Main Logo

Saturday 29 April 2023

ඉතිහාසය හැදෑරීම

 

ඉතිහාසය හැදෑරීම

 

ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ 178 වැනි සමරු රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ  ඉතිහාසය ගැන තම උනන්දුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා. අප කැමති වුවත් අකමැති වුවත් රාජ්‍ය නායකයන් අතරින් මෙරට ඉතිහාසය හැදෑරීමට යම් උනන්දුවක් තිබුණේ තියෙන්නේ ජේ ආර් ජයවර්ධනට හා රනිල් වික්‍රමසිංහට. රාජ්‍ය නායකයන්ගේ ඉතිහාස දැනුම ගැන කීමට තරම් ඉතිහාසය පිළිබඳ දැනුමක් මට තියෙනවා කියා කාට හරි අහන්න පුළුවන්. මා කතා කරන්නේ උනන්දුව ගැන.

 

මා රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයකු නො වෙයි. ආසියාවේ ඇතැම් රටවල ඉංගිරිසින් රාජකීය ආසියාතික සංගම් පිහිටෙවුවා. සංගම්වලින් යම් ශාස්ත්‍රීය කටයුතු කෙරී තියෙනවා. මට ඉතිහාසය ගැන දැනුමක් නැහැ. එහෙත් මා ඉතිහාසය ගැනත් උනන්දුවක් දක්වනවා. මා හිතන විධියට මෙරට තවමත් ගවේෂණය කරන්නේ අපේ ඉතිහාසය ගැන. ඉතිහාසය සිංහලයන්ගේ ඉතිහාසය. මෙරටට පසුව භාරතයෙන් හරි වෙනත් ප්‍රදේශයකින් හරි පැමිණි ජනයා සිංහල සංස්කෘතියට අවශෝෂණය වෙලා තියෙනවා. එසේ අවශෝෂණය නොවුණේ මුස්ලිමුන් හා ලන්දේසීන් ගෙන වෙල්ලාලයන්. මෙරට වශයෙන් ගත් කල මගේ තේරුමෙන් නම් පුරාවිද්‍යාවක් කියා තවමත් ගවේෂණයක් කෙරෙන්නේ නැහැ. අප විවිධ ක්‍රමවලින් අධ්‍යයනය කරන්නේ මෙරට ඉතිහාසය.

 

සිංහලයන්ගේ ඉතිහාසය ගැන විවිධ මත තියෙනවා. අප විජය හා පිරිසගෙන් පැවත එන්නන් කියන මතය පිළිගන්න බැහැ. කොහොමත් අර මහිලාවන් රැගත් නැව ලංකාවට ඇවිත් නැහැ.  ඊට කලින් මෙරට මිනිසුන් හිටි බවට මහාවංසය සාක්‍ෂි දරනවා. බටහිර රටවල බල්ලන් නඩත්තු කෙරෙනවා. බල්ලා මිනිසාගේ මිතුරා කියාත් කියනවා.  කුවේණිගේ කතාවෙත් බල්ලකු ඉන්නවා. එකල හිටි මිනිසුන්ටත් බල්ලන් හිටියා යන ප්‍රශ්නය අහන්න පුළුවන්. එහෙමත් නැත්තන් බල්ලන් හිටියේ කාට කියා අහන්න පුළුවන්.

 

කෙසේ වෙතත් අප සිංහලයන් කියන්නේ ජනවර්ග කිහිපයක් මිශ්‍ර වී සෑදුණු ජනතාවකට වෙන්න ඕන. මහාවංසය වුණත් විජය දඹදිව වටා යවන්නේත් නැගෙනහිර වෙරළේ සිට බටහිර වෙරළට යවා ඉන්පසු ලංකාවට ගෙන්වන්නේත් ශාක්‍ය වාංශිකයන්ගේ පැමිණීමක් ගැන කියන්නේත් මේ රටට පැමිණි විවිධ ජනවර්ග ගැන කීමට බව මා බොහෝ කලක් තිස්සේ කියන කතාවක්. එමෙන් මහාවංසය නාගයන් ගැන දේවයන් ගැන කියනවා. චූලෝදර මහෝදරල ගැන සමන් දෙවියන් ගැන කියනවා. එහෙත් යක්‍ෂයන් ගැන කියන්නේ අමනුෂ්‍යයන් ලෙස සලකා.

 

එයට හේතුවක් තියෙන්න ඇති. යක්‍ෂයන් මා දකින විධියට උත්තර භාරතීය හෙවත් අර්ධ වෛදික ආධිපත්‍යයක් නොපිළිගැනීම. මා කියන්නේ බුදුදහම ගැන නොවෙයි. බුදුදහමත් ආධිපත්‍යය පිළිගත්තේ නැහැ.  සිංහලයන් කියන්නේ මේ මුල් වැසියන් එනම් යක්‍ෂ දේව නාග රාක්‍ෂස (ඇතැමුන්ට අනුව රාක්‍ෂස යනු යක්‍ෂ උප කුලයක්) ජනවර්ග දඹදිවින් පැමිණි විවිධ ජනවර්ග සමග මිශ්‍ර වීමෙන් සකස් වුණු ජාතියක්. මේ ජාතිය බැඳ තැබුවේ බුදුදහමින්. ඉන්දියාවේ අදත් යක්‍ෂ රාක්‍ෂස නාග ජනවර්ග දකින්න පුළුවන්.

 

බෞද්ධ සංස්කෘතීන්වල ලක්‍ෂණයක් තමයි කලින් තිබූ සංස්කෘතීන් සමග මිශ්‍ර වීමට තිබූ හැකියාව. මිහිඳූ මහා රහතන් වහන්සේ අපට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව වැඩම කරවා පෙන්නුවේ හැකියාව. මියන්මාහි බෝධි වන්දනාවක් නැහැ. පන්සල් කිහිපයකත් ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේත් පමණයි බෝධීන් වහන්සේලා වැඩ ඉන්නේ.

 

අප බෞද්ධයන් වීමෙන් පසු දෙවියන් අමතක කළේ නැහැ. ගැමුණු රජුත් කතරගම මහසෙන් දෙවියන් හමුවට ගියා. ඊනියා තාර්කික බෞද්ධ සංස්කෘතියක් ඇති කරන්න බැහැ. සෝම හාමුදුරුවන් කී පමණින් මිනිසුන් පන්සල්වල දේව රූප ගඟේ දෑම්මේ නැහැ. සෝම හාමුදුරුවන් නිසා මධ්‍යම පංතියේ යම් රැල්ලක් ඇති වුණා. එහෙත් එය කිඳා බැස්සේ නැහැ. රැල්ලේ පාවුණු අය ජාතිකත්වය ගසා කෑවා. සිංහල බෞද්ධ සංස්කෘතියේ විවිධ දෙවියන් ඉන්නවා. ඉන් නාථ දෙවියන් හා සමන් දෙවියන් මෙරට දෙවිවරු. ඔවුන්ට වාහන සපයා නැහැ.

 

සිංහල ජාතිය විවිධ ජනවර්ගවලින් සෑදුණු ජාතියක්. සියලු ජනවර්ග, යක්‍ෂ දේව නාග රාක්‍ෂස වංග කලිඟු බටහිර වෙරළින් පැමිණි අය, මා මූල සිංහලයන් කියා කියනවා.  සිංහල ජාතියට පසුව විවිධ ජන කොටස් ඇවිත් අවශෝෂණය වී තියෙනවා. මා හිතන විධියට අපි දක්‍ෂ ශිල්පීන්. ශාස්ත්‍රීය වශයෙන් මා හිතන්නේ බිංදුව හා නැකැත් අප ලෝකය දුන් දායාද.

 

රනිල් වික්‍රමසිංහ රාජකීය ආසියාතික සංගමයේ සමරු රැස්වීමේ දී ඉතිහාසය අධ්‍යනය කිරීම සඳහා වෙන ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බව පවසා තියෙනවා. එය වැදගත්. කවුරු හරි කියන්න පුළුවන් මා රාජපක්‍ෂලාට කඩේ යෑම නවත්තල රනිල්ට කඩේ යන්න පටන් අරන් කියා. ඔවුන් දන්නේ එවැනි පඬි වදන් වමාරන්න පමණයි. කොහොමත් රනිල් රාජපක්‍ෂ කියා නෙ කියන්නෙ. නිසා තවත් කවුරු හරි කියන්න පුළුවන් තාම රාජපක්‍ෂලාට කඩේ යනවා කියලා.  ආයතනය බිංදුව ගැන ගවේෂණය කිරීම සඳහා අරමුදලක් ලබා දෙනවා නම් අගය කරනවා. මා බිංදුවට නම් කඩේ යනවා.