“ලෝක කුසලාන ජය ඉලක්ක කොට පරිපාලනය මෙහෙයවීම අපේ ඉලක්කයයි”

631

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා පරිපාලන කටයුතු මෙහෙයවීම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අරමුණ බව, යළිත් වරක් ක්‍රිකට් සභාපති ධුරය භාර ගත්, ශම්මි සිල්වා මහතා පැවසුවා.

කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ අද (20) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ශම්මි සිල්වා මහතා මේ බව කියා සිටියා.

2023 සිට 2025 වසර දක්වා කාලසීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා වන නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගැනීම ඡන්ද විසීමකින් තොරව පැවති අතර, සභාපති තනතුරට ශම්මි සිල්වා මහතා තෙවැනි වරටත් තේරී පත් වුනා.

එහි උප සභාපති තනතුරට ජයන්ත ධර්මදාස හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුත්, ලේකම් තනතුරට වත්මන් ලේකම් මොහාන් ද සිල්වා මහතා, භාණ්ඩාගාරික තනතුරට සුජීව ගොඩලියද්ද මහතා, උප ලේකම් තනතුරට ක්‍රිෂාන්ත කපුවත්ත මහතා නිතරගයෙන්ම තේරී පත්වුනා. උප භාණ්ඩාගාරික තනතුර සඳහා අයෙකු ක්‍රිකට් ව්‍යවස්ථානුකූලව ඉදිරියේ දී පත්කර ගැනීමට නියමිතයි.

“දැනට අපට ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 4ක් තිබෙනවා. ආර්. ප්‍රේමදාස, සූරියවැව, දඹුල්ල හා පල්ලෙකැලේ ඒ ක්‍රීඩාංගණ 4යි. නමුත් දැන් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට එවැනි තත්ත්වයේ ක්‍රීඩාංගණ 5ක් අවම වශයෙන් රටකට තිබිය යුතුයි. ඒ නිසා අප යෝජනා කළා දියගම ක්‍රීඩා පිටියක් හදන්න. ඒක ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට සාර්ථක කර ගැනීම අපේ ඉදිරි බලාපොරොත්තුවයි.

දියගම ක්‍රීඩා පිටිය වැදගත් වන්නේ අධිවේගී මාර්ග පද්ධතිය ඒ ක්‍රීඩාංගණය අසලින් යන නිසයි. දියගම ක්‍රීඩාංගණය හැදුවාම ICC එක ඉල්ලන අවශ්‍යතා අපි සම්පූර්ණ කොට අවසන්. ලබන වසරේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ තවම අවසන් තීරණයක නෑ,“ ශම්මි සිල්වා මහතා එහි දී පැවසුවා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මූල්‍ය අතින් ශක්තිමත්. අපේ බලාපොරොත්තුව ඉදිරි දෙවසර තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ගිණුමේ ඉතිරි කරන්නයි. ඉදිරි ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමග හා ක්‍රීඩා ඇමතිතුමා සමඟ සාකච්ඡා කරනවා.

දැනට ක්‍රිකට් නිලවරණයේ ඇති ඡන්ද ප්‍රමාණය අඩු කිරීමට අපේ සැලසුමක් තියෙනවා. මේ සියල්ල ඇමතිතුමාට පැහැදිලි කොට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අප දෙපාර්ශවයම කැප වෙනවා,“ යැයි  සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.

ICCය විසින් වාර්ෂිකව මුදල් ලබා දෙන ක්‍රමවේදය පිළිබඳ අපේ කැමැත්ත ප්‍රකාශ කළා. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන අනුග්‍රාහක දායකත්වය පිළිබඳ ගණනය කොට මේ අලුත් තක්සේරු ක්‍රමවේදය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හදා තිබෙන්නේ. ඉන්දියාවේ අනුග්‍රාහක තක්සේරුව සියයට 90ක් පමණ වැඩියි. ඒ නිසා ඉන්දියාවට වැඩි මුදලක් යෑම සාමාන්‍ය දෙයක්. අපටත් වාර්ෂිකව ඩොලර් මිලියන 15ක් 16ක් විතර වැඩි වී තිබෙනවා. හැම රටක්ම මේ නව ක්‍රමයට එකඟ වුනා“.

“අපි ක්‍රිකට්වලට අමතරව අනෙක් ක්‍රීඩා දියුණුවට විශාල මුදලක් යොදවනවා. එයට අමතරව ඇතැම් පාසල්වල යටිතල පහසුකම් හා සමාජීය අවශ්‍යතා වෙනුවෙන් වෙනම අරමුදලක් පිහිටුවනවා. ලෝක කුසලානයට යන දැල්පන්දු කණ්ඩායමට රුපියල් මිලියන 25ක් අනුමත කළා. තව මලල ක්‍රීඩා, මෝටර් රථ ක්‍රීඩා තරග වැනි දේ සදහාත් ළඟ දී මුදල් ලබා දුන්නා. කාන්තා ක්‍රිකට් දැන් දියුණු වෙමින් තියෙනවා. ඉදිරියේ දී පාසල් කාන්තා මහා ක්‍රිකට් තරග පවත්වා දක්ෂ ක්‍රීඩිකාවන් බිහි කිරීමට වැඩ පිළිවෙළක් අපි නිර්මාණය කර තිබෙනවා.”

මෙහි දී මාධ්‍ය ඇමතූ ක්‍රිකට් ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසූවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීමට බැදී ඇත්තේ සාමාජික සංගම්වලට පමණක් බවයි.

“අපි දන්නවා අපේ වගකීම්. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මහජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අපේ ප්‍රධාන වගකීමක්. වගකීම් වලට බැඳී ඇත්තේ සාමාජිකයින්ට පමණයි. අපට විරුද්ධව යමක් කරනවා නම් ඒ කළ හැක්කේ සාමාජිකයින්ට පමණයි. අප ක්‍රීඩා අමාත්‍යාංශය සමඟත් ක්‍රියා කළ යුතුයි. මොනවා වුනත් අප නිලවරණයකින් පත් වූ නිලධාරි කණ්ඩායමක් නිසා අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමග විශාල විශ්වාසයකින් වැඩ කරනවා,” යැයි මොහාන් ද සිල්වා මහතා පැවසුවා.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් 2022 නොවැම්බර් 23 වැනි දින පවත්වන ලද අති විශේෂ මහ සභා රැස්වීමේ දී ගන්නා ලද තීරණයකට අනුව, සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් පත් කරන ලද අතර එහි ප්‍රධානී ලෙස අභියාචනාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරියක වන මාලනී ගුණරත්න මහත්මිය පත් කරනු ලැබුවා.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන සුනිල් ‌සිරිසේන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ක්‍රිකට් නිලවරණ කටයුතු මෙහෙයවීම සිදු කළා.

උපුටා ගැනීම – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇසුරෙන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<