය මනා සේ රඟපා ඇත. දිනේෂ් මුකර්ජි කිසි දිනක ඔබ ගැන වැඩි කැමැත්තකින් පසු නොවුණු නිසා ඔහුත් මීට සහාය වීමට බොහෝ කැමති විය. ඔබේ දණහිසේ ඇති කැළැල, 1939 දී චන්ද්පාල් ඝාත් හිදී ඔබ ලණුවක පටලැවී වැටුණු අවස්ථාවක සිදුවූ තුවාලයක් බව ඔබට මතක්වනු ඇත.. 

දැන් ඔබට සුවවන බවට සැකයක් නැත. පොත් ප්‍රකාශකයෙකු විසින් මා ලියූ නවකතාවක් සලකා බලමින් පවතී. ඔහු එයට කැමති වුවහොත් මට ඉන් ඉදිරි මාස කීපය ගෙවා ගනු හැකි වනු ඇත.”

මීට 

චුනිලාල්”

වෛද්‍ය චන්ඩා පැමිණි විට “මට දැන් හොඳයි, රාන්චි වල කෝච්චියෙන් බැස්ස ගමන් හැමදේම මතක් වුණා,” යැයි බිපින් බාබු කීවේය.

“බොහොම දුර්ලභ සිදුවීමක්,” වෛද්‍යවරයා කීවේය. “මේ ගැන මම අනිවාර්යයෙන්ම වෛද්‍ය සඟරාවට ලියනවා.”

“මම ඔබට එන්න කීවේ,” බිපින් බාබු කීවේය. “රාන්චි වලදී වැටිලා මගේ කකුලේ වේදනාවක් තියෙනවා, මට වේදනා නාශකයක් ලියලා දෙන්න පුලුවන්ද ඩොක්ටර්?”


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

From the book One Dozen Stories by Sathyajit Rai - Penguin Books India (2008)

Photo by Vni Vinay on Unsplash


23 comments:

  1. සත්‍යජිත් රායි අපිව එහෙමපිටින්ම කරකවල අතාරිනවා
    මම ආසම ඒකයි
    මගේ ළඟ තියෙනවා ප්‍රසාද් සමරසේකර මහතාගේ ආගන්තුකයා සහ තවත් කතා කියන පොත (පරිවර්තනය)
    ගොඩක් කතා අද්භූතයි...
    නවකතා වලට වැඩිය රායිගේ කෙටිකථා තමයි අපූරු.

    ReplyDelete
    Replies
    1. කුමුදු- රායි ගේ කෙටිකතා ගැන මුල්ම ඔත්තුව දුන්නේ ඔයා- ඉස්සර දවසක. මම ඊට කලින් අහලා තිබුණේ එයාගේ නවකතා, චිත්‍රපටි ගැන විතරයි. ඒ නිසා මේක ඔයාට

      Delete
    2. ❤️❤️❤️

      Delete
  2. මේක නියමයි.

    ReplyDelete
  3. සුපුරුදු ලෙසම පරිවර්තනය නියමයි. කෙටි කතාව කිව්වට කෙටිමත් නෑ, ඒ ගැන අමනාපයකුත් නෑ.🤣

    ReplyDelete
    Replies
    1. Thank you බස්සා, මෙතන පිටු අටක්! :D

      Delete

  4. මම සීරියස් වැඩි ඇති- මම නම් කැමති නෑ මේ වගේ විහිලුවලට. බිපින් නරක නම්, let him carry it. Why play with someone's physical and mental wellbeing.

    සීරියස් මූඩ් එකෙන් එලියට ආවොත් කතාවෙ ඩ්‍රැමටිසේශන් හොඳයි. පරිවර්තනය හොඳම හොඳයි.

    ReplyDelete
    Replies
    1. Typo...I mean dramatization. සින්හලෙන් ඉංග්‍රීසි ලියන්න ගියාම වෙන දේවල්.

      Delete
    2. Lotus - මමත්! ටිකක් cruel වැඩියි කියලා මටත් හිතුණා. වැඩියත්ම එහෙම දෙයක් මට වුණා නම් කියලා හිතුන නිසා. මට කොහොමත් මගේ මතකය එක්ක love-hate relationship එකක් තියෙන්නේ, ඒ නිසා මෙහෙම දෙයක් උනොත් නම් fuse යනවා sure! :D අනික මනුස්සයෙක් උදවු නොකළා කියලා ඔච්චර extent එකකට යනවද, නේද?

      කතාවක් හැටියට නම් හොඳයි තමයි- මේ ඒ පොතේ තිබුණු කෙටිම කතාව!

      Delete
  5. මොකද කළු ඇන්ටි බ්ලොග් එකේ කොමෙන්ට් වෙරිෆිකේෂන් දැම්මේ? කොමෙන්ට් එකක් වත් ඉවසගන්න බැරි කෙනෙක්ද බ්ලොග් එකේ අනුන්ට කතන්දර කියන්නේ ?

    ReplyDelete
  6. ගොඩමඩ දෙකම සරු සාරය බර-බරය
    බ්ලොග් ගම්මානෙ දැන්,දැන් වලියට බරය
    පාඨකයන්ගෙ කමෙන්ටු නං මනහරය
    මාගල් එලන්නේ ඒ ගම කෙල වරය

    එකක් එලල, ආයෙත් ආයෙත් එලතී
    හොම්බට ඇන-ඇනම තම අදහස් පොවතී
    අදිරාජයා පෙරහැරෙ යයි , ඇඳුම් නැතී
    මේ රජකෙලිය නම් නරඹන කෙනෙක් නැතී

    කලින් කලට වීරයො ලෝකයට එතී
    කලසම උඩින් උන් ජංගිය අඳිතී
    ජහමනයාව බේරගන්න පොර වදිතී
    නෑ කිය කියා, මඩ කුඹුරෙම ඔබතී

    ReplyDelete
    Replies
    1. මසුරං කවිය බස්සා! :D
      Some people badly need a life නේ. අනුකම්පා කරන්න ඕන ජීවිත :)

      Delete
    2. Apparently, the rabbit hole goes deeper than that. It seems to be the ‘Dark Triad’ called Machiavellianism to push their political ideology.

      Delete
  7. සත්‍යජිත් රායි ගේ චිත්‍රපට විතරයි බලල තියෙන්නේ. හොඳ පරිවර්තනයක්

    ReplyDelete
    Replies
    1. අජිත්- මාත් රායි ගේ කෙටිකතා ගැන කලින් දැනගෙන හිටියේ නැහැ. හොයාගෙන කියවන්න වටින තරම් හොඳ ඒවා තියෙනවා. හැබැයි පරිවර්තනය කරන්න නම් දිග වැඩියි වැඩි හරියක්.

      Delete
  8. කතාව එක පාරක් නෙවෙයි දෙපාරක්ම කියෙව්වා. රායි ගේ මේ කතාව හරියට චිත්‍රපටයක් වගේ . මල්ගුඩි දවස ටෙලි කථා මාලාවත් සිහිවුනා. හෙල්මලී හරි අපූරුවට එය ඉදිරිපත් කර තිබෙනවා. ඒ කියන්නේ අපට ඉදිරියේදී වෙනස්ම පරිවර්තන කෙටි කථා බ්ලොග් එකේ හරි පොතක් වශයෙන් හරි දකින්න බලාපොරොත්තු තියා ගන්න පුළුවන් වේවි. ඒ හැමට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ. ඉන්දියානු කතා පරිවර්තනය කරන එක සාපේක්ෂව පහසුයි කියලා මට දැනිලා තියෙනවා. අපේ ඇවතුම් පැවතුම් වලට සමාන නිසා වෙන්න ඇති සමහර විට. ඉඩ ලැබෙන හැටියට පරිවර්තනය කරලා බ්ලොග් එකට දාන්නම්.

      Delete
  9. //ඉඩ ලැබෙන හැටියට පරිවර්තනය කරලා බ්ලොග් එකට දාන්නම්.//

    ඒක බොහොම වටින වැඩක්

    ReplyDelete
  10. කතාව හොඳයි.. උඩ කට්ටිය කීවා වගේ මොනවා උනත් මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ නෙහ්...

    හැබැයි අපිට ඇත්තටම මුහුණ දෙන්න වෙන්නත් පුලුවන් නෙහ් ජීවිතේ ඔහොම දේවල්🤔

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නවීන්
      මට කවුරුහරි ඔහොම එකක් කළොත් නම් ඇත්තටම fuse යනවා :D
      මට දේවල් හොඳට මතකයි කියලා හරි ගැම්මෙන් ඉන්නේ මම!

      Delete