දුවන්න කරන්න කම්මැළි ද?; කමක් නැහැ මෙන්න IPL වලින් විසඳුමක්!

IPL 2023

1167

විස්සයි විස්ස තරගයක දී කණ්ඩායමක ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් ප්‍රමාණය 11 සිට 12 දක්වා ඉහළ දැමීම මගින් මෙවර IPL තරගාවලියේ දැවැන්ත වෙනසක් සිදු වේවි යැයි බොහෝ දෙනෙකු විසින් විශ්වාසය පල කරනවා.

2008 වර්ෂයේ දී ආරම්භ වූ IPL තරගාවලිය දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් ඉදිරියට පැමිණි අතර මෙවර පැවැත්වීමට නියමිත 16 වැනි සංස්කරණය පෙර පැවැත්වුණු තරගාවලි සියල්ලටම වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇති බව අනුමාන කළ හැකියි.

ඒ වෙනුවෙන් තරග සංවිධායකයින් විසින් ගෙන ආ Impact Player සංකල්පය මෙන්ම, තරග නීතිරීතිවල සිදු වූ තවත් වෙනස්කම් කිහිපයක් ද විශාල බලපෑමක් එල්ල කරනු ඇත.

මෙහි දී තරගයක් ආරම්භ කිරීමට ප්‍රථම සෑම කණ්ඩායමකට ම තරගයට පෙර Impact Player ලෙස ක්‍රීඩකයින් සිව් දෙනෙකු නම් කළ හැකි අතර තරගයේ ඕනෑම අවස්ථාවක දී ඉන් එක් අයෙකු පමණක් තරගයේ ක්‍රීඩා කරමින් සිටින ක්‍රීඩකයකුට ආදේශ කිරීම සිදු කළ හැකියි.

නමුත් අතීතයේ පටන්ම ඕනෑම IPL කණ්ඩායමකට තරගයක භාවිත කළ හැක්කේ විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනෙක් පමණක් වන බැවින් විදෙස් ක්‍රීඩකයකු Impact Player ලැයිස්තුවේ රඳවා ගැනීමට නම් තරගය ක්‍රීඩා කරන මුල් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණය හතරට වඩා අඩු විය යුතුයි.

එමෙන්ම මෙවර IPL සමඟම අලුත් වන තවත් නීතියක් ලෙස කාසියේ වාසිය උරගා බැලීමට පෙර ඕනෑම නායකයකුට කණ්ඩායම් සංයුතීන් දෙකක් (Team Sheets) සූදානම් කර ගැනීමට අවස්ථාව ලැබීම සහ කාසියේ වාසියෙන් පසුව එම කණ්ඩායම් දෙකෙන් එකක් තෝරා ගැනීමට අවකාශය හිමි වීම හඳුන්වා දිය හැකියි.

මෙම Impact Player සංකල්පය කණ්ඩායමක් නියෝජනය කරන එක් අංශයකට පමණක් විශේෂීකරණය වූ ක්‍රීඩකයින් සහ අඩු ශාරීරික යෝග්‍යතාවක් සහිත ක්‍රීඩකයින්ට වාසිදායක එකක් වනු ඇති බව හිටපු ඉන්දීය කඩුලු රකින්නකු වන Deep Dasgupta විසි පැහැදිලි කරනවා.

Amit Mishra (Delhi Capitals) හෝ Piyush Chawla (Mumbai Indians) වැනි කෙනෙක් ගන්න. ඔවුන් ක්‍රීඩා පිටියේ හොඳින් එහා මෙහා දුවන ක්‍රීඩකයින් නොවෙන්න පුළුවන්, ඒ වගේම ඔවුන්ගේ වයසත් එක්ක පිතිකරණයේ දීත් තරමක් පසුබානවා. නමුත් ඔවුන් තමන්ගේ ප්‍රධාන වගකීම වෙන පා දඟපන්දු යැවීම ගැන හොඳින්ම දන්නවා. ඔවුන්ට නියමිත පන්දුවාර හතර යවලා තරගයෙන් එළියට යන්න පුළුවන්.”

එමෙන්ම Dasguptaගේ මෙම පැහැදිලි කිරීම අනුව Delhi Capitals සතු වන හොඳම වේගපන්දු යවන්නා වන Anrich Nortje වැනි ක්‍රීඩකයෙකුට (නිතර ශාරීරික යෝග්‍යතා පිළිබඳ ගැටලු ඇති වන නිසා) සිය පන්දුවාර හතර යොමු කිරීමෙන් පසු පිටියෙන් ඉවත් ව යාමට ඉඩ ලබා ගත හැකියි.

කණ්ඩායමකට තුන් ඉරියව් ක්‍රීඩකයින් නැති වීම තවදුරටත් ගැටලුවක් නෙවෙයි!

Ravindra Jadeja හෝ Hardik Pandya වැනි වටිනා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු නොමැති කණ්ඩායමකට එම අඩුව පුරවා ගැනීමටත් මෙම Impact Player සංකල්පය මගින් ඉඩ විවර වනවා.

මේ සඳහාත් හොඳම උදාහරණයක් Delhi Capitals කණ්ඩායමෙන් ම ලබා ගත හැකි අතර, ඔවුන්ගේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු සහ නිතරම දුර්වල ශාරීරික යෝග්‍යතාව හේතුවෙන් ගැටලු ඇති කර ගන්නා Prithvi Shaw වැනි ක්‍රීඩකයකු පිතිකරුවෙකු ලෙස පමණක් භාවිත කරමින් වෙනත් පන්දු යවන්නකු ඔහුගේ ආදේශකය ලෙස භාවිත කිරීමට මින් අවස්ථාව හිමි වනවා.

“මේක හරියට පාපන්දු වල ක්‍රීඩක ආදේශනය වගේ දෙයක්. මේ මගින් IPL තවත් රසවත් වේවි. මේ නිසා තරග තවත් තියුණු වේවි.”

හිටපු ඉන්දීය වේගපන්දු යවන්නෙකු වන Lakshmipathy Balaji විසින් Impact Player සංකල්පය පිළිබඳ එසේ පවසනවා.

කාසියේ වාසිය තව දුරටත් ප්‍රබල සාධකයක් නොවේවි!

සීමිත පන්දුවාර තරගවල දී, විශේෂයෙන්ම විස්සයි විස්ස තරගවල දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායමට පින්න නිසා අත් වන වාසි පිළිබඳව කලක පටන්ම බොහෝ සෙයින් කතාබහට ලක් වූ අතර, කාසියේ වාසියෙන් පසුව කණ්ඩායම තෝරා ගැනීමට ඉඩ ලැබීමෙන් මෙන්ම Impact Player නීතිය නිසාත් එම අනවශ්‍ය වාසිය යම් පමණකට හෝ අවම වනු ඇති බවත් බොහෝ දෙනෙකු විශ්වාස කරනවා.

එමෙන්ම කාසියේ වාසිය වැනි දවසේ වාසනාව මත බලපැවැත්වෙන සාධකයක් තරගයකට එල්ල කරන බලපෑම අවම කිරීමට හැකි වේ නම් එය අතිශය අගය කළ යුතුයි.

“දැන් තරගයක දෙවැනි ඉනිමේ පන්දු රකින කණ්ඩායමට අමතර පන්දු යවන්නෙකු තබා ගත හැකි. කාසියේ වාසිය මගින් විස්සයි විස්ස තරගයකට එල්ල කළ විශාල බලපෑම අවම කර ගත හැකි.”

මෙම නව නීති පිළිබඳ පවසමින් Dasgupta පවසා සිටියා.

එමෙන්ම මීට පෙර 2000-10 දශකය මැද භාගයේ ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන් Super Sub නීතිය ද Impact Player හා සමානම එකක් වූ නමුත් එකල Super Sub ක්‍රීඩකයා තරගයේ කාසියේ වාසිය පෙර නම් කළ යුතුව තිබුණා.

“කාසියේ වාසියෙන් පසුව ක්‍රීඩකයකු තෝරා ගැනීමට ලැබීම සමඟ පෙර නීතියට වඩා මෙම නීතිය සමබර වෙනවා.”

Lakshmipathy Balaji විසින් Super Sub නීතිය පිළිබඳව ද සිය මතකය අවදි කරමින් පවසා සිටියා.

එමෙන්ම මෙම Impact Player නීතිය මීට පෙර ඕස්ට්‍රේලියාවේ Big Bash ලීගය මගින් හඳුන්වා දුන් X- Factor සංකල්පයට ද තරමක් දුරට සමානයි.

එමෙන්ම මෙවර IPL තරගාවලියේ පටන් පිටියේ විනිසුරුවරුන් විසින් ලබා දෙන වයිඩ් සහ නිපන්දු තුන්වැනි විනිසුරුට යොමු කරමින් නැවත විමසා බැලීමේ (DRS) අවස්ථාව ද පිතිකරුවන්ට හිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් IPL තරගාවලිය ආරම්භ වී නොමැති හෙයින් මෙම නව නීති තරගයකට කෙතරම් බලපෑමක් එල්ල කරාවි ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත නොහැකි නමුත්, මෙම මස 31 වැනිදායින් පසු මෙම නව නීති පිළිබඳ ඇති කතාබහ නම් මීටත් වඩා ඉහළ යනු ඇති බව අනුමාන කළ හැකියි.

මෙවර IPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<