HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රනිල්ගේ අයි. එම්. එෆ් යාම අපට අරුමයක් ද? කරුමයක් ද? උරුමයක් ද?

අන්තර්ජාතික මූල්‍ය අරමුදල, කෙටියෙන් IMF යන්න පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ කුඩා ළමයින් පවා දන්නා වචනයක් ‍වුණා. ඔය අරමුද‍‍ල‍ෙන් අපි ණය අර ගන්න මුලින්ම උත්සාහ කළේ මීට අවුරුදු 58කට විතර ඉස්සරයි. ඒ කියන්නෙ 1964 දි. ඒ කුඩා ව්‍යාපාර ණයක් (SBA). එවකට බලය හිටියේ ශ්‍රීලනිප-සමසමාජය ප්‍රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුව. ඒත් ඒ උත්සාහය හරිගියේ නෑ. ඊළඟ අවුරුද්දේ එනම් 1965 දි අපි ඇමරිකන් ඩොලර් මිලියන 30ක සහන ණයක් ඉල්ලුවා. ඒත් ඒකෙනුත් ලැබුණේ සියයට 75%යි; එනම් ඩොලර් මිලියන 22.5යි. ඒ කාල‍ෙ බලයේ හිටියේ එක්සත් ජාතික පක්ෂයයි. ණය ඉල්ලාගෙන වැඩි වාර ගණනක් IMF ගියෙත් එජාප ආණ්ඩුයි. පසුගිය අවුරුදු 59 තිස්සේ ම 16 වතාවක් ණය සහන ඉල්ලා ගෙන අපි IMF එකට අත පෑවත් අපේ අ‍ය වැඩි දෙනෙක් ඔය නම ගැන දැනගෙන හිටියෙ නෑ. ඒත් මේ වතාවෙ කිරි දරුවගෙ පටන් හැම දෙනෙකු ම ණය සහන ලැබුණාම ඔක්කොම හරි කියලා, හිතා ගත්තා. ඒකයි ලැබුණෙ පොලියක් එක්ක ගෙවන්න වෙන ණයක් වුනත්, මිනිස්සු ඒක අමතක කරලා රටපුරා රතිඤ්ඤා පත්තු කළේ. ඒ මදිවට එහෙම කරන්න කියලා එජාප‍යෙන් SMS එකකුත් ඇරලා තිබුණා. දශක හයක් තිස්සේ IMF ගිය අපි මේ 17 වතාවට ගිහින් ණයකින් කොටසක් ලබා ගත්තා ම රතිඤ්ඤා පත්තු කරන්න තරම් ඇති අරුමය කුමක් ද? 

IMF එකෙන් ණය ගන්න ගියාම අපට ඒවා ලබා දෙන්නේ ඔවුන් නියම කරන කොන්දේසි සපුරා ලන ආකාරය අනුව කොටස් වශයෙනුයි. ඒ නිසා සම්පූර්ණ ණය මුදලම ඔවුන්ට අත පෑ 16 වතාවෙම ලැබිලා නැහැ. අපට දෙන ණය ඔවුන් විසින් අතරමගදි අත් හිටවනු ලැබුවා. ඔවුන් සමඟ ගිවිසගත් කොන්දේසි සපුරාලන්නට අපි අපොහොසත් වුණොත්, ඒ නිසා මේ වතාවෙත් එහෙම වෙන්න බැරි කමක් නැහැ. ඒකට ජනාධිපතිවරයා උපක්‍රමයක් යොදන බව පසුගියදා කිව්වා. ඔහු බලාපොරොත්තු වෙනවලු සිංහල අවුරුද්දෙන් පස්සේ ගිවිසගත් කොන්දේසි පාර්ලිමේන්තුවට දාලා වැඩි ඡන්දෙන් සම්මත කර ගන්න. එතකොට ඒවා කඩන්න බැහැ. වෙනස් කරනවා නම් ආපහු පාර්ලිමේන්තුවට යන්න වෙනවා. හැමදේම කරන්න වෙන්නෙ IMF කොන්දේසි ඇතුළතයි. අපේ ජනපති කියන්නෙ එහෙමයි. අනික් අතට ජනාධිපති කියනවා 18 වැනි වතාවට යන්න ඉඩ තියන්නේ නෑ කියලා. 

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ලාංඡනය

අපි දැනට මුහුණපාලා තියෙන ණය අර්බූදය IMF එකෙන් ලැබුණු විස්තීර්ණ ණය පහසුකම වූ ඩොලර් බිලියන තුන වගේ දහගුණයකටත් වැඩියි. හරියටම අපි ලෝකයට කොච්චර ණය ද කියන්න බැරි තරම් අර්බූදයක අපි ඉන්නෙ. රජය කෙළින්ම ගන්නා ණය ප්‍රමාණය වැඩි වෙලා පෙනෙන එක වළක්වන්න රාජ්‍ය ආයතනවලටත් ඉඩ ඇරලා තියෙනවා වෙන ම ණය අර ගන්න. ඒ නිසා හරියට ම මුළු ණය බර කොපමණ ද කියා කියන්න බැරි බවයි, ආර්ථික විශේෂඥයන් කියන්නේ. ඒ නිසා IMF ණයකින් මේ ඔක්කොම ප්‍රශ්න විසඳා ගන්න බැහැ. මේ පණ යන්න යන අයකුට හුස්ම ටිකක් දුන්නා වගේ වැඩක්. ලෙඩේට බේත් වෙනම කරන්න ඕනෑ. අපේ ප්‍රශ්නෙ රජයේ ආදායමට වඩා වියදම වැඩි වීමයි. ආනයන වියදම අපනයන වියදමට වඩා වැඩියි. රජයේ බදු ආදායමට වඩා සමාජ ආරක්ෂණ වියදම වැඩියි. මේ අය වැය පරතරය පියවන්න ඉක්මනින් පියවර ගන්න සිදු වෙනවා. IMF එක ඒ සඳහා උපදෙස් දෙනවා. ඔවුන් අපට ණය කොටස් වශයෙන් දෙන්නේ අප කරන දේ අධීක්ෂණය කරමින්. ඔවුන් අපට කියනවා, නාස්තිය වැඩියි, අඩු කරන්න කියා. දූෂණය වැඩියි, ඒවා වළක්වන්න පියවර ගන්න කියනවා. බදු ආදායම මදි, වැඩි කරන්න කියනවා. මෙවර ඔවුන් කාල රාමුවක් තුළ නිශ්චිතව කළ යුතු දේ කියා තිබෙනවා. ජනාධිපති රනිල් මේ දවස්වල කර ගෙන යන්නේ ඒකයි. 

ඒවාට අමතරව ජනපති රනිල් හදනවා රාජ්‍ය ව්‍යාපාර, සංස්ථා හා ආයතන විකුණා මුදල් සොයන්න. රජයේ ඉඩම් විකුණන්න. ඒ මුදල්වලින් සංචිතය වැඩි කර ගන්න. පාඩු ලබන සංස්ථා 52ක් තියෙනවා. ඒවා විකුණන්නෙ නැතිව ලාබ ලබන ඒවා විකුණන්න හදනවා කියලා වෘත්තීය සමිති ගෝරි දානවා. ‘දුප්පත් වෙලා ජීවත් වෙන්න විදියක් නැති වුණාම ගෙදර තියෙන වටිනා බඩුවක් මුට්ටුවක් විකුණන එක කරන්න වෙනවා. ඒ වගේ දෙයක් අපේ රටටත් වෙලා තියෙන්නේ’ කියලා ජනපති රනිල් කියනවා. පාඩු ලබන ඒවා විකුණන්න බැහැ. ඒවා අහෝසි කරන්නයි තියෙන්නේ. එකම දේ කරන සංස්ථා කීපයක් ම තියෙනවා. රජය පාඩු ලබන ව්‍යාපාරවලින් පමණක් නොව ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ම ඉවත් විය යුතුයි යන්න IMF එකේ එක කොන්දේසියක්. 

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්යාලයක් අපේ රටෙත් තියෙනවා. ඒ අය අප ආර්ථිකය හසුරුවන හැටි සීරුවෙන් බලන් ඉඳලා වරින් වර වාර්තා නිකුත් කරනවා. ඒ අතර අපට අනතුරු අඟවලා ලිපි එවනවා. එවැනි ලිපියක් 2020 මාර්තුවේදි IMF එකෙන් ශ්‍රී ලංකා‍ මහ බැකුවට නිල වශයෙන් එව්වා, අපේ රටේ ණය අස්ථාවරභාවය ගැන කියලා. ඒ අනුව එවකට මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් එවකට පැවති ගෝඨාභය රජයට අනතුරු ඇ‍‍ඟ‍ෙව්වත් ඒවා ගණනකට ගත්තේ නෑ. විශාල බදු කපා හැරීමක් සිදු කිරීමෙන් ඒ වෙලාවෙ අපට ලැ‍බෙමින් තිබුණු විශාල ආදායමක් අහිමි කර ගත්තා. සීනි බදු වංචාවෙනුත් කෝටි ගණනක පාඩුවක් සිදුවුණා. කෘෂිරසායනික පෝර, පලිබෝධ නාශක ආනයනය හදිසියේම නතර කර දැමීමෙන් වී, තේ, පොල්, එළවළු ආදී වගාවන්ට සිදු වූ පාඩුව මෙතෙකැයි කියන්න බැරි තරම්. මේ සියල්ල සිදුවුණේ දුර්වල, අත්තනෝමතික පාලනය නිසයි. ඒ නිසා ම ජනපති ගෝඨාභයට පදවිය අත්හැර යන්න සිදුවුණා. මේ සියල්ල හොඳින් අධ්‍යයනය කරලයි, අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙවර අපට ණය දෙන්න කොන්දේසි ඉදිරිපත් කර ඇත්තේ. 

ඇමරිකාවේ වොෂිංන්ටන්වල පිහිටි 
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මූලස්ථානය

මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියන්නේ මොකක්ද? අන්තර්ජාතික මූල්‍ය අරමුදල හෙවත් IMF පිහිටෙව්වේ 1944දි. එහි කටයුතු ආරම්භ කළේ, රටවල් 29ක සාමාජිකත්වයකින්, 1945 දෙසැම්බර් 27 වැනිදා. දැනට එහි සමාජිකත්වය දරනවා, රටවල් 190ක්. ශ්‍රී ලංකාවත් එහි සමාජිකයෙක්. එය පිහිටුවා ගත් අරමුණු ලෙස දක්වා ඇත්තේ ගෝලීය මූල්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීම, සාමාජික රටවල මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අන්තර්ජාතික වෙළඳාමට අවශ්‍ය පහසුකම් සැලස්වීම, සේවා නියුක්තිය වැඩි කිරීම, තිරසාර ආර්ථික වර්ධනය සහ ලෝකයේ දරිද්‍රතාව තුරන් කිරීම යනාදියයි. එයින් වැඩි සේවයක් සැලසෙන්නේ රටවල ගෙවුම්ශේෂ අර්බූද මඟ හරවා ගැනීමට සහන ණය සැපයීමයි. අපට මෙවර ඩොලර් බිලියන 3ක සහන ණයක් අනුමත වී ඇත්තේත් ඒ අනුවයි. ඒ සමගම ඔවුන් රුසියාව හා යුද වැදි සිටින යුක්‍රේනය සඳහා ද ඩොලර් බිලියන 16 ණයක් ද අනුමත කරල තියෙනවා. 

මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිිටිය කියනව මෙවර ලැබුණු ණය මුල් වාරිකය වු මිලියන 330න් මිලියන 121ක් ඉන්දියාවෙන් ලැබුණු ණය වාරිකය ගෙවන්න යොදා ගත්තා කියා. ඉතිරි මුදල වූ ඩොලර් මිලියන 209 මූල්‍ය ස්ථායීකරණය සඳහා යොදා ගන්නවා, කියා ඔහු කියනවා. ඇමති බන්දුල ගුණවර්ධන කීවා අප්‍රේල් 10 ඉස්සර රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන් ගේ පඩි ගෙවන්න සල්ලි අවශ්‍ය නිසා ඒ මුදලෙන් කොටසක් භාවිත කරනවා කියා. 

අප අද මුහුණ දී ඇති ආර්ථික අර්බුදය IMF එකෙන් ණය ගැනීම නිසාවත්, නොගැනීම නිසාවත්, ඇතිවූ දෙයක් නොවෙයි. ඒ ගැන අපි පාර්ලිමේන්තුවේ දී චම්පික රණවකගේ කතාවෙන් හෙළි කළ කරුණුවලින් තේරුම් ගන්නට උත්සාහ කරමු. “අද අපි හැමෝම අහවල් කාලේ ගත්ත ණය නිසා තමයි මේ අර්බුදය ඇතිවුණේ. අහවල් කාලයේ ඇතිවෙච්ච ණය නිසා තමයි, මේ අර්බුදය ඇතිවුණේ කියලා එකිනෙකාට චෝදනා කර ගැනීමක් තමයි, දැන් මේ කරගෙන යන්නේ. 1998 දි අපි පහළ ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් රටක් දක්වා ඉහළට එස වුණා. ඒ නිසා දුප්පත් රටවලට ලැබෙන ණය ආධාර අපට ලබා ගන්න බැරි වුණා. එදා තමයි ආචාර්ය පී. බී. ජයසුන්දර රටේ අයවැය හිඟය පියවීම සඳහා ප්‍රථම වතාවට මේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර හඳුන්වා දුන්නේ. ඉන් පස්සේ අපිට ආධාර ලබා ගැනීම සඳහා විවිධ ද්වී පාර්ශ්වික රටවල අඩුවක් තිබුණේ නෑ. ජපානෙන්, චීනෙන් නමුත් අපි හදිසි තත්ත්වයන් යටතේ ඉතා විශාල වශයෙන් මේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ලබා ගැනීමේ අර්බුදය තමයි, මේ තියෙන්නේ.” චම්පික මැතිසබේදි කිව්වා. 

චම්පික කීවේ මේ ඉදිරියට මතු වන ණය අර්බුදය ගැන හොඳින්ම දැන සිටි එවකට ජනපති මහින්ද රාජපක්ෂ අවුරුද්දක කාලයක් ඉතිරිව තිබියදී 2015 දී ජනාධිපතිවරණයක් කරා ගිය බවයි. මහින්දගේ පරාජයෙන් පසු බලයට ආවේ ‍එජාපය ප්‍රමුඛ සන්ධානයයි. එවර ජනාධිපති වූයේ පොදු අපේක්ෂකයා වූයේ මෛත්‍රීපාල සිරිසේනයි. අගමැති වූයේ රනිල් වික්‍රමසිංහයි. ඒ කැබිනට් එකේ චම්පික රණවකත් හිටියා. 

“මම තමයි එදා නිල වශයෙන් කැබිනට් මණ්ඩලයට 2016 මාර්තු මාසෙදි ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරලා ශ්‍රී ලංකාව 2023 වෙනකොට බංකොලොත් වෙන්න යනවා. ඒ නිසා මේ පිළිබඳ නිසි ඇගයීමක් කරන්න කියලා ඉල්ලීමක් කළේ. ඒ අනුව සහ තවත් දත්ත පද්ධතිය අනුව ඒ රජය ක්‍රියාත්මක වුණා. ඒ ගැන මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ වගේම විශේෂයෙන්ම ආචාර්ය සරත් අමුණුගමට ස්තූතිවන්ත වෙනවා. අපිව ඒ අවස්ථාවේ බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එදා අපිට යන්න සිද්ධ වුණා, අන්තර්ජාතික මූල්‍ය අරමුදලට. 2017 ජූනිවල සිට 2020 ජූනි දක්වා ඒ ව්‍යාපෘතිය තිබුණා. ඒකෙන් තමයි අපි බංකොලොත්භාවයෙන් මුදාගෙන, සාමාන්‍ය තත්ත්වයෙන් රට අරගෙන ගියේ, විවිධ ගැටුම් මැද්දේ..” පසුගිය දා චම්පික මැති සබේදී කිව්වා. 

අප රට ඉදිරියට ගෙනියන්න බැරි වෙලා තියෙන්නෙ, අපට මේ තත්වය උරුම කර දුන්නේ ඔරොත්තු නොදෙන තරමට ඉහවහ ගිය නාස්තිය හා දූෂණයයි. ඒ දූෂණය පිටු දකින්නට තියෙන ඕනෑකම පෙන්වන්න ජනාධිපති දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත සම්මත කරන්නට සූදානම් වෙනවා. ඒක ලෝකයා රවට්ටන්න කරන දෙයක් හැටියට මට පෙනෙන්නෙ, මේ ව‍ෙනකම්, තියෙන දුෂණ විරෝධී පනතෙන්වත් වැඩක් ගන්නා බවක් පෙනෙන්නේ නැති හින්දයි. අනිත් අතට අපේ රටේ මෙතෙක් උන්නු පාලකයන් හැම තිස්සෙම තියෙන නීතිය නවලා, එයින් රිංගලා ගිහින් වංචාවල් කළ හැටි අපි දැකලා තියෙනවානෙ. නීතිය අකුරටම ක්‍රියාවට නංවන්නේ නැති නම් ලෝකයේ හොඳම නීති තිබුණත් පලක් නැහැ. 

ඒත් අපේ ජනපති උත්සාහ කරන්නේ විරෝධතා මර්ධනයෙන් තමන්ගේ අරමුණුවලට යන්නයි. ඒ නිසයි, අලුත් ප්‍රතිත්‍රස්ත පනතක් කඩිමුඩියේ ගේන්න යන්නෙ. ජේ. ආර් වගේ ජාතික ආණ්ඩුවකට ආරාධනා කළත් පලක් දැන් වෙන්නේ නැහැ. ජනමත විචාරණයකට හෝ මැතිවරණයකට නොගිහින් ජනමතය ඔත්තුකාරයන් යොදවලා තමන් කැමති විදියට තියෙනව කියලා හිතාගෙන වැඩ කරන්න හදන පාටයි. ප්‍රාදේශීය මැතිවරණය තිබ්බා නම් හරි ජනමතය දැන ගන්න තිබුණා. ඒත් ඒකත් හිතාමතා කඩාකප්පල් කළ බවක් අපට දැන් පෙනෙනවා.‍ විශ්වාසදායක බහුජන මතයක් නොමැතිව රටේ සම්පත් අසාධාරණ ලෙස විකිණීම වැනි අනාගත පරපුරට බලපාන තීන්දු තීරණ ගන්න එක අනුමත කරන්න බැහැ. 

අද ජනතාව හරි අඩක් කුසගින්නෙන් පීඩා විඳිනවා. ඔවුන්ට උද්ඝෝෂණය කරන්න තරම් හයියක් නැහැ. ඒ වගේම අනාගතයේ එන මන්දපෝෂණය බරපතල ප්‍රශ්නයක් වන බවට දැනටමත් විශේෂඥයන් අනතුරු අඟවා තියෙනවා. තවදුරටත් දරන්න බැරි තරමට ජනතාවට බර පටවලා. ආදායමට වඩා රජයේ ආයතනවලින් ලැබෙන බිල්පත් විශාලයි. ඔත්තුකාරයන් යොදවා ජනතාව විඳින දුක සොයා බැලුවොත් තත්වය පැහැදිලි කර ගත හැකි වේවි. තවත් ඉවසන්න කියා කියන්න එපා! ඒවාට සුදුසු පිළියම් යොදන ගමන් IMF කොන්දේසි ක්‍රියාවට නංවන්න පුලුවන් නම් තමා වඩා හොඳ. ඒත් එහෙම කරන බවක් පේන්නෙ නෑ. තමන් දරන මතයට විරුද්ධ මත දරන අය මර්ධනය කරන්න යාමෙන් තව තවත් විරුද්ධවාදීන් වර්ධනය වීමයි සිදුවන්නේ. 

මේ අදූර්දර්ශී ක්‍රියාවන් නිසා දැන් රටපුරා උද්ඝෝෂණ ඇවිලිලා. උද්ඝෝෂණ සඳහා දිනපතා නව මාතෘකාවන් සපයන බවක් පේනවා. තව තවත් නව සංවිධාන වීදි බසින බවක් අපට පේනවා. රටපුරා ‘වීදි සටන්’ තව තවත් දිග්ගැස්සුණොත් සමහර විට මෙවරත් IMF ණයෙහි ඉතුරු කොටස් අපට නොලැබී යන්න පුලුවන්. එහෙම වුනොත් රනිල් අන්තිමට IMF කියන ඔය අකුරු තුනෙන්ම I’M Fail කියලා අපට ආයිත් සැරයක් හිනාවෙයි. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments