ජපන් යන අපේ හපන්නු

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායමේ ජපාන සංචාරය 2023

3667

ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ නැගීඑන ක්‍රිකට් කණ්ඩායම මේ මස 8 වැනිදා ජපන් දේශය බලා පිටත් වෙන අතර එහි දී ඔවුන් මැයි 10 වැනිදා සිට 15 වැනිදා දක්වා විස්සයි විස්ස තරග 5කට සහභාගී වීමට නියමිතයි.

රුවන් කල්පගේ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසින් සහභාගී වෙන මෙම කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙසින් තරංග ධම්මික මහතා සහ ධම්මික සුදර්ශන මහතා සහභාගී වන අතර කණ්ඩායමේ කළමනාකරු ලෙසින් විනෝදන් ජෝන් මහතා කටයුතු කරනවා.

සංචාරය සඳහා එක් වෙන මෙම කණ්ඩායමට වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද ඇතුළත්.

ඩෙලෝන් පීරිස් (නායක)

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඩෙලෝන් පීරිස් මෙවර නිමා වූ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත් ක්‍රීඩකයායි.

රාගම ක්‍රිකට් සමාජයේ නායකයා ද වූ ඩෙලෝන් නිමා වූ එම තරගාවලියේ දී දකුණත් පිතිකරුවෙක් ලෙසින් තරග 6ක ඉනිම් 6ක දී අර්ධ ශතක 2ක් ද සමඟින් ලකුණු 191ක් සහ වමතින් දඟපන්දු යවමින් කඩුලු 29ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

23 හැවිරිදි වියේ පසුවෙන ඩෙලෝන් මේ දක්වා පළමු පෙළ තරග 3ක ඉනිම් 2ක දී ලකුණු 42ක් ලබා සිටින අතර කඩුලු 3ක් ද ඒ අතර වෙනවා.

සකුන් ලියනගේ

නිමා වූ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියට Ace Capital ක්‍රිකට් සමාජය නියෝජනය කළ සකුන් පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි කර ගනිමින් තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානයෙන් පිදුම් ලබනවා. තරගාවලියේ දී තරග 5ක ඉනිම් 7ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 427ක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.

තරගාවලියේ ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ පන්දු 207කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 159යි.

කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් පන්දුවට පහර දෙන සකුන් මේ දක්වා පළමු පෙළ තරග 9ක ඉනිම් 10ක දී ලකුණු 166ක් ලබා සිටිනවා. විස්සයි විස්ස තරග 9ක ලබා ඇති ලකුණු සංඛ්‍යාව 54ක්.

සකුන් නිමා වූ වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර කඩුලු රකින්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වනවා.

දුනිත් ජයතුංග

බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරන දුනිත් මෙවර නිමා වූ 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී ද්විත්ව ශතකයක් සමඟින් ලකුණු 410ක් ලබා ගැනීමට සමත් වෙනවා. මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසෙන දුනිත් පන්දු 345කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 273ක් ලබා ගත් අතර එය එම තරගාවලියේ වාර්තා වූ එක ම ද්විත්ව ශතකය ද වුනා.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 22 හැවිරිදි දුනිත් ජයතුංග මේ දක්වා පළමු පෙළ තරග 13කට එක් වෙමින් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 511ක් ලබා සිටිනවා.

සහිල් ඩයස්

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සහිල් නිමා වූ 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී තරග 5ක ඉනිම් 7ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 363ක් ලබා ගන්නවා. එම දක්ෂතාවට ඔහුට එම තරගාවලියේ පිතිකරු ලැයිස්තුවේ තෙවැනි අසුන හිමි වෙනවා.

එම තරගාවලියේ දී Tamil Union ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පන්දු 240කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 103, ඔහුගේ හොඳම ඉනිමයි.

කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 20 හැවිරිදි දකුණත් පිතිකරුවෙක් ලෙසින් කටයුතු කරන සහීල්, මේ දක්වා පළමු පෙළ තරග 2කට ක්‍රීඩා කරමින් ලකුණු 34ක් ලබා සිටිනවා.

රන්මිත් ජයසේන

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 23 හැවිරිදි රන්මිත් නිමා වූ වයස අවුරුදු 23න් පහළ තරගාවලියට එක් වෙන්නේ රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරමින්.

වමතින් පිත්ත හසුරුවන ඔහු එම තරගාවලියේ දී තරග 6ක ඉනිම් 7ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 338ක් ලබා ගන්නවා. Tamil Union ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 217කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 139, එම තරගාවලියේ ඔහුගේ හොඳම ඉනිමයි.

පළමු පෙළ පිටියේ දී ද සක්‍රීය රන්මිත් එහි දී තරග 11කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 394ක් ලබා සිටිනවා.

දකුණතින් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරන රන්මිත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

ශෙහාන් ප්‍රනාන්දු

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 22 හැවිරිදි වියේ පසුවෙන ශෙහාන් 23න් පහළ තරගාවලිය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම හා එක්වයි.

වමත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක් වූ ශෙහාන් එහි දී එස්. එස්. සී. කණ්ඩායමට සහ කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව වාර්තා කරන ලද ශතක 2ක් ද සමඟින් තරග 4ක ඉනිම් 6ක දී ලකුණු 334ක් ලබා ගැනීමට සමත් වෙනවා.

යොහාන් ලියනගේ

නිමා වූ 23න් පහළ තරගාවලියේ දී රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන යොහාන් ලියනගේ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 203ක දී හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 127ක් සමඟින් සහ අර්ධ ශතක 2ක් ද සමඟින් තරග 6ක ඉනිම් 7ක දී ලකුණු 327ක් ලබා ගැනීමට සමත් වෙනවා.

22 හැවිරිදි වියේ පසුවෙන යොහාන්, කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඉදිරි පෙළ වමත් පිතිකරුවෙක් වන අතර දකුණතින් පිට දඟපන්දු යවමින් ද දක්ෂතා දක්වනවා.

පළමු පෙළ තරගවල දී පොලිස් කණ්ඩායමට එරෙහිව පන්දු 100ක දී හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 106ක්  ද සමඟින් පළමු පෙළ තරග 5ක ඉනිම් 8ක දී ලකුණු 248ක් සහ කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

හිරන්ත ජයසිංහ

21 හැවිරිදි වියේ පසුවෙන හිරන්ත නිමා වූ 23න් පහළ තරගාවලියේ දී Kandy Customs කණ්ඩායම හා එක් වෙමින් තරග 5ක ඉනිම් 9ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 327ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

මාතර සාන්ත තෝමස් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි හිරන්ත දකුණත් පිතිකරුවෙක් මෙන් ම දකුණතින් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වනවා.

සිතාර හපුහින්න

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 22 හැවිරිදි වමත් පිතිකරු සිතාර නිමා වූ 23න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන්නේ Tamil Union කණ්ඩායමයි.

එහි දී NCC කණ්ඩායමට එරෙහිව පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලබා ගත් ලකුණු 112ක් ද සමඟින් තරග 6ක ඉනිම් 11ක දී ලකුණු 305ක් ලබා ගැනීමට සමත් වෙනවා.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කර ඇති සිතාර මේ දක්වා පළමු පෙළ තරග 5කට සහභාගී වෙමින් ලකුණු 139ක් ලබා සිටිනවා.

ලක්ෂාන් ගමගේ

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 22 හැවිරිදි ලක්ෂාන් වමත් පිතිකරුවෙක් සහ දකුණතින් වේගපන්දු යවන්නෙක් ලෙසින් ක්‍රිකට් පිටියේ සක්‍රීයයි.

මෙවර නිමා වූ 23න් පහළ තරගාවලියේ දී BRC කණ්ඩායම නියෝජනය කළ ලක්ෂාන් පිතිකරුවෙක් ලෙසින් තරග 4ක ඉනිම් 7ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 224ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 10ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මේ දක්වා පළමු පෙළ තරග 6ක ඉනිම් 3ක දී ලකුණු 69ක් සහ කඩුලු 2ක් දවාගෙන සිටින ලක්ෂාන් Galle Gladiators කණ්ඩායමේ ද සංචිත ගත ක්‍රීඩකයෙක්.

තීසාන් විතුසාන්

22 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟපන්දු යවන විතුසාන් මෙවර නිමා වූ වයස අවුරුදු 23න් පහළ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නායි.

මූවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඔහු නිමා වූ තරගාවලියේ දී තරග 5ක ඉනිම් 7ක දී කඩුලු 29ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. එහි දී කඩුලු 4ක් ලබා ගත් අවස්ථා 2ක් සහ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 2ක් වාර්තා කිරීමට ඔහු සමත් වෙනවා.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි විතුසාන් මේ දක්වා  පළමු පෙළ තරග 8ක දී කඩුලු 39ක් ලබා ඇති අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Jaffna Kings කණ්ඩායමේ ද සාමාජිකයෙක් ලෙසින් කටයුතු කරනවා.

ඉමිතියාස් ස්ලාසා

කොළඹ සහිරා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 22 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ස්ලාසා මෙවර වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය හා එක් වෙන්නේ මූවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්.

එහි දී BRC කණ්ඩායමට එරෙහිව පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් ඇතුළුව නොදැවී ලබා ගත් ලකුණු 103ක් ද සමඟින් තරග 5ක ඉනිම් 6ක දී ලකුණු 192ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

දකුණතින් පිට දඟපන්දු යවන ස්ලාස් ලබා ගත් කඩුලු සංඛ්‍යා 23ක්. ඊට කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 2ක් ද ඇතුළත් වෙනවා.

පළමු පෙළ තරගවල ද සක්‍රීක ක්‍රීඩකයෙක් වන ස්ලාසා මෙතෙක් තරග 4ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 91ක් සහ කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

සිතුම් දිසානායක

23 හැවිරිදි වියේ පසුවෙන ලුම්බිණි විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි සිතුම් නිමා වූ 23න් පහළ තරගාවලියේ දී Ace Capital කණ්ඩායම නියෝජනය කරමින් තරග 5ක ඉනිම් 8ක දී පන්දු යවමින් කඩුලු 15ක් දවා ගැනීමට සමත් වූවා.

දකුණතින් වේගපන්දු යවන සිතුම් මේ දක්වා පළමු පෙළ තරග 5කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛයාව 8ක්.

හර්ෂණ වික්‍රමසිංහ

22 හැවිරිදි වියේ පසුවෙන හර්ෂණ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙක්. නිමා වූ 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් දකුණතින් වේගපන්දු යැවූ ඔහු තරග 4ක ඉනිම් 6ක දී කඩුලු 13ක් දවා ගත්තා.

දනාල් හේමානන්ද

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි දනාල් මෙම සංචාරය හා එක් වෙන්නේ කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා ලෙසයි.

19 හැවිරිදි වියේ පසුවෙන දනාල් නිමා වූ 23න් පහළ තරගාවලියේ දී පොලිස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 3ක ඉනිම් 5ක දී කඩුලු 13ක් දවා ගන්නවා.

පළමු පෙළ තරග 10ක ඉනිම් 14ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 329ක් සහ කඩුලු 3ක් ලබා ඇති දනාල් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

තරගාවලියේ කාලසටහන

DATE MATCH VENUE
මැයි 10 පළමු විස්සයි විස්ස තරගය SICG
මැයි 11 දෙවැනි විස්සයි විස්ස තරගය SICG
මැයි 13 තෙවැනි විස්සයි විස්ස තරගය SICG
මැයි 14 සිව්වැනි විස්සයි විස්ස තරගය SICG
මැයි 15 පස්වැනි විස්සයි විස්ස තරගය SICG

SICG = Sano International Cricket Ground

ජපන් සංචාරයට එක්වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායමට ThePapare.com වෙතින් සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<