Rocking Star යාශ්ගේ ඊළඟ චිත්‍රපටය කුමක්ද?

Avatar Kavinu Weerakkody | April 22, 2023 168 Views 0 Likes 0 Ratings

168 Views 0 Ratings Rate it

සමස්ත ඉන්දියාවේම අවධානයට සහ රසික උන්මාදයට පත් නලුවෙකු බවට පත් වන්නට කන්නඩ රංගන ශිල්පී Yashට අවශ්‍ය වූයේ වසර 02ක් තුළදී නිකුත් වුනු චිත්‍රපට දෙකක් පමණයි.
K.G.F. Chapter 01 සහ K.G.F. Chapter 02 සිනමාපට ද්විත්වයේ බලපෑම මත මේ වනවිට ඔහු ඉන්දියානු සිනමාවේ දැවැන්තම රසිකයින් පිරිසක් හිමි නලුවෙකු බවට පත්වී අවසානයි.

2018 වසරේදී නිකුත් වූ පළමුවන K.G.F. කන්නඩ සිනමාපටය ඉන්දියානු කෝටි 250කට අධික ආදායමක් රැස් කරගනිමින් එකල කර්ණාටක ප්‍රාන්තයේ වැඩිම ආදායම්ලාභී සිනමාපටය බවටත් පත්වුනා. කන්නඩ සිනමාව ගැන නොදැන සිටි බොහෝ දෙනෙකු ඊට නැඹුරු කළ නිර්මාණයක් ලෙසටයි K.G.F. Chapter 01 අදටත් හැදින්වෙන්නේ… ඉන්දියානු සිනමා නිර්මාණයකට හිමි විය හැකි ඉහළම සම්මානය ලෙසට සැලකෙන ඉන්දියානු ජාතික සම්මාන (National Awards) ද්විත්වයක් පවා එය ජයග්‍රහණය කළා.

පළමුවන KGF සිනමාපටය ලැබූ ජනප්‍රියත්වය නිසාම වැඩි කල් නොගොස් එහි දෙවන දිගහැරුමෙ හි නිෂ්පාදන කටයුතු ඇරඹුනු අතර, K.G.F. Chapter 02 නමින් එය ලෝ පුරා තිරගත වූයේ මුල් චිත්‍රපටයෙන් වසර 04කට පසුව පසුගිය 2022 වසරේදී යි. නිකුත් වූ පළමු දිනයේදීම ලෝ පුරා කෝටි 164ක මුදලක් රැස් කරගනිමින් නව ආදායම් වාර්තාවක් පිහිටුවන්නටත් එය සමත් වුනා.
ප්‍රදර්ශනය අවසන් වනවිට සමස්ත ආදායම ඉන්දීය කෝටි 1300 පසු කළ K.G.F. Chapter 02 සිනමාපටය, 2022 වසරේ දෙවන වැඩිම ආදායම හිමිකරගත් ඉන්දියානු චිත්‍රපටය වනවා. එමෙන්ම, මෙතෙක් සිනමා ඉතිහාසයේ සිව්වන වැඩිම ආදායම රැස් කරගත් ඉන්දියානු චිත්‍රපටය වන්නේ ද එයයි. මේ ආකාරයට නොසිතූ ජනප්‍රියත්වයක් ලැබූ KGF චිත්‍රපට ද්විත්වය නිසා කන්නඩ නලු Yashට ලෝ පුරා සිනමා ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුනේ අසීමිත රසික ප්‍රතිචාරයක්…

දකුණු ඉන්දියාවේ කුඩා ප්‍රාන්තීය සිනමාවක් වූ කර්ණාටකයේ සාමාන්‍ය නලුවෙකුගේ සිට, සමස්ත ඉන්දියාවේම අවධානයට ලක් වූ රංගන ශිල්පියෙකු දක්වා පැමිණෙන්නට ඔහුට හේතුවක් වූයේ මෙම KGF චිත්‍රපට මාලාවයි. නමුත් KGF 02න් පසුව Yash රඟපාන නවතම චිත්‍රපටය ගැන තවමත් නිල නිවේදනයක් නිකුත් වී නැති නිසා ඔහුගේ රසිකයින් බොහෝ දෙනෙකු ඒ ගැන විමසිල්ලෙන් පසුවනවා.

පසුගිය මාස කිහිපයේදී දැවැන්ත චිත්‍රපට ව්‍යාපෘති ගණනාවකටම Yashගේ නම ඈඳුණත් ඒ කිසිවක් පිළිගත් මූලාශ්‍ර තුළින් නිකුත් වුනු සත්‍ය තොරතුරු නොවෙයි. ඉන්දියාවේ විශිෂ්ටතම සාහිත්‍ය ග්‍රන්ථය වන රාමායණය ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට යන Ramayana චිත්‍රපටයේ චරිතයකට සහ අයාන් මුකර්ජිගේ Brahmastra 02වන කොටස සඳහා යාශ් සම්බන්ධ බවට විවිධ ගොසිප් අඩවි තොරතුරු වාර්තා කළත් ඒ කිසිදු විස්තරයක් නිල වශයෙන් තහවුරු වී නැහැ.

නමුත් ඔහුගේ නවතම චිත්‍රපටය ගැන පිළිගත හැකි මට්ටමේ තොරතුරක් දැන් නිකුත් වී තිබෙනවා. එරට සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙකු මෙය තහවුරු කර තිබෙන නිසාම මෙම චිත්‍රපටයේ විස්තර සත්‍යයක් වීමට තිබෙන ඉඩකඩ සාපේක්ෂව වැඩියි.
KGFට පසුව යාශ් රඟන 19වන චිත්‍රපටය නිසා දැනට මෙය හඳුන්වන්නේ Yash19 ලෙසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම Yash19 සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබෙන්නේ Geethu Mohandas (ගීතු මෝහන්දාස්) විසිනුයි. කේරළ ජාතික සිනමාවේදිනියක වන ගීතු මෝහන්දාස් නිළියක, අධ්‍යක්ෂිකාවක සහ නිෂ්පාදකවරියක ලෙස වසර ගණනාකට සිට සක්‍රීයව සිනමාවට සම්බන්ධව සිටිනවා. චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ ගීතු මෝහන්දාස් අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වන්නේ Liar’s Diceයි. 2014 වසරේදී ඉන්දියාව වෙනුවෙන් ඇකඩමි උළෙල නියෝජනය කළේ ද එයයි.

ඉන්පසුව 2019 වසරේදී ඇගේ දෙවන අධ්‍යක්ෂණය, Moothon නිකුත් වූ අතර එහි ප්‍රධාන චරිතය රඟපෑවේ මලයාලම් නලු නිවින් පෝලි විසිනුයි. Moothon චිත්‍රපටයේ නිවින් පෝලිගේ රංගනය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වූවා සේම, කේරළ ප්‍රාන්ත සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයකුත් ඔහුට හිමිවුනා.

Yash සහ Geethu Mohandasගේ සුසංයෝගයෙන් නිර්මාණය වීමට සූදානම් වන්නේ එයින් පසුව ඇය විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත තුන්වන වෘතාන්ත චිත්‍රපටයයි. වාර්තා වන පරිදි මෙය Yash විසින් එක්වරම ගත් තීරණයකුත් නොවෙයි. දැනට වසරකට පමණ පෙර සිටම, ගීතු සහ ඔහු මෙම චිත්‍රපට ගැන සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඇය විසින් Yashට ඉදිරිපත් කළ චිත්‍රපට පිටපතට ඔහු දැඩි ලෙස ආශක්ත වීම නිසා තිර පිටපතෙ හි සුලු සුලු වෙනස්කම් කරමින් දිගින් දිගටම ඒ ගැන ඔහු සාකච්ඡා පැවැත්වූ බවකුයි අන්තර්ජාලයේ දැක්වෙන්නේ. KGF චිත්‍රපටයෙන් පසුව ඔහු ඉන්දියානු සිනමාවේ දැවැන්තයෙකු සමඟ එකතු වෙතැයි බොහෝ දෙනෙකු සිතා සිටියත්, ඒ සියලුම offers මඟ හරිමින් ආධුනික සිනමාවේදිනියක සමඟ වෙනස්ම තිර පිටපතක් බාර ගැනීමටයි යාශ් තීරණය කර තිබෙන්නේ.

මේ වනවිට සාකච්ඡා සියල්ලම අවසාන මට්ටමේ පවතින බවත්, චිත්‍රපටයේ පළමු නිල නිවේදනය ඉදිරි දින 30ක කාලය ඇතුළතදී නිකුත් වීමට හැකියාවක් පවතින බවත් වැඩිදුරටත් පැවසෙනවා. බොහෝදුරට Yash19 හි නිෂ්පාදන කටයුතු ජූනි මාසය පමණ වන විට ඇරඹිය හැකි අතර එළඹෙන 2024 වසරේ අග භාගයේදී චිත්‍රපටය මුදා හැරීමට නියමිතයි.

KGF චිත්‍රපට මාලාවේ තුන්වන කොටසකුත් නිර්මාණය වන බවට දැන් නිල වශයෙන් තහවුරු වී තිබුනත් එහි රූගත කිරීම් නුදුරු දිනකදීම ඇරඹීමට නම් සූදානම් නැහැ. KGF චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂකවරයා වන Prashanth Neel මේ දිනවල ප්‍රබාස්ගේ Salaar සහ Jr NTRගේ මීළඟ චිත්‍රපට සමඟ කාර්යබහුල වී සිටින නිසා KGF 03 හි නිෂ්පාදන කටයුතු බොහෝදුරට 2025 වසර තෙක්ම පමා විය හැකියි. එමෙන්ම KGF නිෂ්පාදන කණ්ඩායමෙනුත් මේ ගැන පැහැදිලි කිරීමක් මාධ්‍යයට නිකුත් වුනු අතර ඔවුන් පැවසූයේත් මෑත දිනයකදී තුන්වන චිත්‍රපටය ඇරඹීමට කිසිදු අදහසක් නොමැති බවකුයි.

එමනිසා KGF 02වන කොටසට පසුව යාෂ්ගේ ප්‍රධාන රංගනයෙන් හැඩවන මුල්ම චිත්‍රපටය ගීතු මෝහන්දාස් අධ්‍යක්ෂණය කරන මෙම Yash19 වීමට හැකියි. ඊට පෙර ප්‍රබාස්ගේ Salaar හි කැමියෝ චරිතයකට යාෂ් එක් වී ඇතැයි විවිධ ඉඟි පළවුනත් ඒ බව තවමත් තහවුරු වී නැහැ. එසේ වුවහොත්, KGF සහ Salaar සිනමාපට ද්විත්වයත් එකම සිනමා විශ්වයකට එකතු වීමටත් ඉඩකඩ පවතිනවා..!!!

Share

168 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.