Main Logo

Monday 1 May 2023

සා දුකින් පෙළෙනවුන් දැන් ඉතින් කට පියවු

 

සා දුකින් පෙළෙනවුන් දැන් ඉතින් කට පියවු

 

අද කම්කරුවන් පෙළපාලි යන දවස. ඒත් ඔය පෙළපාලිවල ඉන්න කම්කරුවන්ගෙ ප්‍රතිශතය කීය කියල හවුරු හරි සමාජ විිද්‍යාඥයෙක් සමීක්‍ෂණයක් කරල විද්වත් පත්‍රිකාවක් මගින් දැනුම් දෙනවා ? පෙළපාලිවල කම්කරු පංතියක් දැක ගන්න නම් ලැබෙන්නෙ නැහැ. ඒකට හේතුව කම්කරු පංතියක් ලෝකෙ කොහෙවත් නැති වීම. එක් දාර්ශනිකයකු නම් කීවලු කම්කරු පංතිය හෙට අනිද්ද දැක ගන්න පුළුවන් කියල. මැයි දින පෙළපාලි මතක් වෙලා කිවුව වියුක්ත කියමනක් දන්නෙ නැහැ. දාර්ශනිකයා වියුක්ත කියල හිතන් ඉන්නෙ වෙන් වීම. දර්ශන අධ්‍යනංශය ප්‍රදර්ශන අධ්‍යංනංශයක් කියල ඒකෙ මහාචාර්යවරයකු කියල තියෙන බව ආරංචියි.

 

අද ලංකාවෙ නිවාඩු. ඒත් මැයි දිනය ආරම්භ වෙන්න මුල් වෙච්ච ඇමරිකාවෙ නිවාඩු දිනයක් නො වෙයි. ඔවුන්ට කම්කරු දිනය කියල වෙන දිනයක් තියෙනවා. අනෙක් හැම දිනයක් ව්‍යාපාරික දිනයක්. මැයි දිනය ලංකාවෙ නිවාඩු දිනයක් කෙරුවෙ පනස්හයේ බණ්ඩාරනායක ආණ්ඩුවෙන්. නිවාඩුව දීපු එක හොඳයි. අපට සන්දර්ශන බලන්න කොළඹ  හරි නුවර හරි යන්න පුළුවන්.   

 

මාක්ස්ගෙ කම්කරු පංතිය තියා විජේවීරගෙ නිර්ධන පංතියවත් පෙළපාලිවල දකින්නෙ හම්බ වෙන්නෙ නැහැ. තියා පරගල කාලෙ එළිබැහැපු නිර්ප්‍රභූ පංතියවත් දකින්න හම්බ වෙන්නෙ නැහැ. වෙනුවට ප්‍රභූ රනිල් සුම් තාක්‍ෂණය ඔස්සේ මැයි රැළියක් අමතන්න යන බව සඳහන් වෙනවා. අනේ සාදු! ඔහු විතරක් නොවෙයි තව තවත් ප්‍රභූන් මැයි රැළි අමතනවා. සජිත්ට මතක් වෙනවා ඇති 1993 මැයි රැළිය. අවුරුදු තිහක් කියන්නෙ පොඩි කාලයක් නො වෙයිරනිල්දාස මාලිමාව අත්හැරලා ද? කොහොමත් සීනු හඬවන එක පමණයි කාරිය. කෝ මේ සිරිසේන කියා එදා කී විමලසිරි ගම්ලත් අද කෝ මේ ජුලි නෝනා කියා අහල පරගලයේ බටහිර සැලැස්ම අවිශ්වාස කරන තැනට කටයුතු කරාවි. එදා ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කය තනිව තරග කිරීම මා විවේචනය කළ විට අමරසේකර මට විරුද්ධ වුණා. කොහොමටත් අද මොන කතා කිවුවත් පරගලයට ශක්තියක් ලැබීමට විමල් ආදීන් ගිය අවුරුද්දෙ ආණ්ඩුවෙන් ඉවත්වීමත් උපකාර වුණා. විමල්ල අස්වුණෙත් ජුලි නෝනගෙ කීමට ?

 

1891 මැයි පළමුවැනි දා උපන් ගුණසිංහ තමයි මෙරට කම්කරු සංවිධාන මුලින් ඇති කෙළෙ. සමසමාජ පක්‍ෂය බිහි වීමට පෙර. අනගාරික ධර්මපාලතුමාගේ ආභාසය ලැබූ ඔහු පටන් ගත්තේ අමද්‍යප ව්‍යාපාරයෙන්. පසුව ඔහු කම්කරුවන් සංවිධානය කළා. ඔහු මෙරට පළමු වෘත්තීය සමිතිය වු ලංකා කම්කරු සංගමය 1922 දි ආරම්භ කළා. 1927 තමයි ඔහුගෙ ප්‍රධානත්වයෙන් මැයි දිනය පළමු වරට පවත්වල තියෙන්නෙ. තව අවුරූදු හතරකින් එහි සියවැනි සංවත්සරය පවත්වන්න පුළුවන් වේවි.

 

ගුණසිංහ වැඩ වර්ජන රාශියක් මෙහෙයවූවා. 1929 ට්‍රෑම් කාර් වැඩ වර්ජනය ඉන් ප්‍රධාන එකක්. එහි දී වැඩ වර්ජනය නිසා ගමන් බිමන් යෑමට අවහිරයක් වූ මගීන් තම මෝටර් රථවලින් ප්‍රවාහනය කරමින් වැඩ වර්ජනය කඩා කප්පල් කිරීමට එකල සිසුන් වූ ජේ ආර් ජයවර්ධන සමහ ඔහුගෙ මිතුරන් කටයුතු කරල තියෙනවා. එහෙත් ජේ ආර් ජයවර්ධන ඊටත් වඩා කල්පනාකාරීව පසුව එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තීය සමිති ආරම්භ කළා. ජාතික සේවක සංගමය යනුවෙන් ප්‍රසිද්ධ වූයේ වෘත්තීය සමිති සම්මේලනයයි. අද සමන් රත්නප්‍රිය නියෝජනය කරන්නේ සම්මේලනයයි.

 

කෙසේ නමුත්  අද වෘත්තීය සමිති ව්‍යාපාරය පුස්සක් පමණයි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් වර්ජනය අකුළා ගත්තා. රනිල් තම මාමා අනුගමනය කරමින් තවත් ඉදිරියට යාවි. ලංකාවේ ජෝසෆ් ස්ටැලින් නොව රුසියාවේ ජෝසෆ් ස්ටැලින් වලෙන් නැගිටල ආවත් වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩ ගන්න බැහැ. ඒත් ඊනියා වෘත්තීය සමිති නායකයන්ට අවුරුදු පතා කථික තරගයක් පැවැත්වීමට මැයි දිනය යොදා ගන්න පුළුවන්.

 

වෘත්තීය සමිති අද දේශපාලන පක්‍ෂවල බැරි නම් දේශපාලන මතවාදවල අතකොළු බවට පත්වෙලා. අවුරුදු තිහකට පෙර ආචාර්ය සමිති සම්ම්ලනයට හැකියාව තිබුණා කිසිම දේශපාලන මතවාදයකට සේවය නොකර සිටීමට. එහෙත් පසුව එය නැති වුණා. මින් පසු ඊනියා වාම දේශපාලන මතවාද දරණ වෘත්තීය සමිතිවලට කරන්න පුළුවන් දෙයක් නැති වේවි. සමිතිවල කොඳු නාරටිය අද වන විට බිඳ දමලා.

 

වමාලට ලංකාවෙ විතරක් නොවෙයි ලෝකෙ කොහෙවත් විප්ලව කරන්න බැහැ. මාක්ස්ගෙ හිතළු වැඩ කරන්නෙ නැහැ. හිතළු වමාලට හීන දකින්න නම් උදවු වේවි. විප්ලවේ කොහොම වෙතත් වමාලට වෘත්තීය සමිතිවලට හැමදාමත් වැඩිම වුණොත් කරන්න පුළුවන් වුණෙ ඔය ඉල්ලීමක් දිනා ගන්න එක පමණයි. රනිල් යටතෙ ඒකත් නැතිවෙන ලකුණු පහළ වෙලා. 

 

අද රනිල් පාර්ලිමේන්තුවේ නිල වශයෙන් තම පක්‍ෂයේ එක මන්ත්‍රීවරයකු පමණක් ඇතිව බලය තහවුරු කර ගනිමින් ඉන්නවා. ඔහු එතැනට ගෙන ආවේ කොහොම කියන එක පහුගිය අවුරුද්දෙත් අප දැන සිටියා. ඔහු අද  බටහිර ආකෘතිය තුළ ලංකාව ඉදිරියට ගෙනි යන්න හදනවා. ඔහුට සඳහා ජාතික මුහුණුවරක් අවශ්‍ය වෙනවා. අර අමරසේකර වර්ගයේ ජාතික චින්තනයක්. අද බටහිර තානාපතිවරු තානාපති නිලධාරීන් පන්සල් යනවා. අනුරාධපුරය මහනුවර ඔවුන් පුද පූජා පවත්වන තැන්. ඔවුනුත් ජාතික චින්තනයේ. ඒත් රනිල්ට බටහිර ආකෘතිය අනුගමනය කරන්නෙ කෙසේ කියා තේරුමක් නැහැ. ඔහු කෘත්‍රීම බුද්ධිය සඳහා රුපියල් දසලක්‍ෂයක් වෙන කරන්න යනවා. එයින් බුද්ධිය ලෙව කන්නවත් බැහැ.

 

රනිල්ට අවශ්‍ය කටයුතු කරන්න තරම් ධනයක් ඇති ව්‍යවසායකයන් නැහැ. රජයටත් ධනයක් නැහැ. අද යම්තම් ආණ්ඩුව ගැටගසා ගෙන යන්නේ ණය නොගෙවා සිටීමෙන්. ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ ණය ගෙවීම කල් දැමීම. රනිල්ට සියල්ලටමත් වඩා මෙරට විශිෂ්ටයන් නැහැ. මෙරට ඊනියා බුද්ධිමතුන් කියන්නේත් සාමාන්‍ය අය. අපට හිතන්න බැහැ. මා නම් විද්‍යාඥයකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. අපට බටහිර විධියට දියුණු වෙන්න ඕන නම් විධියට හිතන්න පුළුවන් අය  ඉන්න ඕන. අපට වෘත්තීය සමිති ක්‍ෂෙත්‍රයේවත් වෙනත් ක්‍ෂෙත්‍රයකවත් විශිෂ්ටයන් නැහැ.