සෝලෝ ටවුන් – Solo Town – මෙරට සිනමාවේ පළමු බෝයි බෑන්ඩ් සිනමාපටය

Avatar Kavinu Weerakkody | May 8, 2023 652 Views 6 Likes 2.5 On 8 Ratings

652 Views 2.5 On 8 Ratings Rate it

සිංහල සිනමාවට එක්වීමට නියමිත, වෙනස්ම ශානරයක චිත්‍රපටයක් වන “සෝලෝ ටවුන් – Solo Town” හි මුහුරත් උළෙල සහ එහි නලු නිළියන් හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා පැවැත්වුනේ බොල්ගොඩ Wave by Singhe පරිශ්‍රයේදී යි.
කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නලු නිළියන් සහ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු එම උත්සවයේදී “සෝලෝ ටවුන් – Solo Town” චිත්‍රපටය ගැන නවතම තොරතුරු රාශියක් රසිකයින්ට අණාවරණය කළා.

“සෝලෝ ටවුන් – Solo Town” සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ චතුරංගන ද සිල්වා – සහන් වික්‍රමාරච්චි දෙදෙනාගේ සුසංයෝගයෙනුයි. මෙය ඔවුන් දෙදෙනාගේම ප්‍රථම සහ කුළුදුල් දිගු වෘතාන්ත සිනමාපටය වීම ද විශේෂත්වයක්. දශක දෙකකට ආසන්න කාලයක සිට සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන චතුරංගන හා ගීත රූප රචනා අධ්‍යක්ෂකවරයෙක් – වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක් ලෙස කලා ක්ෂේශ්ත්‍රයේ කටයුතු කරන සහන් වික්‍රමාරච්චි දෙපල සිනමා ක්ෂේත්රයට පිවිසෙන පළමු අවස්ථාව සනිටුහන් වන්නේ මෙම සෝලෝ ටවුන් – Solo Town චිත්‍රපටය හරහායි.

යහලුවන් පස් දෙනෙකුගෙන් සමන්විත ලංකාවේ ප්‍රසිද්ධ boy band (බෝයි බෑන්ඩ්) කණ්ඩායමක් වටා ගෙතෙන මෙය, සංගීතමය (Musical) ශානරයට අයත් චිත්‍රපටයක් ද වනවා. මීට පෙර සිංහල සිනමාව තුළ මෙවැනි බෝයි බෑන්ඩ් චිත්‍රපට නිර්මාණය වී නොමැති නිසා මෙය මෙරට සිනමා රසිකයින්ට දැකගත හැකි නැවුම්ම අත්දැකීමක් වනු ඇති..!!

“සෝලෝ ටවුන් – Solo Town” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ මෙරට ටෙලි තිරයේ ප්‍රසිද්ධ නලුවෙකු වන රවීන් කනිෂ්කයි. බොහෝ දුරට ඔහු නිරූපණය කරන්නේ boy band (බෝයි බෑන්ඩ්) කණ්ඩායමේ නායකයාගේ චරිතය විය හැකියි. රංගන ශිල්පියෙකුට අමතරව ගායකයෙක් ද වන රවීන් කනිෂ්ක මේ වනවිටත් ගීත කිහිපයක්ම එළි දක්වා තිබෙනවා.

සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ ශනායා වැන්හොෆ් විසිනුයි. එමෙන්ම බිමල් ජයකොඩි, මිශෙල් දිල්හාරා වැනි වර්තමානයේ ජනප්‍රිය චරිතාංග නලු නිළියන් කිහිප දෙනෙකුත් මෙහි රංගනයෙන් එක්වනවා. සෝලෝ ටවුන් හි සෙසු චරිතවලට එක්වන්නේ සංජන දිසානායක – යුළාන් Drew – චමීෂා දිසානායක – හෙෂාන් ප්‍රනාන්දු සමඟින් නොනිම් හාශාන්තයි.

මුහුරත් උළෙලට සමගාමීව “සුරලාලිනියේ” නමින් චිත්‍රපට තේමා ගීතයකුත් දැන් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි.

එළඹෙන මැයි 08 වනදා සිට සෝලෝ ටවුන් හි රූපගත කිරීම් ඇරඹීමටයි නිෂ්පාදක කණ්ඩායම සැලසුම් කොට තිබෙන්නේ.

සිනමාපටයේ තිර රචනය සිදු කොට තිබෙන්නේ අයෙෂා ජයරත්න සහ චතුරංගන ද සිල්වා එකතුවෙනුයි. සහන් වික්‍රමආරච්චි සහ පුෂ්පිත නිර්මාල් සුසංයෝගයෙන් කැමරාකරණය සිදු කිරීමට නියමිතයි. චිත්‍රපටයේ සංගීත නිර්මාණයට එක් වන්නේත් චතුරංගන ද සිල්වා විසිනුයි. හර්ෂ මංජුල චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියායි. කලා අධ්‍යක්ෂණය මධුරංග මාරසිංහ විසිනි. යශෝද දණුපම සෝලෝ ටවුන් – Solo Town හි වර්ණ සංයෝජනයෙන් දායක වනවා.
නිෂ්පාදන කළමණාකරු ලෙස සම්බන්දව ඇත්තේ කවීන්ද්‍ර ගංගීත්. සොඳුරු ලොකුපෝතාගම විසින් චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනවා. සෝලෝ ටවුන් Stage Adventures Pvt. Ltd හි නිෂ්පාදනයකි.

මෙය සංගීතමය ශානරයට අයත් වන නිර්මාණයක් නිසා චිත්‍රපටය පුරාවට මියුරු ගීත කිහිපයක්ම දැකගත හැකියි. සෝලෝ ටවුන් – Solo Town එකිනෙකට වෙනස් ගීත 08කින් සමන්විත බවයි නිෂ්පාදක කණ්ඩායමෙන් වාර්තා වන්නේ.
ගිහාන් චාමික, සම්පත් ප්‍රනාන්දුපුල්ලේ, ෂෙහාන් ගලහිටියාව, රේරු වැනි ප්‍රවීණයින් පිරිසක් මෙම ගීත රචනා කිරීමට සම්බන්ධ වී තිබෙනවා. චිත්‍රපටයට පාදක වී සිටින Solo Town සංගීත කණ්ඩායම විසින්ම ගීත ගායනය සඳහාත් මූලික වශයෙන් එක්ව තිබෙන අතර
මිහිඳු ආරියරත්න
අශාන්ති ද සිල්වා
සුපුන් පෙරේරා
ෆැලන් ඇන්ඩ්‍රියා වැනි මෙරට සංගීත ක්ෂේත්‍රයේ තවත් ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සෙසු ගීත ගායනයට සම්බන්ධයි.

සෝලෝ ටවුන් – Solo Town චිත්‍රපටයේ මුහුරත් උළෙලේ සුවිශේෂී අවස්ථා පහත සබැඳිය ඔස්සේ නරඹන්න.

සුරලාලිනියේ Lyrics:

සරාග හිනාවෙ
නුරාග වෙලාවෙ
පුරාලු මිදි මදිරා
මධුමල් කිනිත්තේ
පෙම් හිත කෙනිත්තු
ඇදුරු තුමියයි ඔයා
අනුරා කතාව
ආදර කලාව
මට උගන්වන්න බැරිදෝ…

සුර ලාලිනියේ රස කාමිනියේ
පුසුඹයි නුඹ මාගේ කුසුමේ
මල් දාමිණියේ මන හාරිනියේ
කදිමයි උඹ හරි පුදුමයි
සුරලාලිනියේ…

Here we go again
රෝස පෙති වගේ දෙතොල් උමතු කලා මාව
එක බැල්මෙන් උනත් රැවටෙයි ඒ නෙතු දුටුවාහම
මාව අල්ලේ උනත් නටවයි නේ ඇය හැමදාම
ගහේ දල්ලේ උනත් ගෙඩි එන්නේ මල් හැදුනාහම

මේ ආදරේ විනාසකාරී රාගිනි පහස
මං ආස්සරේ කරපූ ගමන් දැනුනා ඒ රහස
නුබ ගාවනම් හිලෑ නෑ හිත නෙමෙයි අපහාස
ඉතින් කාමිනී රාගය අස්සේ පාන මදහස

සැන්දෑ ලතාව

පොප් ගීතිකාව
පාවී ඔහෙ යන්ද
රෝන්දේ ගිහින්ම
මහන්සි වුණාම
රෑ මැද ගුලි වෙන්න
හාවා වගේම
ඉන්නම් හදේම
බෑ දැන් අතාරින්න…

සුර ලාලිනියේ රස කාමිනියේ
පුසුඹයි නුඹ මාගේ කුසුමේ
මල් දාමිණියේ මන හාරිනියේ
කදිමයි උබ හරි පුදුමයි
සුරලාලිනියේ…

Share

652 Views 2.5 On 8 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.