හරී – විශාල් සුසංයෝගය තෙවන වරටත් එකතු වෙයි!

Avatar Kavinu Weerakkody | May 21, 2023 56 Views 0 Likes 0 Ratings

56 Views 0 Ratings Rate it

දකුණු ඉන්දියානු නලු Vishal පළමුවරට දමිළ සිනමාවට පිවිසෙන්නේ 1989 වසරේදී ළමා රංගන ශිල්පියෙකු ලෙසයි. එයින් වසර ගණනක නිහැඬියාවකට පසුව 2004 වසරේදී Chellamae සිනමාපටය හරහා යළිත් ඔහු රංගනයට පිවිසෙන අතර මේ වනවිට වසර 20කට ආසන්න කාලයක් චිත්‍රපට 30කට වැඩි ගණනකට එකතු වෙමින්, තමිල්නාඩු සිනමා කර්මාන්තයේ තම ජනප්‍රියත්වය රැක ගැනීමට ඔහුට හැකිව තිබෙනවා.

දශක දෙකකට අධික කාලයක් තිස්සේ විශාල් වටා ගොඩනැඟී තිබෙන මේ නොවෙනස් රසික ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් වන්නේ විශාල් තෝරාගන්නා සෑම චිත්‍රපටයකම පාහේ දක්නට ලැබෙන Energetic ක්‍රියාදාම – සටන් දර්ශනයි. 2005 වසරෙන් පමණ පසුව ඔහු romantic චිත්‍රපට ශානරයෙන් ඉවත් වී Action Movie Star කෙනෙකු වශයෙන් කැපී පෙනෙන්නට පටන් ගත් අතර රසිකයින් බලාපොරොත්තු වූ entertaining mass ගතිය ඔහුගේ චිත්‍රපට හරහා හොඳින් ලබා දෙන්නටත් විශාල්ට හැකියාව ලැබුනා.

Avan Ivan, Sandakozli, Irumbu Thirai, Thupparivaalan, Pandiya Naadu ආදිය විශාල්ගේ රංගනයෙන් හැඩවුනු අදටත් ජනප්‍රිය ක්‍රියාදාම සිනමාපට කිහිපයක්. කෙසේ වුවත්, පසුගිය වසර 3-4ක කාලය නම් විශාල්ගේ රංගන ජීවිතය තුළ එතරම් සාර්ථක කාල පරාසයක් වූයේ නැහැ.
2018 වසරෙන් පසුව විශාල්ගේ කිසිදු චිත්‍රපටයකට ඉන්දියානු කෝටි 50 සීමාව පසු කිරීමට හැකි නොවූවා සේම, ඒ බොහෝමයක් නිර්මාණ බොක්ස් ඔෆීසිය තුළ අසාර්ථකත්වයටත් පත් වූවා.

බොහෝමයක් දමිළ සිනමා විචාරකයින්ට අනුව විශාල්ගේ සාර්ථකම කාල පරිච්ඡේදය ලෙස හැඳින්වෙන්නේ 2005-2015 අතර දශකයයි. ඒ කාල වකවානුව තුළ ඔහු රඟපෑ සිනමාපට බොහෝමයක් රසිකයින්ගේ අවධානයට ලක් වූ අතර නිෂ්පාදකයින්ට විශාල ලාබ උපයා දීමටත් සමත් වුනා.
එලෙස දින 100කට අධික කාලයක් සිනමාශාලා තුළ තිරගත වූ 2007 වසරේ Thaamirabharani සහ 2014 වසරේ Poojai චිත්‍රපට ද්විත්වය තුළින් විශාල්ගේ සිනමා ගමනට ලැබුනේ විශාල ඉදිරි පිම්මක්! විශේෂත්වය වන්නේ මෙම නිර්මාණ දෙකම Hari Gopalakrishnan විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වීමයි.

Hari Gopalakrishnan දමිළ සිනමාවේ ජනප්‍රිය ඇක්ෂන් චිත්‍රපට රැසක් නිර්මාණය කළ සිනමාකරුවෙකු ලෙසින් නමක් දිනාගෙන සිටින අයෙක්. මෙරට රසිකයින් අතරෙ හි පවා ප්‍රසිද්ධ, සූරියා රඟන “Singam” පොලිස් චිත්‍රපට මාලාව සහ වික්‍රම් රඟන “Saamy” චිත්‍රපට මාලාව අධ්‍යක්ෂණය කළේ ඔහුයි. එමෙන්ම Arul, Venghai, Yannai වැනි සිනමාපටත් ඔහු විසින් නිර්මාණය කළ ඒවායි.

2022 වසරේදී නිකුත් වූ Yaanaiට පසුව හරී විසින් අධ්‍යක්ෂණය කිරීමට සැරසෙන නවතම සිනමාපටය පිළිබඳව පළමු නිල නිවේදනය පසුගියදා මාධ්‍යයට අණාවරණය කළා. ඒ චිත්‍රපටයේ මුහුරත් උළෙලට සමගාමීවයි. ඒ අනුව Thaamirabharani (2007) සහ Poojai (2014) චිත්‍රපටවලට පසුව හරී සහ රංගන ශිල්පී විශාල් තුන්වන වරටත් සුසංයෝගගත වීමට නියමිතව තිබෙනවා.
මන්ද යත්, Hariගේ මෙම නවතම සිනමාපටයේ ප්‍රධාන නලුවාගේ භූමිකාව සඳහා Vishal නැවත වතාවක් ගිවිසුම්ගත වී තිබෙන අතර මෙය විශාල්ගේ 34වන සිනමාපටයයි.

නිශ්චිත නමක් තවමත් යෝජනා වී නොමැති, දැනට Vishal34 යනුවෙන් හඳුන්වන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Zee Studios South ආයතනයේ මූලිකත්වයෙනුයි. ඊට අමතරව Petta, Pizza, Jigarthanda වැනි දමිළ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Karthik Subbarajගේ Stone Benchers සිනමා නිෂ්පාදන ආයතනයත් මෙහි සම පිරිවැය දරන්නට ඉදිරිපත් වී තිබෙනවා.

“Super excited to join hands with Director Hari Sir for a 3rd time,
It’s going to be a blast and I am looking forward to it, GB#Vishal34

Produced by @stonebenchers and @ZeeStudiosSouth@kaarthekeyens@karthiksubbaraj

— Vishal (@VishalKOfficial) April 23, 2023”

වාර්තා වන අන්දමට, මෙම නව සිනමාපටයත් විශාල් – හරීගේ පෙර නිර්මාණ මෙන්ම ක්‍රියාදාම සහ සටන් දර්ශනවලින් පිරුනු Mass Action චිත්‍රපටයක් ලෙසටයි නිර්මාණය වන්නේ. විශාල් මෙහි වෛද්‍යවරයෙකුගේ චරිතයක් නිරූපණය කරන බවටත්, යම් කාරණයක් නිසා ඔහු පසුපස හඹා එන ඝාතක කල්ලියක් වටා චිත්‍රපටය දෙවන බවටත්, විවිධ ගොසිප් අඩවි තුළ පළවුන ද, ඒ බව තවමත් නිශ්චිතව තහවුරු වී නැහැ.
ඔවුන් එලෙස පවසන්නේ Vishal34 ගැන නිකුත් වූ පළමු ප්‍රචාරක පෝස්ටරය තුළ වෛද්‍යවරුන් භාවිතා කරන Stethoscope උපකරණයක් සහ විවිධ ආයුද වර්ග දක්නට ලැබෙන නිසා විය හැකියි.

Priya Bhavani Shankar මෙහි ප්‍රධාන කාන්තා චරිතයට සම්බන්ධ කර ගැනීමට නිෂ්පාදකරුවන් උත්සාහ දරන බවටත් සමාජ මාධ්‍ය තුළ යම් කතාබහක් ඇතිව තිබෙනවා. කෙසේ වුවත්, ප්‍රධාන චරිතය රඟන විශාල් හැර චිත්‍රපටයට සම්බන්ධ වන වෙනත් කිසිදු නලුවෙකු හෝ නිළියක ගැන තවමත් නිල වශයෙන් දැනගන්නට ලැබෙන්නේ නැහැ.

Vishal පසුගිය සමයේදී රඟපෑ සිනමාපට සියල්ලම පාහේ අසාර්ථක වූ නිසා රසිකයින් සිටින්නේ මෙම ඉදිරි නිර්මාණ ගැන සෑහෙන බලාපොරොත්තුවකින්… විශේෂයෙන්ම ඔහුගේ upcoming නිර්මාණවලින් මුලින්ම තිරගත වීමට තිබෙන “Mark Anthony” දමිළ සිනමාපටය ඒ අතරින් තවත් විශේෂයි.
විශාල් සමඟින් S.J. Suryah රඟන එය අධ්‍යක්ෂණය කළේ Adhik Ravichandran විසිනුයි. ජූලි 28 වනදා තිරගත වීමට නියමිත Mark Anthonyට පසුව විශාල් විසින් ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය සිදු කිරීමට නියමිතව තිබෙන්නේ Thupparivaalan 2 සමඟයි. බොහෝදුරට එහි නිෂ්පාදන කටයුතු මෙම වසර අග භාගයේදී ඇරඹීමට ඉඩ තිබිය හැකියි.

Share

56 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.