වනිඳුට පළවෙනි තැන අහිමි වෙයි

208
Afghan spinner Rashid Khan has risen back to the top

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට නැවතත් පැමිණීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Rashid Khanට හැකිව තිබෙනවා.

පසුගිය දා 2-1ක් ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය වාර්තා කරමින් නිමා වුන පාකිස්තාන තරගාවලියේ දී පන්දුවාර 12ක් යොමු කරමින් ලකුණු 62ක් තුළ කඩුලු 3ක් දවා ගැනීමට Rashid Khan සමත් වූ අතර එම දස්කම් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග පසුපසට ඇද දමමින් පෙරමුණ ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

2018 වසරේ දී පළමු වරට විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණට පැමිණි Rashid Khan අවසන් වරට පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වුනා.

පාකිස්තාන තරගාවලියේ කඩුලු 4ක් දවා ගත් Mujeeb Ur Rehman ස්ථාන 8ක් ඉදිරියට පැමිණෙමින් 10 වැනි ස්ථානයට පැමිණ ඇති අතර තරගාවලිය පුරාවට කඩුලු 5ක් දවා ගත් Fazalhaq Farooqi ස්ථාන 12ක් ඉදිරියට පැමිණ තුන්වැනි ස්ථානයේ රැඳී සිටීම විශේෂත්වයක්.

එමෙන්ම පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ Ibrahim Zadran 41 වැනි ස්ථානය දක්වා සහ Mohammad Nabi 58 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවැනි තරගයේ සටන්කාමී ලකුණු 64ක් ලබා ගත් පාකිස්තාන ක්‍රීඩක Imad Wasim පිතිකරුවන් අතර 67 වැනි ස්ථානයට පැමිණෙද්දී, Shadab Khan පන්දු යවන්නන් අතර 12 වැනි ස්ථානයට සහ Mohammad Wasim 32 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

Rilee Rossouw පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානය දක්වා සහ Reeza Hendricks 12 වැනි ස්ථානය දක්වාත් ඉහළට පැමිණ තිබෙනවා.

දකුණු අප්‍රිකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති තරගාවලියේ දෙවැනි තරගයේ දී පන්දු 46ක් තුළ ලකුණු 118ක් ලබා ගත් කොදෙව් ක්‍රීඩක Johnston Charles අංක 17 දක්වා ස්ථාන 92ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඉන්දියාව සමඟ පැවති තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Adam Zampa එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර Mitchell Marsh සහ Alex Carey එක්දින පිතිකරුවන් අතර 51 සහ 21 වැනි ස්ථාන දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

එමෙන්ම ඉන්දීය නායක Rohit Sharma පිතිකරුවන් අතර 08 වැනි ස්ථානය දක්වා සහ පසුගිය කාලසීමාවේ දැක්වූ දස්කම් නිසා Hardik Pandya පන්දු යවන්නන් අතර ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 76 වැනි තැන පසු වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<