Jawan – ශාරුක්ගේ මීළඟ බොක්ස් ඔෆිස් කුණාටුව ජුනි මාසයේදී

Avatar Kavinu Weerakkody | March 30, 2023 88 Views 0 Likes 0 Ratings

88 Views 0 Ratings Rate it

ඉන්දියානු කෝටි 1000කට අධික ආදායමක් රැස් කරගනිමින් දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගත් Pathaan හින්දි චිත්‍රපටයෙන් පසුව, ශාරුක් ඛාන් ඔහුගේ නවතම චිත්‍රපටය වන Jawan හි රූගත කිරීම් සඳහා නැවතත් එක්වී තිබෙනවා. මේ වනවිට චිත්‍රපටයේ සම්පූර්ණ රූගත කිරීම්වලින් බොහෝ ප්‍රමාණයක් අවසන් අතර ඉතිරිව තිබෙන්නේ දින 10-15ක රූගත කිරීම් කොටසක් පමණක් බවයි පැවසෙන්නේ.

මේ දිනවල මුම්බායි හි චිත්‍රාගාරයක් තුළ සිදු වන මෙම Jawan හි දර්ශන පෙළ සඳහා ශාරුක් ඛාන් රංගනයෙන් එක්වන්නේ තවත් සුප්‍රසිද්ධ බොලිවුඩ් නලුවෙකු වන සංජේ දත් සමඟිනුයි. සංජේ දත් පසුගිය දිනවල Leo නැමැති දමිළ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙමින් කාශ්මීර් ප්‍රදේශයේ රැදී සිටියත්, එහි ඔහුට අයත් දර්ශන සියල්ල අවසන් වූ වහාම නැවතත් මුම්බායි වෙත පැමිණ ශාරුක්ගේ Jawan රූගත කිරීම්වලට සම්බන්ධ වූවා.

ශාරුක් ඛාන්ගේ ප්‍රධාන රංගනයෙන් හැඩවන මෙම Jawan චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසිද්ධ දමිළ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ Atlee Kumar විසිනුයි. Raja Rani, Their, Mersal, Bigil වැනි ආදායම් වාර්තා තැබූ දමිළ වාණිජ චිත්‍රපට රැසක් නිර්මාණය කළ ඔහුගේ පළමු හින්දි සිනමාපටය වන්නේ ද මෙයයි.

Pathaan චිත්‍රපටයට පෙර ශාරුක් ඛාන් රඟපෑ චිත්‍රපට රැසක් එකදිගට ආදායම් අතින් අසාර්ථක වූ නිසා සමාජ මාධ්‍ය තුළ මෙන්ම ප්‍රේක්ෂකයින්ගෙනුත් ඔහුට එල්ල වුනේ ඍණාත්මක ප්‍රතිචාරයක්. රසිකයින් බොහෝ දෙනෙකු ශාරුක්ට අවලාද නැඟුවේ තිර පිටපත් තෝරාගැනීමේදී ඔහු මීට වඩා සැලකිලිමත් විය යුතු බවටයි. මෙම අසාර්ථකත්වයත් සමඟින් ඔහු වසර 05කට ආසන්න කාලයක් සිනමාවෙන් නිහඬව ගත කළ අතර එම කාලය අතරතුර ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ කිසිදු චිත්‍රපටයක් නිකුත් වූයේ ද නැහැ.
හින්දි සිනමාවේ සදාතනික ආදරවන්තයා Shah Rukh Khan, දමිළ සිනමාවේ ඒ වනවිට ජනප්‍රියතම අධ්‍යක්ෂකවරයා වූ Atlee Kumar සමඟ නවතම චිත්‍රපටයකට එක්වන බවට විවිධ ප්‍රවෘත්ති සහ ඉඟි පළවුනේ එම නිහැඬියාව අතරතුරේදී යි.

අන්තර්ජාලය පුරා මෙම ආරංචිය පැතිරීමත් සමඟ, උතුරු ඉන්දියානු සිනමාව මෙන්ම දකුණු ඉන්දියානු සිනමාවත් එක ලෙසම උද්යෝගයෙන් මේ ගැන සොයා බලන්නට පටන් ගත්තා. ශාරුක්ගේ වසර ගණනක නිහැඬයාවත් සමඟ ඔහුගේ රසිකයින් බලා සිටියේ ශාරුක් සම්බන්ධ වන නවතම චිත්‍රපටය කුමක්ද යැයි දැන ගැනීම වෙනුවෙනුයි. දමිළ සිනමාවේ දැවැන්තම තරුව ලෙස සැලකෙන විජෙයිගේ චිත්‍රපට තුනක් එක පෙලට අධ්‍යක්ෂණය කළ නිසා තමිල්නාඩු සිනමා රසිකයින් බලා සිටියේ Atlee විසින් අධ්‍යක්ෂණය කරන ඊළඟ නිර්මාණය ගැන දැන ගන්නා තුරුයි.
මෙනිසා උතුරු – දකුණු සිනමා කර්මාන්ත ද්විත්වයේම උණුහුම මධ්‍යයේ මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු 2020 වසරේදී නිල වශයෙන්ම ආරම්භ වුනා.

සිය පළමු හින්දි චිත්‍රපටය ලෙසින්, මෙහි ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන්නේ සුරූපී දමිළ නිළි Nayantharaයි. ඉන්පසුව Priyamani, Sunil Grover, Yogi Babu සහ Sanya Malhotra වැනි දමිළ – තෙළිඟු – හින්දි සිනමා ක්ෂේත්‍රවල ජනප්‍රිය තරු ගණනාවක්ම මීට සම්බන්ධ වුනා. චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතයට මුලදී තෝරාගෙන තිබුනේ තෙළිඟු නලු Rana Daggubatiව වුවත්, සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා එම භූමිකාව හිමි වුනේ දමිළ නලු විජේ සේතුපතිටයි.
2022 අගෝස්තු මාසයේදී කැමියෝ චරිතයක් සඳහා දීපිකා පදුකෝන් එක්වුනු අතර දමිළ නලු Thalapathy Vijay ද මෙහි තවත් කැමියෝ චරිතයකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. Jawan හි කැමියෝ චරිතයකට එක්වුනු නවතම සිනමා රංගන ශිල්පියා වන්නේ මේ දිනවල ඊට සම්බන්ධ වී සිටින Sanjay Dutt ය.

සුප්‍රසිද්ධ තෙළිඟු නලු අල්ලු අර්ජුන්ටත් මෙහි කැමියෝ චරිතයක් සඳහා ආරාධනා කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඊට හේතුව බවට පැවසෙන්නේ Pushpa 02 චිත්‍රපටයේ රූගත කිරීම්වලට කාර්යබහුල වී සිටින නිසා මෙම චිත්‍රපටයට දින ලබා දීමට ඔහුට නොහැකි වූ බවයි.

2020 වසරේදී ඇරඹි මෙහි පූර්ව නිෂ්පාදන කටයුතුවලින් පසුව 2021 සැප්තැම්බර් මාසයේදී Jawan හි රූගත කිරීම් ඇරඹුනා. පූනෙයි ප්‍රදේශයේ සිදු වූ නයනතාරා සහ ශාරුක් ඛාන්ගේ දින දහයක රූගත කිරීම්වලින් පසුව හයිද්‍රාබාද් සහ මුම්බායි හිදී සෙසු දර්ශන රූපගත කෙරුනා.
හින්දි නිළි දීපිකා පදුකෝන් සිය කැමියෝ චරිතයට සම්බන්ධ වූයේ පසුගිය අගෝස්තු මාසයේ චෙන්නායි හිදීයි. මාසයකට අධික කාලයක් චෙන්නායි නගරය ආශ්‍රිතව සිදු කළ රූගත කිරීම් තුළ විජෙයි සේතුපති සහ ශාරුක්ගේ සටන් දර්ශන සහ සිර මැදිරියක දර්ශන කිහිපයක් පවතින බවත් අන්තර්ජාලයේ සඳහන්..!
Jawan චිත්‍රපටයේ අවසාන දර්ශන කොටස් රූගත කළේ උතුරු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේයි. එහි නයනතාරා සහ ශාරුක් රඟන කොටස් සඳහා දින 20කට අධික ප්‍රමාණයක් වැය වී තිබූ අතර ශාරුක්ගේ chasing scenes කිහිපයක් රූගත කිරීමෙන් පසුව මූලික කොටස්වල රූගත කිරීම් සියල්ලම පාහේ අවසන් වුනා.

මෙහි සංගීතය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වීමට නියමිතව තිබුනේ A.R. Rahman වුවත් අවසන් මොහොතේදී ඔහු මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වූ අතර ඉන්පසුව එම අවස්ථාව හිමිවුනේ වර්තමාන තමිල්නාඩු තරුණයින් අතරෙ හි ජනප්‍රියම සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස සැලකෙන Anirudh Ravichanderටයි. අනිරුද්ගේ සංගීතයෙන් හැඩවන පළමු හින්දි සිනමාපටය වන්නේ ද මෙයයි. A. Ruben සංස්කරණයෙන් සහ G. K. Vishnu කැමරා අධ්‍යක්ෂණයෙන් මෙම නිර්මාණයට සම්බන්ධ වනවා. අධ්‍යක්ෂණයට අමතරව තිර පිටපත රචනා කර තිබෙන්නේ ද Atlee Kuamr විසින්මයි. සටන් අධ්‍යක්ෂණය Sunil Rodrigues සහ ANL Arasu සුසංයෝගයෙනි.

එළඹෙන ජුනි 02 වනදා Jawan ලෝ පුරා සිනමාහල් වලට නිකුත් වන බවට මුලදී නිවේදනය කර තිබුනත්, දැන් එය පිළිබඳව යම් ගැටලුවක් මතුව තිබෙනවා. ඒ චිත්‍රපටයේ තවත් සුලු කොටස් කිහිපයක රූගත කිරීම් ඉතිරිව ඇති නිසා සහ මෙය අධික VFX දර්ශන ප්‍රමාණයක් සහිත චිත්‍රපටයක් නිසායි. ජුනි 02 වනදා වනවිට Jawan හි VFX දර්ශන සියල්ලම අවසන් කිරීමට හැකි වේදැයි දැන් බොහෝ දෙනෙකු මතුව තිබෙන ප්‍රශ්නයක්. බොහෝදුරට මෙය සැප්තැම්බර් – ඔක්තෝබර් තෙක් කල් දමනු ඇති බවටයි ඔවුන් ඉඟි පළ කරන්නේ.
නමුත් විශ්වාසදායක ආරංචි මාර්ග පවසන්නේ, නිවේදනය කළ පරිදි ජුනි 02 වනදාටම Jawan තිරගත කිරීමට නිෂ්පාදක කණ්ඩායම දැඩි විශ්වාසයකින් සිටින බවයි. Red Chillies Entertainment වෙනුවෙන් මෙය ශාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන්ගේ නිෂ්පාදනයකි.

මේ අතර Jawan සිනමාපටයට අමතරව රාජ්කුමාර් හිරානිගේ DUNKI සිනමාපටයේ නිෂ්පාදන කටයුතු සඳහාත් ශාරුක් ඛාන් සම්බන්ධ වී තිබෙනවා. Munna Bhai MBBS, 03 Idiots, PK, Sanju වැනි අනර්ඝ චිත්‍රපට රැසක් නිර්මාණය කළ රාජ්කුමාර් හිරානි විසින් ශාරුක්ව අධ්‍යක්ෂණය කරන්නේ පළමු වතාවටයි. ශාරුක්ගේ සෙසු චිත්‍රපටවලට වඩා වෙනස් හාස්‍යමය ගණයේ චිත්‍රපටයක් ලෙස සැලකෙන Dunki මෙම වසරේ අග භාගයේදී තිරගත කිරීමට නියමිතයි.

Share

88 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.