පසුගියදා (අප්‍රේල් 07) සෝමලතා සුබසිංහ රචනා කළ චන්දන අලුත්ගේ අධ්‍යක්ෂණය කළ ‘වලස් පවුල‘ නාට්‍ය නැරඹීමට අවස්ථාවක් ලැබිණි. මෙරට ළමා නාට්‍ය සාහිත්‍ය මෙන්ම නිෂ්පාදන අතර ‘වලස් පවුල‘ නාට්‍යයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මෙය ළමා නාට්‍යයක් වුවත් දැවැන්ත නිෂ්පාදනයක් බව කිව යුතුය. සර්කස් කණ්ඩායමක්, ගස්වැල් සහ වනයේ වෙසෙන විවිධ සතුන් නිරූපණය කරන අතර දැකුම්කලු පසුතල කිහිපයකින්ද යුක්තය. වර්ණනා සහ පැසසිය හැකි දෑ බොහෝ සෙයින් තිබේ. ඒ අතර සමාජ දේශපාලනිකව වැදගත් යයි හැගෙන අදහසක් මෙහිදී සංවාදයට ලක් කිරීමට උත්සාහ කරමි.

ළමා නාට්‍යයක් නිර්මාණය කිරීම එමෙන්ම ළමා සාහිත්‍ය නිර්මාණය කිරීම කලාව පාර්ශවයෙන් අතිශය අපහසුම කටයුත්තක් යැයි කිව හැකිය. එලෙසම ළමා නාට්‍යයක ගුණ දොස් ප්‍රකාශ කිරීමද ළමා ප්‍රේක්ෂකයෙක් නොවන අයකේ තවදුරටත් සංකීර්ණතාවකට පත් කරයි. එහෙත් නාට්‍ය නිර්මාණයක් වේදිකාගත වීමේදී, ළමුන්ගේ ප්‍රතිචාර ඒ මොහොතේම අත්විදිය හැකි නිසා යම් අදහසක් ප්‍රකාශ කිරීමේ පහසුවක් ඇති වෙයි. එය එක්තරා ආකාරයක ප්‍රාසාංගිකත්වයන් දෙකක් එකවර අත්දැකීමකි. එකක් නාට්‍යය නැරඹීම අනෙක ළමුන් එයට දක්වන ප්‍රතිචාරය දැක ගත හැකි වීම යි. ළමුන්ගේ ප්‍රතිචාර අතිශය නාටකීය වන අතර ඒවා අව්‍යාජ වේ. මින් අදහස් වන්නේ ළමුන් ‘රෝස මල් සේ අහිංසකයි’ යන්න නොවේ. අවශ්‍යනම් අපට ෆ්‍රොයිඩියානු ආකාරයට ළමුන් යනු බහුදිශානත විපරීතයන් කියා පිළිගත හැක. නමුත් ඔවුන්ගේ ප්‍රතිචාර මෙම විපරීත බව නිසාම සමාජ සම්මතයන්ට යටත් වන්නේ නැත. එම නිසා ළමා නාට්‍යයක සෑම විටම මෙම සියුම් සෞන්දර්ය එම සජීවී අවකාශය තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙයි.

‘වලස් පවුල‘ නාට්‍යයේ වේදිකා භාවිතය, පසුතල, චරිත, දෙබස්, ගීත මේ සියල්ල අපගේ සාමාන්‍ය ලෝකයේ තර්කය ඉක්මවා යන නාටකීය ආකාරයෙන් නිර්මාණය වී තිබේ. ඒ අතරම මෙහි තාක්ෂණික කටයුත්තක් ලෙස නම් කළ හැකි, ඇසිල්ලකින් රංග වස්ත්‍ර මාරු කිරීම, වෙනස් කිරීමද විශ්මය ජනක ක්‍රියාවක් බව මතක් කළ යුතුය. ඉහත සඳහන් කළ පරිදි අපගේ සාමාන්‍ය දෛනික ජීවිතය ඉක්මවා යෑම ළමා නාට්‍යවල බහුලව දක්නට ලැබෙන දෙයකි. ළමුන්ට කුඩා කාලයේ මෙම අත්දැකීම් තම ජීවිතවල කොටසක් ලෙස බැඳෙයි. එහෙත් වැඩිවියට පත් වෙත්ම අපගේ ලෝකය, හෛඩගරියානු අර්ථයෙන් කියන්නේ නම් මිනිස්සු විසින් සකස් කළ බොළඳ ලෝකයක් තුළ එදිනෙදා ජීවිතයේ දරාගත නොහැකි තරමේ සාමාන්‍යකරණයකට ලක් වෙයි. එහිදී අපට ප්‍රකාශ කරන්නේ හැකිතාක් මේ පවතින ජීවිතයේ සාමාන්‍ය තත්ත්වය තේරුම් ගෙන එයත් සමග ජීවත් වන ලෙසයි. මෙම සමාජය මීටත් වඩා වෙනස් ආකාරයකට දැකීම ළමා නාට්‍යයක් පමණක් වන බව අපට කියා දෙයි.

කුඩා දරුවෙකු යනු අපරිණිත හිතුවක්කාර චරිතයක් බව බොහෝ විට පිළිගැනෙයි. කුඩා දරුවා සෑම විටම ඕනෑම අවස්ථාවක තමුන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමට මැලි වන්නේ නැත. පවතින තත්ත්වය ඔහුට නොගැලපෙන්නේ නම් ඔහු හඩමින්, සිටිනා තැන මුත්‍රා කරගනිමින්, කුමන හෝ ආකාරයකින් තම විරෝධය අනෙකාට සිතා බැලිය සහ සාකච්ඡාවට ලක් විය යුතු මට්ටමකට ගෙන එයි. එම අර්ථයෙන් කුඩා දරුවා යනු දෙන ලද දෙය එලෙසින්ම භාර ගන්නා එදිනෙදා ජීවිතයේ දෘෂ්ටිවාදයට හසු වූ වැඩිහිටියෙකු බවට පත් වන්නේ නැත. ‘වලස් පවුල‘ වැනි ළමා නාට්‍යවලද සාරය තිබෙන්නේ මෙතැනය.

ළමයා සෑම විටිම සිටින්නේ ලෝකය පිළිබඳ විශ්මයට පත් වෙමින්ය. පවතින බල සම්බන්ධතා සහ පවතින සාමාන්‍යකරණයට ලක් වූ අදහස් ඔහු හෝ ඇය එලෙසින්ම භාර නොගනියි. ඔහුගේ හෝ ඇයගේ අතට අසුවන ඕනෑම දෙයක් තමුන්ට රිසි පරිදි අර්ථකථනය කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබේ. මේ ලෝකය වෙනස් කිරීමට වෙනස් ආකාරයකින් දැකීමට අවශ්‍ය නම් එවැනි ඕනෑම ක්‍රියාමාර්ගයක ළමා බවක් තිබීම අතශ්‍යවශ්‍ය වනු ඇත. මන්ද වැඩිහිටියන් විසින් අනිවාර්ය ලෙස පැවතිය යුතු යැයි සළකන බොහෝ සම්බන්ධතා ළමුන් විසින් රැඩිකල් ලෙස අර්ථකථනය කිරීමේ එම ආකෘතිය අතිශය විශේෂ වූ දේශපාලන වෙනසකටද වලංගු වේ. එවැනි ආකාරයේ අනාගතයක් වෙනුවෙන් ‘වලස් පවුල‘ වැනි නිර්මාණ විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

රංග මනුප්‍රිය