Main Logo

Sunday 7 May 2023

අනේ ඉංග්‍රීසින්නේ තොපටත් රජෙක් ඉන්නේ

 අනේ ඉංග්‍රීසින්නේ තොපටත් රජෙක් ඉන්නේ

 

චාල්ස්ට ඔටුනු පැලැන්දුවා. ඔහු දැන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධානියා නොවෙයි. ඔහු දිවුරුම් දුන්නේ සාම්ප්‍රදායික විශ්වාසයේ (දෙවියන් වහන්සේ) ආරක්‍ෂකයා ලෙස යන්න පැහැදිලි නැහැ. ගැන යම් කඹ ඇදිල්ලක් තිබුණා. කෙසේ වෙතත් උත්සවයට රනිල් සහභාගි වුණා. ඒක ලොකු දෙයක්. එලිසබෙත් මිය ගිහින්. ඇය හිටිය නම් අහනවා කෝ මේ සිරිසේන කියා. මතක අර අත්වැසුම් කතාව.

 

මා පහුගිය දින දෙක තුනේ ලියූ ලිපි කෙටි සටහන්වලට විවිධ ගිණුම්වල දක්වා තිබූ ප්‍රතිචාරවලින් මා මොන තරම් මෝඩයකු කියා දැන ගත්තා. එක් අයකු ලියා තිබුණා මා නොදන්නවාට චාල්ස්ට රජු වීමට පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල අනුමැතිය අවශ්‍ය කියා. අනුමැතිය ලැබෙන්න ඇති. නැත්තන් රජ වේවි යැ.  කියන්නේ අපත් අනුමැතිය දීල. කාට ආඩම්බරේ? මගේ මෝඩ කමට මා කල්පනා කරන්නේ බැරි වෙලාවත් රනිල් හා පාර්ලිමේන්තුව අනුමැතිය නුදුන්නා නම් මොකක් වෙන්න තිබුණ කියා. ලන්ඩනයේ ජීවත් වෙන ඇතැමුන්ගේ දැන උගත්කම අපමණයි. ඉංගිරිසින් නැවු කිහිපයකින් ගොස් හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩ නැගුවේ කෙසේ කියා පැහැදිලියි.

 

ඊයේ උත්සවයේ රාජ්‍යය හා ආගම අතර සම්බන්ධය සම්පූර්ණයෙන් කඩා දමා ඇති බව පැහැදිලි වුණා. බිරිතානිය, නැහැ වැරදුණා, මහා බිරිතානිය දියුණු රටක් නොවැ. අප වැනි නොදියුණු රටවල තමයි රාජ්‍යය හා ආගම එකට බැඳගෙන තියෙන්නෙ. අපට දියුණු වෙන්න බැරිත් ඒකයි කියල අග්‍රගණ්‍ය පඬිවරුන් අපට කියා දෙනවා. නරක අපත් බිරිතානිය වගේ රාජ්‍යය හා ආගම විසන්ධි කෙරුව නම්. එතකොට කාටවත් මල්වත්තට අස්ගිරියට දුවන්න වෙන්නෙ නැහැ. ඕන නම් වෙස්ට්මිනිස්ටර් පල්ලියට ගිහින් එන්න පුළුවන්. මගේ මෝඩකම. ඒකට කියන්නෙ ඇබේ කියල මිසක් පල්ලිය කියල නො වෙයි. අපේ දැන උගත් ජනමාධ්‍යවේදීන් කියන්නෙ ඇබේ දේවස්ථානය කියල. අපි එහෙමවත් කියමු.

 

අප කියනවා අහවල් අහවල් විද්‍යාඥයන්ට බුදුදහමේ බලපෑම තිබුණා කියා. මගේ මෝඩකමට මා ඇහුවා ලංකාවෙන් බුදුදහමේ බලපෑමට විද්‍යාඥයකු බිහි නොවන්නේ ඇයි කියා. ඇතැමුන් මට කියා දුන්නා අද ඔය විද්‍යාවෙන් කියන දේ බුදුදහමේ තියෙනවා කියා. ලබන වසර දහයේ දී විද්‍යාව කියාවි කියා හිතන දෙයක් බුදුදහමේ තියෙනව නම් කාට හරි මොනවා කියා කියන්න පුළුවන් ? එක් අයකු අතර මට බැණ වැදී තිබුණා මා ක්වොන්ටම් බණ කියනවා කියලා. මා දන්න ක්වොන්ටමයක් නැහැ. අපේ විශ්වවිද්‍යාල පුදුම ආයතන. ක්වොන්ටම් භෞතිකය නොදන්නා මා ලවා සිසුන්ට විෂය උගන්න ගත්තා. එසේ උගන්වන අතර මා දැන ගත්තා එහි චතුස්කෝටික කතා තියෙන බව.

 

බුදුහාමුදුරුවන් චතුස්කෝටිකයක් ගැන කියා නැහැ කියනවා. මුල් බුදුසමය මුල සිට අග දක්වා දන්නා අය කියනවා සො අඤ්ඤො කියා සූත්‍ර දේශනාවල නැහැ කියා. වෙන්න පුළුවන්. මා සූත්‍ර කිහිපයකට වඩා කියවල නැහැ. මට කියන්න බැහැ යමක් සූත්‍ර දේශනාවෙ තියෙනවා නැද්ද කියලා. ඒකට සූත්‍ර පිටකය මුළුමනින් කියවල තියෙන්නත් ඕන හොඳ මතයක් තියෙන්නත් ඕන. මා දෙකන් අසමත්. එහෙත් බුදුහාමුදුරුවන් කච්චායනට කිවුවෙ ඇත්තෙත් නැත නැත්තෙත් නැත කියලා. තමයි චතුස්කෝටිකයෙ භාවිතය කියල මා මගේ මෝඩ කමට හිතන් ඉන්නෙ.

 

එක් ඇදුරකු, නැහැ පිටරට නොවෙයි ලංකාවෙ බුද්ධිමත් ඇදුරකු අහල තිබුණා කිසිවකු නැත්නම් වද වෙන්නෙ අහවල් දේකට කියලා. තවත් බුද්ධිමතියක අහල තිබුණ කිසිවකු නැත්නම් මැරුවට කමක් නැද්ද කියලා. කාවද කියා කියල තිබුණෙ නැහැ. ඒව හොඳ කතා. වුණාට ප්‍රශ්නය කිසිවකු නැත්තෙත් නැත කීම නොවැ. මගේ මෝඩකමට මට හිතට එන ඒවා. කච්චායනවත් හිටිය නම් කියල හිතෙනවා.

 

තවත් අයකු කියා තිබුණා සම්මුතිය සත්‍යය කියා එහෙත් පරම සත්‍යය නොවේ කියා. ඔහු මා මෙන් මෝඩයකු නොව බොහෝ ඇසූ පිරූ තැන් ඇති ජාතිකවාදීයකු. මගේ මෝඩකමට මට සත්‍යය කියන්නෙ මොකක් කියල තේරෙන්නෙ නැහැ. පරම සත්‍යය නම් සම්ම ජාතියෙ තේරෙන එකක් නැහැ. මා දන්නෙ ඔය සමහර සමහර කතා වැඩ කරන බව පමණයි. මට කවුරු හරි කියල දෙනව අපේ සංස්කෘතියෙ තියෙන ගෑවී නොගෑවී වගේ කතාවල තේරුම.  ඔය කාගෙ හරි ගිණුමක කියන්න පුළුවන්.

 

තවත් අයකු කියා තිබුණා සිංහල බෞද්ධයන් මා කියන දේට විරුද්ධය කියා. ඔහු නම් දුරු රටක ජීවත් වෙන අයෙක්. මා දන්නවා සිංහල බෞද්ධයන් ඉතා බුද්ධිමත් බව. ඔවුන් මා කියන මෝඩ කතාවලට විරුද්ධ වෙන එක පුදුමයක් නො වෙයි. තිථියක් නැහැ කිවුව එක් අයකු කියා තියෙනවා තිථිය කියන්නෙ ජරාවට යැම කියා. ජරාවට යන්නෙ මොකක් , ජරාවට යන්න කෙතරම් වෙලාවක් යනවා , ක්‍ෂණයක් ක්‍ෂණයක් කියන්නෙ කොපමණ වෙලාවක් වගේ දේ මට තේරෙන්නෙ නැහැ.

 

තවත් අයකු කියා තිබුණා මා සිංහල බෞද්ධ විරෝධියකු කියා. මට ඇමරිකාවෙන් වීසා ලැබුණෙත් සිංහල බෞද්ධ විරෝධි වීමට කියාත් කියා තිබුණා. අපේ අය කෙතරම් බුද්ධිමත් කියල මෝඩ මටත් වැටහෙනවා. ඉතාමත් බුද්ධිමත් තැනැත්තියක් කියා තිබුණා මා බුදුදහම විකෘති කරනවා කියා.

 

අර විද්‍යාඥයන් වීමට  සිංහලයන්ට නොහැකි වීම ගැන එක් අයකු හොඳ කතාවක් කියා තිබුණා. නලින් සිල්වා වැනි ගතානුගතික හිතන අය නිසා විද්‍යාඥයන් බිහි නොවන බවයි ඔහුගේ බුද්ධියට ග්‍රහණය වෙලා තිබුණෙ. මා දැන ගෙන හිටියෙ නැහැ සිංහල බෞද්ධයන් මා මෙන් ගතානුගතික හිතන බව. අනෙක් අතට ගතානුගතික හිතන මගෙන් බුදුදහම විකෘත වෙන්නෙ කොහොම කියලත් ප්‍රශ්නයක් ඇති වෙනවා.

 

මේ සියල්ලන් එක තැනකට ගෙනැල්ල සාකච්ඡාවක් පවත්වන්න පුළුවන් නම් හොඳයි. මට පැත්තකට වෙලා බලා ඉන්න පුළුවන්. කොහොම වෙතත් චාල්ස්ගෙ මෞලි මංගල්‍යය ක්‍රිස්තියානි උත්සවයක් නො වෙයි. බටහිර විද්‍යාවත් ක්‍රිස්තියානි නොවෙයි. කියන්නෙ බටහිර විද්‍යාව ක්‍රිස්තියානි සංස්කෘතියෙ නො වෙයි, ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ නො වෙයි. ඒක නොවැ යුදෙවුවන්ට එක නොබෙල් ත්‍යාගයක්වත් නොලැබෙන්නෙත් සිංහල බෞද්ධයන්ට ලැබෙන නොබෙල් තෑගිවලින් අර ඩොලර් ටික හොයා ගෙන ණය ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නෙත්. රනිල් බව දන්නෙ නැතුව වෙන්න ඇති.