HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අතීතයෙන් ආ අරුම පුදුම දැවැන්ත මීට් බෝලයක්!

මීට් බෝල ඉතා ජනප්‍රිය ආහාරයක්. මීට් (meat) කියන්නෙ මස්වලට වුනත් අද මස්මාංශ නොකන නිර්මාංශ අයකුට වුවත් කන්න මීට් බෝල හදනවා. මාළුවලින් හදන මීට් බෝල හඳුන්වන්නේ ෆිෂ් මීට් බෝල කියලයි. සම්පූර්ණ නිර්මාංශක අයට සෝයා මීට් බෝල තියෙනවා. සෝයා මීට බෝල තනන්න මස් ආහාර නිෂ්පාදන සමාගම් අතර තරඟයක් තියෙනවා. ඔවුන් ඒවාට විවිධ මස් වර්ගවල රස කවන්නත් උනන්දු වෙනවා. 

රසායනාගාරයේ දී නිපදවන ලද මැමත් මීට් බෝලය.

පසුගියදා ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් සමත්වෙලා තියෙනවා, ප්‍රාග් ඓතිහාසික මැමතයකු ගේ මස් ඇසුරෙන් මීටි බෝලයක් රසායනාගාරයක තනන්න. ඒ සඳහා සහය දුන්නේ වව් (Vow) නම් මස් වගා කරන සමාගමක්. විද්‍යාඥයන්ට මේ අපූරු නිමැවුමේ රස බලන්න තදින් ම ඕනෑකම තිබුණත් ඒ පුරාණ මස්වල අන්තර්ගත ප්‍රෝටීන මාරාන්තික යැයි පවතින විශ්වාසය නිසා ටිකක් බයෙන් ඉන්නෙ. 

මස් වගා කරන සමාගම පර්යේෂණවලට සහය දෙන්නේ සාම්ප්‍රදායක නොවන මස් වර්ග මුසු කොට නව මස් වර්ග නිපදවීම අරමුණු කොට ගෙනයි. මේ මීට් බෝලය නිපදවා ඇත්තේත් ඒ අනුවයි. වසර 10,000ක් පැරණි දැනට වඳවී ඇති වූලි මැමත් නම් සතුන්ගේ ජානවලින් තමයි මේ මස් වර්ගය නැවත පණ ගන්වා ඇත්තේ. 

විද්‍යාඥයන් මැමත් ඩීඑන්ඒ මාංශ ප්‍රෝටීනය නිර්මාණය කළේ මෙහෙමයි. 
ඇතකුගේ ඩීඑන්ඒ අනුක්‍රමය සමඟ සසඳමින් අඩුපාඩු පූර්ණ කර ගෙන තියෙනවා.

විද්‍යාඥයන් මෙහිදි ඔවුන් විසින් හඳුනාගෙන තිබූ මැමතකුගේ මාංශ ප්‍රෝටීනයක ජාන අනුක්‍රමයක ඇති අඩුපාඩු වර්තමානයේ ජීවත්වන සමීප නෑයකු ලෙස සැලකෙන ඇතකුගේ ජාන අනුක්‍රමයක් සසඳා බලා ඒ අනුව සම්පූර්ණ කර ගෙන ඒ තුළින් නව සෛලයක් නිර්මාණය කර එය නව මීට් බෝලයක් බවට පරිවර්තනය කරන්න ඔවුන් සමත්වෙලා තියෙනවා. එහිදි ඔවුන් විසින් කර ඇත්තේ බැටළුවකුගේ කලල රූපී තන්තු සෛල ආධාර කර ගෙන අනුරූපී සෛල බිලියන 20ක් නිපදවීමයි. 

“අපි මේ ප්‍රෝටීනය වසර දහස් ගණනකින් දැකලා නැහැ.” මෙහෙම කියන්නේ වව් සමාගම සමඟ මේ නිපැයුමට මුල් වූ මහාචාර්ය අර්නස්ට් වුල්ෆ්ටෑන්. ඔහු ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ජෛව ඉංජිනේරු අංශයේ මහාචාර්යවරයායි. 

ඔහු මුලින් උත්සාහ කළේ තවත් වඳවී ගිය සතකු වන ඩෝඩෝ මාංශ නිර්මාණයටයි. ඒත් පසුගිය අයිස් යුගයේ වඳ වී ගිය සතකු වූ ඩෝඩෝගේ ඩීඑන්ඒ අනුක්‍රමණ සොයා ගෙන නොතිබුණු නිසා එය කළ නොහැකි වුණා. 

මේ මැමත් මීට් බෝල් තැනීමේ අදහස ආවේ වන්ඩමන් තොම්සන් නම් නිර්මාණශීලී ආයතනයේ බාස් ඩකොස්ටර්න්ගෙන්. 

මැමත් මීට් බෝලයේ නිර්මාණයට අදාළව නිකුත් කරන ලද වීඩියෝව පහතින් නරඹන්න! 

- පර්සි ජයමාන්න  

Post a Comment

0 Comments