Jaiswalගේ බිහිසුණු ඉනිම ඉදිරියේ කල්කටාව හඬා වැටේ!

211

Indian Premiere League තරගාවලියේ වාර්තා බිහිවුනු තරගයක් ඊයේ (11) ක්‍රියාත්මක වුනා. ඒ Rajastan Royals සහ Kolkata Knight Riders කණ්ඩායම අතරයි.

මෙහි දී කැපී පෙනෙන අනාගතයක පෙරමං සලකුණු පෙන්නුම් කරන 21 හැවිරිදි යොවුන් ඉන්දීය පිතිකරු Yashasvi Jaiswal, IPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව තමන් සතුකර ගනිමින් කඩුලු 9ක ජයක් රාජස්ථානයට හිමිකර දුන්නා.

තරගය ක්‍රියාත්මක වුනේ කල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ දීයි. කාසියේ වාසිය දිනා ගත් Rajastan නායකයා මුලින් පන්දුවට පහර දීම තෝරාගත් අතර Kolkata මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉඩක් ලැබුණේ නැහැ.

ඊට Rajastan පන්දු යැවීම මෙන්ම විශිෂ්ට ඝණයේ පන්දු රැකීම ද දැඩි හේතුවක් වුනා. මේ දිනවල පිත්ත නිහඬ වී ඇති Jason Roy ඊයේ එල්ල කරන්නට ගිය හයේ පහර Shimron Hetmyer හතරේ සීමාවට සමාන්තරව දුවගොස් සමබරතාවය ද ආරක්ෂා කරගෙන රැක ගත්තා.

වේගවත් ලකුණු 18ක් ලබා සිටි Gurbazටත් සිදු වුනේ හතරේ පහරක් බලාපොරොත්තුවෙන් එල්ල කළ ඩ්‍රයිව් පහර Sandeep Sharma උඩපන්දුවක් බවට හරවා ගැනීම නිසා දැවී යන්නටයි. ඉන්පසු ලකුණු 48ක සබඳතාවයක් Venkatesh Iyer සහ Nitish Rana අතරේ ගොඩ නැගුනත්, ඉනිම පිළිසකර කරන්නට යාමේ දී ඔවුන්ගේ ලකුණු වේගය සෑහෙන දුරකට අඩාල වුනා. නායක Rana පන්දු 17කින් ලකුණු 22යි.

Kolkata ඉනිමේ එකම කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කළ Venkatesh Iyer පන්දු 42කින් ලකුණු 57ක් ලබා ගත්තේ හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟයි. සුපිරි පිතිකරු Andre Russell සහ Rinku Singh ඊයේ විශේෂ ඉනිමක් ක්‍රීඩා නොකල නිසා Kolkata කණ්ඩායමට අවසානයේ ලකුණු 149කින් නතර වන්නට සිදු වුනා.

විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු Yuzvendra Chahal ලකුණු 25කට කඩුලු 4ක් දවා ගත්තේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමිවන දම් පැහැ හිස් වැස්ම ද තමන් සතුකර ගනිමින්. මේ වනවිට ඔහු මුළු කඩුලු 21ක් දවාගෙන සිටිනවා.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යන්නට පිටියට පිවිසි Yashasvi Jaiswal විසින් Kolkata නායකයා ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයටම ලකුණු 26ක් උදුරා ගනිමින් තම වාර්තාගත ප්‍රහාරය ආරම්භ කළා.

ඉන්පසු පන්දුවාරයේ දී Jos Buttler දුවද්දී දැවී යන්නේ අනවශ්‍ය ලකුණක් කරා දුව යාමට උත්සාහ කිරීමේ දීයි. නමුත් එතැන් පටන් Kolkata පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී සිටි Rajastan කණ්ඩායම කඩුලු 9ක් ඉතිරිව තිබියදීම අදාළ ඉලක්කය පසුකර යාමට සමත් වුනා.

ඊයේ පන්දු 13කින් තම අර්ධ ශතකය වාර්තා කරගත් Jaiswal වේගවත්ම අර්ධ ශතකයේ තනි අයිතිය තමන් සතුකර ගත්තා. මීට පෙර එහි සම අයිතිය පැවතුනේ පන්දු 14කින් අර්ධ ශතකය වාර්තා කර ගත් KL Rahul සහ Pat Cumminsටයි.

ඉන්පසුවත් තම ප්‍රහාරය නිමා නොකළ Jaiswal තරගය අවසන් නොවන තුරුම කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 98ක් රැස් කළා. ඒ පන්දු 47ක් පමණක් වැය වූ එම සුපිරි ඉනිමට අලංකාර හතරේ පහර 13ක් සහ දැවැන්ත හයේ පහර 5ක් ඇතුළත් වුනා.

අනෙක් අන්තයේ සිටි නායක Sanju Samson ද පන්දු 29කින් ලකුණු 48ක් ලබාගෙන සුපිරි ඉනිමක් ක්‍රීඩා කළත්, එය Jaiswalගේ විශිෂ්ට ඉනිමේ සෙවනැල්ලෙන් වැසී ගිය බව පෙනෙන්නට තිබුණා. Samsonගේ ඉනිම හතරේ පහර 2කින් සහ හයේ පහර 5කින් හැඩවුනා. ඊයේ Rajastan පන්දු යවන්නන් කිසිදු කඩුල්ලකට හිමිකම් නොකීමද විශේෂත්වයක්. රාජස්ථානය ඊයේ මෙම ඉලක්කය පන්දුවාර 13.1ක් තුල දී පසුකර යන්නට සමත් වුනා.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 149 (පන්දුවාර 20): Venkatesh Iyer 57, Nitish Rana 22, Rahmanullah Gurbaz 18, Rinku Singh 16, Jason Roy 10, Andre Russell 10, Yuzvendra Chahal 4/25, Trent Boult 2/15.

රාජස්ථාන් රෝයල්ස් – එක් කඩුල්ලක් දැවී ලකුණු 151 (පන්දුවාර 13.1): Yashasvi Jaiswal 98*, Sanju Samson 48*.

මෙම ජයග්‍රහණයත් සමඟ Rajastan Royals ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 දක්වා ඉහළට පැමිණීමට සමත් වුනා. මුල් කොටසේ විශිෂ්ට දස්කම් දැක්වූ ඔවුන් දීර්ඝ පරාජයන් වැලකින් පසුවයි මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනේ.

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ Mumbai Indians සහ Gujarat Titans අතර තරගය අද (12) පැවැත්වීමට නියමිතයි. ලකුණු සටහනේ ඉහළින් සිටින කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන මෙම උණුසුම් සටන ඔබට ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විඳගත හැකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<