පියවරෙන් පියවර බොලිවුඩය ජය ගන්නා නෝරා ෆටේහි

Avatar Kavinu Weerakkody | May 10, 2023 102 Views 0 Likes 0 Ratings

102 Views 0 Ratings Rate it

ස්වෝත්සාහය සහ කැපවීම නිසාම බොලිවුඩය ජය ගන්නට හැකි වුනු දක්ෂයෙකු තමයි Remo D’Souza කියන්නේ. කිසිදු පිටස්තර දැන හැඳුනුම්කමක් නොමැතිව, ඔහු තුළ තිබුනු නර්තන දක්ෂතාවය මතින් පමණක්ම බොලිවුඩ් සිනමාවේ නම රැන්ඳූ රෙමෝ ඩී’සූසා අද වනවිට ඉන්දියාවේ අංක එකේ choreographer ශිල්පියෙක්; නිෂ්පාදකවරයෙක්; මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ද වනවා.
එමෙන්ම වර්තමාන ඉන්දියාවේ වැඩිම ඉල්ලුමක් සහිත රියැලිටි තරඟ විනිසුරුවරයා ලෙස හැඳින්වෙන්නේ ද ඔහුයි.

වසර විසිපහක කාලයක් පුරාවට සියයකටත් අධික චිත්‍රපට සංඛ්‍යාවකට නර්තන නිර්මාණ ශිල්පියෙකු ලෙස එක්ව තිබෙන Remo D’Souza, සිනමා අධ්‍යක්ෂණයකට පිවිසුනේ 2007 වසරේදී යි. ඒ Lal Pahare’r Katha නැමැති බෙංගාල චිත්‍රපටය හරහායි. එතැන් සිට සිනමාපට 06ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අතර ඒ සියල්ලම පාහේ නර්තනය සම්බන්ධ නිර්මාණ වීමත් විශේෂත්වයක්!

රෙමෝ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරින් Any Body Can Dance හෙවත් ABCD සිනමාපට මාලාව ලංකාවේ ප්‍රේක්ෂකයින් අතරේත් විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. මේ වනවිට එහි චිත්‍රපට තුනක් නිකුත් වී තිබෙන අතර සිව්වන නිර්මාණයේ නිෂ්පාදන කටයුතුත් ඇරඹී අවසානයි.
රෙමෝ අවසාන වතාවට අධ්‍යක්ෂණය කළ Street Dancer 3D ඉන්දීය කෝටි 120කට ආසන්න ආදායමක් සහ සල්මන් ඛාන් ප්‍රධාන චරිතය රඟපෑ Race 03 ඉන්දීය කෝටි 310කට ආසන්න ආදායමක් වාර්තා කළේ එම වසරවල වැඩිම ආදායමක් ලැබූ හින්දි සිනමාපට ලැයිස්තුවටත් එක් වෙමිනුයි.

2020 වසරේ Street Dancer 3Dට පසුව තවත් නවතම හින්දි සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීම සඳහා Remo D’Souza යළිත් සූදානම් වනවා. බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඔහුගේ පෙර නිර්මාණ මෙන්ම මෙයත් නර්තනය හා සම්බන්ධ චිත්‍රපටයක්. චිත්‍රපටයේ රූපගත කිරීම් දැනට සති කිහිපයකට පෙර ආරම්භ කොට තිබෙන අතර මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ප්‍රධාන චරිතයට එක්ව තිබෙන්නේ රෙමෝගේ පෙර චිත්‍රපට කිසිවකට සම්බන්ධ නොවූ රංගන ශිල්පියෙකු වීමයි.

නර්තනය සිය ජීවිතයම කරගත් දියණියක් සහ ඇගේ සිහිනය වෙනුවෙන් කැපවන මධ්‍යම පාන්තික පියෙකු වටා මෙම සිනමාපටයේ කතාව දිවෙන බවටයි සැලවෙන්නේ. පසුගිය කාලයේදී එකිනෙකට වෙනස් චරිතාංග භූමිකා රැසකින් ප්‍රේක්ෂකයා හමුවට පැමිනි Abhishek Bachchan විසින් එම පියාගේ චරිතය රඟ දක්වනු ඇති බවට වැඩිදුරටත් පැවසෙනවා. ආර්ථික තත්වය සහ වෙනත් බාධා නිසා දියණියගේ නර්තන සිහිනය බොඳවන්නට ගියත්, ඒ සියලුම බාධක මඟ හරවමින් ඇගේ අරමුණ කරා යෑමට සහාය දෙන පියාගේ කතාන්දරයයි මෙම සිනමාපටයට පාදක වී තිබෙන්නේ.

මෙම නිර්මාණයට ස්ථිර නමක් තවමත් යෝජනා වී නැතත්, දැනට හැදින්වෙන්නේ Dancing Dad යනුවෙනුයි. අභිෂේක බච්චන්ගේ දර්ශන සැලකිය යුතු ගණනක් දැනටමත් රූපගත කොට අවසන් අතර සමස්ත නිර්මාණයෙන් 20%ක පමණ ප්‍රමාණයක නිෂ්පාදන කටයුතු නිමාවී තිබෙනවා.
සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතයට ගැළපෙන නිළියක සඳහා බොලිවුඩයේ ජනප්‍රිය මුහුණුවලින් පිටස්තර නිළියක යොදා ගැනීමට තීරණය කර තිබෙන බවත්, ඒ සඳහා සති ගණනක් පුරාවට තිර පරීක්ෂණ පැවැත්වෙන බවත් විවිධ ගොසිප් අඩවි පසුගිය කාලය පුරාවටම වාර්තා කළා.

නමුත් සියල්ල අවසානයේදී එම භූමිකාව නිරූපණය කිරීමට Nora Fatehi ගිවිසුම්ගත වූ බව දැන් සනාථ වී තිබෙනවා. ඒ ඇය සිය සමාජ මාධ්‍ය හරහා නිකුත් කළ ඡායාරූපයක් සමඟයි. මින් පෙර Remo D’Souzaගේ Street Dancer 3D හින්දි සිනමාපටයේ උප – ප්‍රධාන චරිතයකටත් ඇය රංගනයෙන් එක්වුනා.

හින්දි, මලයාලම්, තෙළිඟු, දෙමළ වැනි ක්ෂේත්‍ර ගණනාවක සිනමාපට 20කට ආසන්න ප්‍රමාණයක Item Songs සඳහා නර්තනයෙන් සම්බන්ධ වූ ඇයත් රෙමෝ ඩි’සූසා මෙන්ම සිය දක්ෂතාවය මත බොලිවුඩයේ දොර විවර කරගත් අයෙක්. ඉන්පසුව Bharat, Batla House, Street Dancer 3D, Bhuj: Pride of India වැනි ජනප්‍රිය ශානරයේ හින්දි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වීමට ඇයට හැකිවුනා. මේ වනවිට සිනමාපටයෙ හි නෝරාගේ දර්ශන කිහිපයක් ඉන්දියාවේ ඌටි ප්‍රදේශය මුල් කරගෙන රූපගත වනවා.

පැවසෙන අන්දමට, මෙය මුලදී ඇරඹී තිබෙන්නේ සිනමාශාලා සඳහා මුදාහැරෙන චිත්‍රපටයක් ලෙසට නොවෙයි. නමුත් දැන් නිෂ්පාදක කණ්ඩායමෙ හි එම අදහස වෙනස් වී තිබෙන අතර Direct OTT ක්‍රමයට අන්තර්ජාලයට නිකුත් කරනු වෙනුවට ලෝ පුරා සිනමාහල් වලට චිත්‍රපටය මුදා හැරීමටයි ඔවුන් සැලසුම් කරමින් යන්නේ.

“Nora plays a very important role in the film, and both Remo and Nora are excited to collaborate with each other once again. She will feature in a never seen before avatar and is giving her all to the part. They are presently shooting in Ooty. A large OTT platform is backing the project,”

Dancing Dad සිනමාපටයට සම්බන්ධ මූලාශ්‍රයකින් ඔවුන්ගේ නිර්මාණය ගැන පැවසූයේ එවන් අදහසකුයි…

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට, Abhishek Bachchan රඟන පියාගේ භූමිකාවට මුලින්ම තෝරාගෙන තිබෙන්නේ ඔහුව නොවෙයි. The Family Man, Gangs of Wasseypur, Sonchiriya, Shool ආදියෙන් රසිකයින් හමුවට පැමිනි Manoj Bajpayeeව එම චරිතයට මුලදී තෝරාගෙන සිටියත් දින ගැටලුවක් නිසා එම අවස්ථාවට ඔහුට මඟහැරී තිබෙනවා. පියාගේ චරිතයට අභිෂේක බච්චන් එක්වන්නේ ඉන්පසුවයි.
ඔහුට අමතරව බොලිවුඩයේ නැඟී ගෙන එන රංගන ශිල්පිනියක වන Avneet Kaur සහ Ishaan Khatter ද මෙයින් දැකගත හැකියි.

Share

102 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.