දඟපන්දුවේ ජැෆ්නා බුලට් එක

365

නිමා වූ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගත්තේ මූවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන තීසන් විතුසාන්.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 21 හැවිරිදි විතුසාන් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දී Jaffna Kings කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

“මූවර්ස් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක් ම මට හොඳ සහයෝගයක් ලබා දුන්නා. පුහුණුවීම්වල දී වගේ ම තරගවලදීත් ඔවුන් මා කෙරෙහි තැබූ විශ්වාසය නිසයි මට මේ වගේ ගමනක් එන්න ලැබුණේ. ඒ ගැන සතුටුයි,” තීසන් විතුසාන් ThePapare.com සමඟ එකතු වෙමින් පැවසුවා.

විතුසාන්ගේ කඩුලු දඩයම
කණ්ඩායම ක්‍රීඩාංගණය O M R W NB WI
1 හලාවත මේරියන්ස් මූවර්ස් 22.5 5 74 4 0 0
2 BRC BRC 17 3 62 3 0 0
12 4 32 3 0 0
3 බ්ලූම්ෆීල්ඩ් මූවර්ස් 11.1 4 27 7 0 0
24 4 62 4 0 0
4 කෝල්ට්ස් මූවර්ස් 18.2 3 53 6 0 0
5 SSC කෝල්ට්ස් 13 5 28 2 0 0
6 රාගම ආර්. ප්‍රේමදාස 36.5 4 102 5 0 0
155.1 32 440 34 0 0

මෙම තරගාවලියේ දී ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ලකුණු 27කට දවා ගත් කඩුලු 7යි. එම තරගයේ දී දෙවැනි ඉනිමේ දී  ලකුණු 62කට කඩුලු 4ක් දවා ගන්නා විතුසාන් තරගය අවසන් කරන්නේ ලකුණු 89කට කඩුලු 11ක් දවා ගනිමින්. එය විතුසාන් මෙවර තරගාවලියේ තරගයක පෑ ඉහළ ම දක්ෂතාවයි.

ඊට අමතර ව ඔහු කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 53කට කඩුලු 6ක් සහ අවසන් මහා තරගයේ දී ලකුණු 102කට කඩුලු 5ක් ද දවා ගැනීමට ඔහු සමත් වෙනවා. ඒ දක්ෂතාත් සමඟිනුයි විතුසාන් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් නම් කෙරෙන්නේ.

පසුගිය වසරේ දී පැවැති වයස අවුරුදු 23න් පහළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දී ද විතුසාන් තරග 6ක දී කඩුලු 38ක් ලබා ගැනීමට සමත් වෙනවා. එවර ඔහුට තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ හිමි වූයේ තෙවැනි ස්ථානයයි. එම දක්ෂතාත් සමඟින් ම ඔහුට පළමු පෙළ තරග නියෝජනය කරන්නට අවස්ථාව හිමි වෙනවා.

පසුගිය වසරේ දී පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන විතුසාන් තරග 8ක දී කඩුලු 39ක් ලබා ගන්නවා.

“කොළඹ ආවෙම ලොකු ක්‍රිකට් එකක් ගහන්න ඕන කියන ආසාවෙන්. ඒ ඇවිත් ඉතා ම කෙටි කාලයකින් පළමු පෙළ තරගවලට ක්‍රීඩා කරන්න ලැබුණ එක ගැන සතුටු වෙනවා. ඒ වගේ ම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමත් එක් වෙන්න අවස්ථාව ලැබුණා. මේ හැමදේම වගේ ම මගේ දක්ෂතා ගැන මට විශ්වාසයක් ඇති කළේ මූවර්ස් ක්‍රීඩා සමාජය. යාපනයේ සිට ආපු මට නවාතැන්, කෑම බීම පහසුකම් ලබා දෙමින් ඔවුන් මට විශාල අනුග්‍රහයක් දක්වනවා. ඒ ගැන ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

යාපනයේ සිට කොළඹ පැමිණෙන විතුසාන් පළමුවෙන් ම පුහුණුවිම් සඳහා එක් වෙන්නේ කොළඹ තවත් නම ගිය ක්‍රීඩා සමාජයකට. නමුත් එහි දී ඔහුගේ දක්ෂතා ප්‍රතික්ෂේප වෙනවා. ඊට පසුවයි ඔහු මූවර්ස් ක්‍රීඩා සමාජය හා එක් වෙන්නේ.

“අයන සිරිවර්ධනගෙ මාර්ගයෙන් මම මූවර්ස් එන්නේ. රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රමගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කියල දුන්නා. ඒ වගේ ම පුහුණුකරු චාමර කපුගෙදර මහතා මාව නොසිතූ ලෙස දක්ෂතා අතරට ගෙනාවා. පසිඳු සූරියබණ්ඩාර ද මගේ දක්ෂතා වෙනුවෙන් නිතර ම උපදෙස් දෙනවා. ඔවුන් දක්වන සහයෝගය මට විශාල ශක්තියක්.”

විතුසාන් ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ අහම්බයෙන් බැලූ යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර පැවැති වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් හේතුවෙන්.

“ඒ දවස්වල මගේ ක්‍රීඩාව වෙලා තිබුණෙ පාපන්දු. නමුත් අපේ පාසලේ බිග් මැච් එක බලන්න ඇවිත් හිටපු කට්ටියගේ උද්යෝගය, ඔවුන් ඉදිරියේ වීරයන් වෙන ක්‍රීඩකයෝ දිහා බලද්දි කවදහරි දවසක මේ වගේ ම මමත් ක්‍රිකට් ගහන්න ඕන කියන හැඟීම ආවා. ඒ අවුරුද්දේ ම මම වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම හා එක් වෙනවා.”

ඒ 2016 අවුරුද්ද. විතුසාන් එක් වෙන්නේ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම සඳහා. එය විතුසාන්ගේ එම වයස් කාණ්ඩයේ අවසන් අවුරුද්ද. එම තරග වාරය අවසන් වෙද්දී විතුසාන් තරග 23කට එක් වෙමින් කඩුලු 73ක් ලබා ගන්නවා.

අනතුරුව වසරේ දී වයස අවුරුදු 17න් පහළ පළමු වසරට ක්‍රීඩා කරන විතුසාන් තරග 4ක දී කඩුලු 10ක් ලබා ගන්නා ලද අතර ඊට පසු වසරේ දී තරග 21කට ක්‍රීඩා කරමින් කඩුලු 61ක් ලබා ගන්නවා. එම දක්ෂතාත් සමඟින් විතුසාන්ට තමන්ගේ ආසාව ඉටු කර ගැනීමට ලැබෙනවා.

“2019 වසරේ දී මට මගේ ආසාව වූ බිග් මැච් එකක සෙල්ලම් කරන්න ලැබෙනවා. ඒත් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග 18ක දී කඩුලු 108ක් ලබා ගත්තත් මගේ පළමු බිග් මැච් එකේ දී මට එක කඩුල්ලක්වත් ලබා ගන්න බැරි වෙනවා. ඒක මට අමතක නොවන අත්දැකීමක්.”

එය එලෙස අසාර්ථක ව සැමරුවත්, ඔහු එම වසරේ දී පළාත් දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලබන අතර වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් තරගාවලිය නියෝජනය කිරීමට ද සුදුසුකම් ලබා ගන්නවා.

එමෙන් ම ඊට පසු වසරේ දී ද නැවත වතාවක් එම කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගන්නා විතුසාන් පාසල් කණ්ඩායම නියෝජනය කරමින් තරග 12ක දී කඩුලු 99ක් ලබා ගන්නවා. එම වසරේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වෙන විතුසාන් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වෙනවා.

එතැන් සිට විතුසන්ගේ දක්ෂතා කලඑලි වෙන්නේ කොළඹ අගනගරයේ දී.

“මට මගේ සිහිනය ඉටු කර ගන්න නම් කොළඹට එන්න ඕන කියන හැඟීම පාසලට ක්‍රීඩා කළ අවසන් අවුරුදු කිහිපයේ දී ම තේරුණා. ගෙදරින් වුනත් ඊට අකමැත්තක් තිබුණෙ නැහැ. නමුත් එක පාරට ම යාපනයේ පරිසරයෙන් මිදී කොළඹ එන්න ටිකක් හිත හදා ගන්න බැරි වුනා.”

විතුසාන්ගේ පියා නඩරාජා නිසන්. පූර්ණ කාලීනව ම කෘෂි කර්මාන්තයේ නියැලෙන්නෙක්. ඔවුන් සතුව ගොවිපොළක් ද තිබෙනවා. මව ආර්. රාජේශ්වරී, පියාගේ කෘෂිකර්මාන්තයේ වැඩකටයුතුවලට උදව් පදව් කරමින් දරුවන් ද බලා-කියා ගන්නේ ඇයයි.

විතුසාන්ට බාල සහෝදරයන් දෙදෙනෙක් ද සිටිනවා. වැඩිමලා වයස අවුරුදු 16ක් වන මදුමිදන්. බාලයා සංජය. ඔවුන් දෙදෙනා ම පාපන්දු ක්‍රීඩාවේ දක්ෂතා දක්වන්නන්.

“ගෙදර පරිසරය. අම්මත්, තාත්තත්, මල්ලිලා දෙන්නත් දාල කොළඹ එන්න හිත දුන්නෙ ම නෑ. අවුරුද්දක් විතර ම ඒ විදිහට හිටියා. ඔය අතර ලැබෙන පුළුවන් විදිහට ක්‍රිකට් ගැහුවා. එහෙම සෙල්ලම් කරද්දී යාලුවො වුනත් ඇහුවේ ඇයි කොළඹ ගිහිල්ලා ක්‍රිකට් ගහන්නේ නැත්තෙ කියලා.”

වසරක සංක්‍රාන්ති කාලයකින් පසුව විතුසන් ගේ කොළඹ පැමිණීමයි මේ ලෙසින් දැන් මල්ඵල දරා තිබෙන්නේ.

“යාපනේ ගොඩක් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවා. ඔවුන්ට ලැබෙන පහසුකම් මදියි. අනිත් එක එහේ කොළඹ වගේ ක්ලබ් ක්‍රිකට් නෑ. ක්‍රීඩාංගණවල තත්ත්වයත් මෙහේ වගේ නෑ. අපි ගොඩක් දෙනෙක් සෙල්ලම් කරන්නේ මැටින්වල. ඔවුන්ටත් කොළඹ වගේ පහසුකම් තියෙනවා නම් ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන්න තරම් දක්ෂ ක්‍රීඩකයෝ යාපනෙත් ඉන්නවා.”

ඒ සියල්ලමත් සමඟින් විතුසාන් පවසන්නේ යාපනයේ පවතින ආර්ථිකමය තත්ත්වයත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන්නන් අඩු වීමට හේතුවක් බවයි.

“මගේ දක්ෂතා ගැන මට ගොඩාක් දෙනෙක් විශ්වාසය තබලා තියෙනවා. ඒ නිසා ම මට හොඳ ගමනක් යන්න පුළුවන් කියන හැඟීම නිතර ම දැනෙනවා. අඩියෙන් අඩිය ඉස්සරහට යමින් ක්‍රිකට් පිටියේ ස්ථාවර වෙන්න ඕන. කවදහරි දවසක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න ලැබෙනව නම් ඒක තමයි මගේ එක ම ආසාව සහ බලාපොරොත්තුව,” තීසන් විතුසන් ThePapare.com සමඟ පැවසුවා.

දඟපන්දු යවන්නෙක් ලෙසින් යොවුන් ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ තීසන් විතුසන්ට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<