මට “සර්” කියන්න එපා දෝණි

7976
​How indian cricketers get famous and respectable

“මිනිස්සු මට මගේ නමින් කතා කළ යුතුයි. මම කැමති නැහැ “Sir” කියලා කතා කරනවාට. යමෙකුට මට වෙනත් විදියකට අමතන්න අවශ්‍යයි නම් Bapu (බාපු) කියලා කතා කරන්න පුළුවන්. මේ සර්-වර් කෑලි වලට මම කැමති නැහැ.”

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja එහෙම කිව්වත්, අද වෙද්දී Jadejaගේ නම ඉස්සරහට “Sir” කැල්ලක් දාන එක ක්‍රිකට් රසිකයින්ගේ පුරුද්දක් වෙලා.

අද Jadejaට Sir කියන්නේ ආදරෙන් වුනත්, මිනිස්සු Jadejaට Sir කියන්න පටන් ගත්තේ නම් ඒ තරම් ආදරේකින් නෙවෙයි.

2010 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී Jadeja තරමක් අසාර්ථක වෙනවා. මේ අසාර්ථකත්වය නිසා ම ක්‍රිකට් රසිකයින් විසින් Jadejaට උපහාසාත්මක විදිහට ආමන්ත්‍රණය කරන්න “Sir” පට්ටමක් ලබා දෙනවා. ඒත් Jadeja කියන්නේ අසාර්ථක ව ගෙවපු සීමිත කාලයට වඩා කාලයක් සාර්ථක ව ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්.

2010 දී අසාර්ථක වුන Jadeja 2012 IPL තරගාවලියේ දී Chennai Super Kings විසින් මිල දී ගන්නේ එවර තරගාවලියේ ඉහළ ම මිලක් හිමි වුන ක්‍රීඩකයා විදිහට. එහෙම චෙන්නායි වෙත ආපු Jadejaගේ නම ඉස්සරහින් “Sir” පට්ටම සදහටම ලියැවිලා තියන තැනට පත් කරන්නේ චෙන්නායි නායක MS Dhoni විසින්.

2013 IPL තරගාවලියේ දී Royal Challengers Bangalore සමඟ Chennai Super Kings ක්‍රීඩා කළ තරගයක දී RP Singh විසින් යොමු කළ තරගයේ අවසන් පන්දුවේ දී, චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේ දී RP විසින් යොමු කළ අවසන් පන්දුවට Jadeja විසින් එල්ල කරන පහර උඩ පන්දුවක් විදිහට රැක ගන්න Ravi Rampaul විසින් සමත් වෙනවා. RCB ක්‍රීඩකයින් ජය සමරන්න පටන් ගන්නවා. නමුත්, මොහොතකින් ඒ පන්දුව නිපන්දුවක් බවට නම් කෙරෙනවා. ඒ සමඟ ම තරගයේ තීරණය අංශක 180කින් හැරෙමින් චෙන්නායි වෙත ජය හිමි වෙනවා.

මේ තරගයෙන් පසුව චෙන්නායි නායක MS Dhoni විසින් මේ විදිහේ Twitter සටහනක් තබනවා.

“ඔබ එක් පන්දුවකින් ලකුණු 2ක් ලබා ගන්න Sir Jadejaට බාර දුන්නොත් ඔහු පන්දුවක් ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණය කරා ගෙන යාවී.”

මෙතැනින් පසුවත් Jadejaගේ නම ඉදිරියෙන් Sir පට්ටම එක්ක තවත් හාස්‍ය මුසු Twitter සටහන් කිහිපයක් ම Dhoni විසින් තබනවා.

“කවදා හරි Rajini Sir (Rajinikanth) විසින් Sir Jadejaගේ පන්දුවලට මුහුණ දුන්නොත් එය Clash of The Titans ලෙස හඳුන්වාවී.”

17.04.13 දින රාත්‍රි 7.30 සිට රාත්‍රි 8.30 වන තෙක් දිල්ලි ගුවන් තොටුපලට ගුවන් යානා ගොඩ බාන්නේ නැහැ. මොකද ඒ වෙලාවට ඒ අසල තැනක Sir Jadeja බැඩ්මින්ටන් ක්‍රීඩා කරනවා.

කොහොමින් කොහොම හරි Jadejaගේ කැමැත්ත ඇතුව හෝ නැතුව Sir කෑල්ලක් නම ඉස්සරහින් ස්ථාවර කරන්න Dhoni සමත් වුනා.

ඉන්දියාවේ මිනිස්සු තමන් ආදරය කරන ප්‍රසිද්ධ ක්‍රීඩකයින්ට සෑහෙන්න ගෞරව කරනවා. සමහර විට කෙනෙක් වෙනුවෙන් ඇති වෙන අසීමිත ගෞරවය නිසා ම සමහර තැන්වල දී අනිත් අයට නොසෑහෙන්න අගෞරව කරන්න ඔවුන් උත්සාහ දරන බවත් දකින්න ලැබෙනවා.

කොහොම වෙතත් ඉන්දියානුවන් විසින් තමන්ගේ වීරයින්ගේ නම් ඉදිරියෙන් ගෞරවාන්විත යෙදුම් සඳහන් කරන්නත් පෙළඹෙන්නෙත් ඒ ආදරය නිසාමයි. මේ දේ විශේෂයෙන් ම ඉන්දීය සිනමා කේෂ්ත්‍රයේ දී ඔබට දකින්න ලැබෙන කාරණයක්. අපි මෙතන දී කතා කරන්නේ අන්වර්ථ නාම ගැන නෙවෙයි. ලිපිය ආරම්භ කළ Sir Jadejaගේ කතාවේ “Sir” වැනි ගෞරවාන්විත යෙදුම් පිළිබඳ ව.

ඉන්දියානු සිනමාව ඇතුළේ අපිට මුණ ගැහෙන පතාක යෝදයින් වෙන Rajinikanthව Thalaiva විදිහටත්, Joshep Vijayව Thalapathy විදිහටත්, Ajith Kumarව Thala විදිහටත් හඳුන්වනවා වගේ ම, තෙලිඟු සිනමාවේ දී ඔබට මුණගැසෙන Allu Arjunව Stylish Star ලෙසත්, Mahesh Babuව Super Star ලෙසත් හඳුන්වනවා.

මෙවැනි තවත් උදාහරණ සෑහෙන්න සංඛ්‍යාවක් එකින් එක විස්තර කරන්න පුළුවන්. ඉන්දියාවේ දී කිසිම සැකයක් නැතුව සිනමාව හා සම තැන් ගන්න ක්‍රිකට් වල දීත් මේ විදිහේ යෙදුම් අපිට මුණගැහෙනවා.

චෙන්නායිහි නායකයා!

Jadejaගේ නමට ඉස්සරහින් Sir පට්ටම දාන්න මුල් වුන Dhoniගේ නම ඉස්සරහින් තියෙන පට්ටම තමයි Thala (තල) කියන්නේ.

“එය ඔවුන් (චෙන්නායි රසිකයින්) විසින් මට ලබා දුන්න විශාල අන්වර්ථ නාමයක්. ඒක ගොඩක් විශේෂයි. මම දැන ගෙන හිටියේ නැහැ එය පළමු CSK තේමා ගීතයේ කොටසක් වුන බව. මුලු තමිල්නාඩුව ම මාව පිළිගන්නේ ඒ විදිහට. ඔවුන් මගේ නම කියන්නේ නැහැ, ඔවුන් මාව අමතන්නේ “තල” කියලා. ඒක ලස්සන දෙයක්, ඔවුන් මට විතරක් නෙවෙයි මුළු කණ්ඩායමට ම හැම වෙලාවක ම සහය පළ කරනවා.”

දමිළ භාෂාවෙන් නායකයා කියන තේරුම සහිත Thala එහෙම නැත්නම් Thalai කියන යෙදුම ගැන 2019 වසරේ දී Dhoni විසින් සඳහන් කරන්නේ ඒ විදිහට.

Dhoniට Thala කියද්දී, කාලයක් තිස්සේ ම IPL තරගාවලියේ චෙන්නායි වෙනුවෙන් Dhoniගේ දකුණු අත වගේ හිටපු Suresh Rainaව රසිකයින් හඳුන්වන්නේ Chinna Thala (චින්න තල) විදිහට. ඒ කියන්නේ Dhoniගෙන් පසුව චෙන්නායි රසිකයින්ට ඉන්න නායකයා, එහෙම නැත්නම් පොඩි නායකයා විදිහට තමයි Raina පිළිබඳ ව චෙන්නායි රසිකයින් විසින් විශ්වාස කරන්නේ.

වත්මන් රජු

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ රජු ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න සිදු වෙන කරුණක්. වර්තමානය වෙද්දී Kohli විසින් තරමක් අසීරු කාලයක් ගෙවා ගෙන ගියත්, ඔහු ක්‍රිකට් වලට ඉතිරි කල අතීත මතක ප්‍රමාණය බොහෝමයි. ඒ නිසා ම වෙන්න ඇති ඔහුගේ රසිකයින් ඔහුට “රජු” (King Kohli) ලෙස ආමන්ත්‍රණය කරන්නේ.

“ඒක ලස්සනයි, මම දන්නවා ඇයි ඔවුන් එහෙම කියන්නේ කියලා. නමුත් මම ඒකට ඒ තරම් ම කැමති නැහැ. මම කැමතියි Virat කියන මගේ නමින් විතරක් ඔවුන් මට කතා කරනවා නම්.”

තමන්ට ලැබුණු නම ගැන Kohli විසින් දරන්නේ ඒ විදිහේ මතයක්.

රජු Kohli වුනාට උතුමාණන් වෙන කෙනෙක්!

Shardul Takur කියන්නේ වැල්ලෙත් බඹරේ කරකවන්න තරම් වාසනාවක් තියෙන ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. විශේෂයෙන් ම Takurට ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නේ වැඩිමනත් ම ටෙස්ට් ක්‍රිකට් තරගවල දී.

ඒ වගේ ම ඒ ටෙස්ට් තරගත් SENA රටවල් (දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව) වගේ වේගපන්දු යවන්නන්ට හිතකර තණතීරු වල පැවැත්වෙනවා නම් තමයි Takurට ඉන්දියාව නියෝජනය කරන්න අවස්ථාවක් හිමි වෙන්නේ.

ඒ විදිහට හාවා විය සිදුරෙන් අහස බලනවා වගේ ලැබුණු අවස්ථාවල දී Takur විසින් පෙන්වන්න සමත් වුන දක්ෂතා (විශේෂයෙන් ම එංගලන්තයේ දී සහ ඕස්ට්‍රේලියාවේ දී ඔහු විසින් පෙන්වපු දක්ෂතා නිසා) ඔහුගේ නම ඉදිරියෙන් Lord කියන යෙදුම පාවිච්චි කෙරෙනවා.

“මට ඕන නමක් එකයි (සිනාසෙමින්). රංජි කුසලානය ක්‍රීඩා කළ කාලයේ දී ඔවුන් මාව Bull කියලා ඇමතුවා. කණ්ඩායම් සාමාජිකයින් විසින් ලබා දෙන ඕන නමකට මම කැමතියි. එංගලන්තයට එරෙහිව මගේ දස්කම් වලින් පසුව Lord සහ Beefy කියන නම් දෙක ටිකක් ප්‍රසිද්ධ වුනා. ඒකෙන් කියන්නේ කණ්ඩායමේ සගයෝ මට කොච්චර ආදරේ කරනවා ද කියලා. ඒ නම් වලින් කතා කරනවා මගේ කණට ඇහෙද්දී මට සතුටුයි.”

Takur නම් තමන්ගේ ව ආමන්ත්‍රණය කරන විදිහ ගැන සෑහෙන්න සතුටුයි. නමුත් සමහර වෙලාවට Takurගේ දක්ෂතා අගයන්න වගේ ම ඔහු අසාර්ථක වුන දවසට ඔහුව උපහාසයට නංවන්න සමහරු විසින් මේ Lord Takur පට්ටම පහසුවෙන් ම පාවිච්චියට ගන්නවා.

ඒ වගේ ම මේ සටහනේ නිමාව වෙනුවෙන් තවත් විශේෂ නමක් ගැන සඳහන් කළ යුතු බව හිතුණා.

කාලයකට කලින් ඉන්දියාවට ක්‍රීඩා කළ අග්‍රගණ්‍ය ටෙස්ට් පිතිකරුවෙක් තමයි Vangipurapu Venkata Sai Laxman එහෙමත් නැත්නම් VVS Laxman කියන්නේ. VVSගේ විශිෂ්ට දක්ෂතා නිසා ම ඉන්දියානු ක්‍රිකට් රසිකයින් ඔහුව හඳුන්වපු තවත් විශේෂ විදිහක් තිබුණා.

ඒ තමයි VVS කියන මුල් අකුරු තුනේ තේරුම විදිහට Very Very Special කියලා පාවිච්චි කිරීම.

එතකොට ඔහුව හැඳින්වෙන්නේ Very Very Special Laxman කියලා.

VVS Laxman ඉන්දියාවට මොන තරම් විශේෂ ක්‍රීඩකයෙක් ද කියලා කියන්න ඒ නම විතරකුත් ඇති!

මේ තියෙන්නේ ක්‍රීඩක අන්වර්ථ නාම නෙවෙයි. ඒ වගේ දෙයක් ගැන ලියැවෙනවා නම් මීටත් වඩා ක්‍රීඩක නාම, රස බර හේතු ගණනාවක් ගැන ලියන්න හැකියාව තියෙනවා. නමුත් මේ මාතෘකාව තරමක් වෙනස් තැනකට ගෙනියන්න තමයි මේ උත්සාහය දරන්නේ. ඒ වගේ ම බොහෝ වෙලාවට මේ විදිහේ නමට පෙර යෙදෙන පට්ටම් පෙර කිව්වත් වගේ ම හොඳට නරකට දෙකට ම හරි පහසුවෙන් පාවිච්චියට ගැනෙන විදිහේ ඒවා!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<