මෘදු මේරි සහ රුදු මේරි හෙවත් ජෝන් වික්ගේ ජීවිතය – John Wick : Chapter 4 – Review

Avatar Kavinu Weerakkody | March 30, 2023 116 Views 1 Like 4.67 On 3 Ratings

116 Views 4.67 On 3 Ratings Rate it

සටහන : මහේල හෙට්ටිආරච්චි

ජෝන් වික් යනු ඝාතකයෙකි. ලෝකය පුරා පැතිර ඇති ඝාතකයන්ගේ එකතුවකින් යුතු සංවිධානයක සාමාජිකයෙකු වන ඔහු ඝාතනයෙහි අති දක්ශයෙකි. වැන්දඹු, සිය ඝාතන දිවිය ගැන කලකිරීමට පත්ව ඇති, මේ මැදිවිය අවසන් කරමින් සිටිනා ඝාතකයාගේ ජීවිතයේ තවත් අදියරක් සිනමාවට නගා අප වෙතට රැගෙන එන්නේ අධ්‍යක්ශක Chad Stahelski ය. චැඩ්, නිකුත් වී ඇති ජෝන් වික් චිත්‍රපට හතරේම අධ්‍යක්ශකවරයාය. චිත්‍රපට හතරම ශක්තිමත් නොවන, කලබලකාරී Flow එකක ගමන් කිරීම, චරිත වල අතිශය අක්‍රමවත් වර්ධනය, චරිත වල, ස්තාන වල, සිදුවීම් වල අනන්‍යතාවය රැක නොගැනීම, ආදී Franchise සිනමාව තුල දී නිරන්තරයෙන් සිදු වන අඩුපාඩු, John Wick තුල දකින්නට නොලැබීම සඳහා හේතුව Chad විය යුතුය.

සිව් වැනි චිත්‍රපටය තුල ද ජෝන් තමා සේවය ලබාදුන් සංවිධානයෙන් ඉවත් වී නිදහස් වීමට මාර්ගයක් සොයා යයි. ජෝන් හට නිදහස ලැබෙන්නේ මරණයෙන් පමණක් යැයි සංවිධානය තුල සාමාජිකයන් අතර ඇති මතයයි. ඒ මතයට අභියෝගයක් වීම සහ ජීවිත කාලය තුලම සිය නිදහස ලඟා කර ගැනීම ජෝන් ගේ අරමුණයි.
John Wick 4 චිත්‍රපටයේ ආරම්භක මොහොතේ සිට පෙනෙනා සුවිශේෂ කරුණක් නම් රචකයන් මේ තුල ක්‍රියාදාම වලට වඩා කතාවට අතිශය සියුම් අවධානයක් දී ඇති බව. මේ දිනවල සැක් ස්නයිඩර්ගේ චිත්‍රපට කිහිපයකටම සිය තිර රචන දායකත්වය සපයමින් සිටිනා Shay Hattern සහ Michael Finch යුගළය, ජෝන් වික් සිවුවැනි චිත්‍රපටයට එතරම් වේගවත් නොවන ආරම්භයක් ලබා දෙයි. එහෙත් ටිකෙන් ටික චිත්‍රපටය තුල ඇති කුතුහලය ඉහළ නැංවීමට ද, උද්වේගකර බව ඉහළ නැංවීමට ද, ඒ තුලින් අවසාන මිනිත්තු 30 තුල ප්‍රේක්ශකයාව ඔවුන් අසුන් ගෙන සිටිනා අසුන් වලින් නැගිට්ටවීමට ද ඔවුන්ගේ රචනයට හැකියාව ලැබෙයි.

යකූසා, හමමුචි, ඉනාගාවා වැනි ජපන් මාෆියා සංවිධාන වල සටන් සිහි කරනා දර්ශන ද, අමෙරිකානු පන්නයේ Hand to Hand Combats සහ වෙඩි තබා ගැනීම් ද, Old Western සිනමා පට වල එන වෙඩි තබා ගැනීම් දර්ශන සිහි කරනා දර්ශන නොඅඩුව ඇති John Wick 4 චිත්‍රපටය තුල මේ සටන් Choreograph කර ඇති ආකාරය ඉතා සුවිශේෂ ය.
එක දර්ශනයක කාමරයෙන් කාමරයට යමින් සිදු වන, වෙඩි තබා ගැනීමේ සටනක්, Bird Eye View එකකින් පෙන්වීමට John Wick කැමරා අධ්‍යක්ශක Dan Laustsen තීරණය කරයි. මේ සටන තුල ජෝන්ගේ අතෙහි ඇත්තේ, උණ්ඩ ද සමග ගින්දර නිකුත් කරනා, Genesis Arms Gen-12 මාදිලියේ තුවක්කුවකි. කාමරයෙන් කාමරයට යමින් සිදුවන සටන ද, තැන තැන ගිනි ජාලා සමග මැරී වැටී සිටිනා සතුරන් ද, දෙස ප්‍රේක්ශක අප ඉහළ සිට බලා හිඳින්නේ Video Game එකක් ක්‍රීඩා කරනවා වැනි හැඟීමකිනි.

තවත් තැනක පඩිපෙළක සිදුවන සටනකි. තමාගේ ගමනාන්තය සඳහා පඩිපෙළ නැගිය යුතු ජෝන් හට පඩිපෙළේ අවසාන අදියරේ දී එල්ල වන්නේ දැවැන්ත පහරකි. ජෝන්, පඩි පෙළෙහි ඉහළ සිට පහළට පෙරළි පෙරළී එයි. ඔහු ඉහළට නැගි සියලු පඩි පසුකර එමින්, පෙරළෙමින්, නැවතත් ඔහු පඩි පෙළෙහි ආරම්භයට එන සැටි ප්‍රේක්ශක අප දකියි. උද්වේගකර සටනක් මැද, ජෝන් වෙනුවෙන් අනුකම්පාව ද, ජෝන් පෙරළෙමින් පහළට එනු දකින විට කුඩා හාස්‍යයක් ද අප තුල ඉපදෙයි.
මේ අන්දමට, ස්ථාන ද, කතාව ද, සිදුවීම ද, රංගනය ද, කැමරාකරණය ද, සංස්කරණය ද සියල්ල සෑම තැනකදීම නිසි ලෙස ඒකාත්මික වෙයි.

චිත්‍රපටයේ කතා කළ යුතුම අංගයක් වන්නේ සංගීතයයි. පෙර චිත්‍රපට තුනටම සංගීතයෙන් දායක වී ඇති Tyler Bates සහ Joel Richard යුගළය මෙහි ද සංගීත අධ්‍යක්ශණයෙන් දායක වෙයි. සංගීත අධ්‍යක්ශණයට වඩා මෙහිදී දක්නට ඇති සුවිශේෂීම කාරණය ඔවුන් සහ අධ්‍යක්ශකවරයා, රචකයන් එක්ව ගන්නා නිර්මාණාත්මක තීරණයන් (Creative Decisions) ය.
ජෝන් ට කිසිසේත් පැරිස් නගරයේ වීදි අතර නිදහසේ ඇවිද යා නොහැකි රාත්‍රියක් උදා වෙයි. ඔහු යනෙන සියලු මාර්ග වල සිටින්නේ ඔහුගේ හිස සොයමින් පැමිණෙන සතුරන් ය. ජෝන් ඔවුන් සමග සටන් කරමින් ඉදිරියට ඇදෙයි. මේ අතර ගීතයක් වාදනය වෙයි. ඒ Marie douceur, Marie colère නම් ගීතයයි. මෙය ප්‍රංශ භාශාවෙන්, ගයන්නේ Marie Laforêt නම් ස්විට්සර්ලන්ත සම්භවයක් ඇති ගායිකාවයි. චිත්‍රපටයේ වාදනය වන්නේ Original ගීතයට වඩා වේගයෙන් අඩු Cover Song එකකි.

ගීතයේ නමෙහි තේරුම “Soft Marie, Angry Marie” යන්නයි. කාන්තාවක්, තමා මෘදු යැයි අන් අය සිතනා නමුත්, ඇය ආදරය කරනා පිරිමියාට එරෙහිව ඕනෑම මොහොතක රුදු වන්නට ඇයට හැකි බව මෙම ගීතයෙන් කියයි.

Soft Mary has a lot, a lot of patience
Yes but one day you will see joining the dance
Angry Mary with lightning in the eyes
I know which one will be more afraid of the two us

රචකයා සිතන්නේ මේරි යනුවෙන් මෙහි සංකේතවත් වන්නේ දෛවය බවයි. අපේ දෛවය, අපටම නපුරු විය නොහැක්කේ ද..? රචකයා එසේ සිතයි. එහෙත් මේරි යනුවෙන් චිත්‍රපටය තුල පැරිස් නගරය නිරූපණය වන බවට ද අදහස් පළ වී තිබුණි. මෙවැනි කුඩා, එහෙත් විශාල බලපෑමක් කල හැකි, එසේම සාකච්ඡාවන්ට බොහෝ විට තුඩු දෙන අන්දමේ, නිර්මාණාත්මක තීරණ (Creative Choices) වලින් චිත්‍රපටයේ සංගීතය පිරී ඇත.

Keanu Reeves ගේ රංගනය අති විශිෂ්ටය. මරණයෙන් තොර මානසික නිදහසක් ගැන සිතිය නොහැකි, එහෙත් කුඩා හෝ නිදහසක් ලබා ගැනීම සඳහා මරණය පරයා සටන් කළ යුතු, සටන හැර වෙන විකල්පයක් නොමැති, මැදි වියෙහි අවසානය ගෙවමින් සිටිනා, ඝාතකයාගේ චරිතයට ජෝන් සිවු වැනි වතාවට ද පරිපූර්ණව ප්‍රාණය ලබා දෙයි. Donnie Yen, කේන් ලෙස ප්‍රධාන දුශ්ට චරිතයට පණ පොවයි. එහෙත් එය දුශ්ට චරිතයක් යැයි සැලකිය නොහැකි තරමට සාධාරණ සහ අසරණ චරිතයක් ලෙස ලියැවී ඇත. කේන් ද, ජෝන් මෙන්ම නිදහස සොයන්නෙකි. Donnie සිය චරිතය හරහා, සමහර දර්ශන තුල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය අභිබවා යමින් ප්‍රේක්ශක ආකර්ශණය හා ආදරය දිනා ගනියි.

John Wick 4 අමෙරිකාවේ, ප්‍රංශයේ සහ ජපානයේ රූපගත කිරීම් සිදු කොට ඇත. Dan Laustsen ගේ කැමරා ඇසට හසු වූ අතිශය දර්ශනීය, භූමි දර්ශන චිත්‍රපටය වෙත අපව තව තවත් ඇද බැඳ තබා ගනී. John Wick, Franchise එක තුල නිකුත් වුණ චිත්‍රපට අතර සුවිශේෂ ස්ථානයක් සිවු වැනි චිත්‍රපටයට හිමි වේ. වඩාත් දාර්ශනික, වඩාත් කතාවට මුල් තැන දුන්, Action Choreography වඩාත් සැලසුම් සහගත ලෙස සිදු කර ඇති, John Wick සිවුවැනි චිත්‍රපටයේ උපරිම රසාස්වාදය ලබාගත හැක්කේ සිනමා ශාලාවක් තුල එය නැරඹීමෙන් බව රචකයා සිතයි.

“ජෝන් වික් හට නිදහස ද සාමය ද ලඟා කරගත හැක්කේ මරණයෙන් පසු පමණයි.”

චිත්‍රපට ආරම්භයේදී ම යමෙකු පවසයි. චිත්‍රපටයේ අවසානය තෙක්ම ප්‍රේක්ශක ඔබ එය මතකයේ රඳවා ගත යුතු ය.

Share

116 Views 4.67 On 3 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.