ඩිංගා – කිසිදා පත්තු නොකළ තුවක්කුවක කතාව

Avatar Kavinu Weerakkody | March 28, 2023 249 Views 0 Likes 5 On 1 Rating

249 Views 5 On 1 Rating Rate it

තරුණ සිනමාකරුවන් පිරිසකගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ තවත් අලුත්ම ලාංකීය චිත්‍රපටයක් නුදුරේදීම ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වනවා. ඒ ඩිලංක රංගනාත් අධ්‍යක්ෂණය කළ, ලක්මාල් ධර්මරත්න ඇතුළු පිරිසක් නිෂ්පාදනය කළ “ඩිංගා (Dinga)” සිංහල සිනමාපටයයි.
ඩිංගා චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කොට තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි.

ඩිංගා (Dinga) චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ තරුණියන් ආශ්‍රය කිරීමට බියක් දක්වන ඩිංගා නම් තැනැත්තෙකු සහ ඔහුට මුණ ගැසෙන තරුණියක අතර සිදුවීම් මාලාවකුයි. එක් දිනක් තුළ කොළඹ නගරයේදී ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ඉදිරියට ගලා යන ආකාරයයි මෙම සිනමාපටයෙන් විස්තර වෙන්නේ.

ඩිංගා, ඩිලංක රත්නායකගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. චිත්‍රපටයේ තිර පිටපත සහ දෙබස් රචනය සිදු කොට තිබෙන්නේ ද ඔහුයි. විවිධ කාල වකවානුවලදී රචනා කළ තිර පිටපත් තුනක් අතරිනුයි ඩිලංක විසින් මෙය සිනමාවට නැඟීමට තෝරාගෙන තිබෙන්නේ. 2017දී මෙහි මූලික නිෂ්පාදන කටයුතු ඇරඹී තිබෙන අතර මේ වනවිට චිත්‍රපටයේ සියලුම වැඩ කටයුතු අවසානයි.

මෙම සිනමාපටයේ ප්‍රධාන භූමිකාව වන ඩිංගාගේ චරිතය නිරූපණය කරන්නේ තුසිත ලක්නාත් විසිනුයි. ආකාස කුසුම්, සක්කාරං, ගින්නෙන් උපන් සීතල, ඇල්බොරදා වැනි වෘතාන්ත – චිත්‍රපට රැසක රඟපෑ ඔහු ඉකුත් මාසයේදී නිකුත් වුනු ගාඩි චිත්‍රපටයේ උපප්‍රධාන චරිතයකුත් නිරූපණය කළා. සෙසු ප්‍රධාන චරිත ද්විත්වයට එක් වී තිබෙන්නේ තිලක්ෂනී රත්නායක සහ තුමිඳු දොඩැන්තැන්නයි.
අංජන ප්‍රේමරත්න, දිලුම් බුද්ධික, මලිත් එස්. උයන්ගොඩ, උදාර අබේසුන්දර, විහඟ විජේසේකර සහ ජෙහාන් ද සිල්වා වැනි නවක රංගන ශිල්පීන් පිරිසකුත් චිත්‍රපටයෙන් දැකගත හැකියි.

Green Light Films වෙනුවෙන් ඩිංගා නිෂ්පාදනය කරන්නේ උදාර අබේසුන්දර සහ ප්‍රිමාල් රණසිංහයි. පසුගිය දිනවල මෙරට ප්‍රේක්ෂකයින්ගේ අතිශය ජනප්‍රියත්වයට පත්වුනු “කූඹියෝ” ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්නත් ඩිංගා චිත්‍රපටයේ නිෂ්පාදනයට එක්වී තිබෙනවා. විධායක නිෂ්පාදනය, අනුෂ්ක රණසිංහගෙනි.

කැමරා අධ්‍යක්ෂණයට ස්ට්‍රයිනර් මැක්ලෙයින් ඇඩම්, ඇඳුම් නිර්මාණකරණයට පූර්ණිමා මුහන්දිරම් සහ නිෂ්පාදන සැලසුම්කරණයට නුවන් සනුරන්ක සම්බන්ධ වී තිබෙනවා. ඩිංගා සංස්කරණය දමිත සාගර චන්ද්‍රසිරියි. විහඟ විජේසේකර ඩිංගා හි සංගීත අධ්‍යක්ෂකවරයායි.
චිත්‍රපටයේ හඬ කැවීම් සහ ශබ්ද සැලසුම්කරණය සිදු වුනේ අතුල ජයසිංහගේ මූලිකත්වයෙනුයි. ආනන්ද බණ්ඩාර විසින් මෙහි වර්ණ සංයෝජන කටයුතු කර තිබෙනවා. වේෂ නිරූපණය ශාලිත ගුණවර්ධනගෙනි.

නදීක ජයවර්ධන ගායනා කරන මෙම චිත්‍රපටයේ තේමා ගීතයත් (පිපුනාද මන්දා) මේ වනවිට ඔබට රස විඳින්නට පුලුවන්. ඩිංගා සිනමාපටයේ පළමු විදෙස් ප්‍රදර්ශනය සිදු කළේ ඕස්ට්‍රේලියාවේදියි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි fountain Gate පරිශ්‍රයේ, Village Cinema සංකීර්ණයේදී පසුගිය මාර්තු 19 වනදා ඩිංගා චිත්‍රපටය මුල්ම වරට තිරගත කළ බවයි සඳහන් වන්නේ.

ඩිංගා චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම, තමන්ගේ සිනමා නිර්මාණය ගැන රසිකයින්ට දැනුම් දෙන්නේ මෙලෙසයි…

“ ලස්සන කෙල්ලෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න කවුද අකමැති. ඒකිත් එක්ක ඇවිදින්න, ඒකිගේ උකුල උඩ ඔලුව තියාගෙන තමන්ගේ හීන කියන්න, පාර්ක් එකේ ගහට හේත්තු වෙලා බ්ලවුස් එක අස්සෙන් අත දාලා පපුව උඩින් අත තියාගෙන එයාගේ හදවත ආදරේට ගැහෙන රිද්මය බලන්න කවුද අකමැති.

හැමෝම කැමතියි. එතකොට ඒ ආදරේට විරුද්ධ වෙන දුෂ්ඨයෙක් එක්ක සටන් කරන්න. පොඩි හිත් තැවුලක් වුනත් යාලුවෝ වට කරගෙන බොමින් දුක කියන්න. ආදරේ කරද්දී කරන්න කොච්චර නං දේවල් තියෙනවද..? ඒත් මේ කිසිම දෙයක් කරන්න ඩිංගට නෑ කෙල්ලෙක්. ඩිංගා අත කසාද බැදපු එකෙක් කියලයි ඩිංගගේ යාලුවෝ ඩිංගා නැති තැන වගේම ඇති තැනත් කියන්නේ.
හිතේ තියෙන අහිංසක ආසාව නිසා ඩිංගා තීරණේ කරනවා අතට විරාමයක් දීලා ඒ වැඩේ කරන්න කෙල්ලෙක් හොයාගන්න….. ,පරම පිවිතුරු ආදර හැඟීම් ඉවරවෙලා අතට විරාමයක් ඉල්ලන පිරිමි හැඟීම වෙනුවෙන් කෙල්ලෙක් හොයාගන්න ඩිංගා තීරණය කරනවා…. කෙල්ලෙක් හොයාගන්න…… ඒ වචනේ අවුරුදු තිස්ගාණකට පස්සේ ඩිංගගෙ ඔළුවේ දෝංකාර දෙනවා…..

කෙල්ලෙක් හොයාගන්න……
කෙල්ලෙක් හොයාගන්න…..
කෙල්ලෙක් හොයාගන්න……..
ඇත්තටම කිව්වොත් කෙල්ලෙක් හොයාගන්න……
කවදාවත් ගෑනියෙකුගේ අතින්වත් අල්ලලා නැති ඩිංගට, කිසිම දවසක ආදරේ කියන හැඟීමවත් එකවත් දැනිලා නැති ඩිංගට එකපාරටම අතට සමුදෙන ලිංගික ලෝකය ජයගන්න පුළුවන්ද …. ඩිංගා ලිංගික ක්‍රිස්ටෝපර් කොලොම්බස් වෙලා අළුත් ලිංගික ලෝකයක් හොයාගනියිද….? නැත්තං ඩිංගා ලිංගික රොබින්සන් කෲසෝ වෙලා කාත් කවුරුවත් නැති දූපතක අතරමං වෙයිද….? මානසික ආදරයයි, ශාරීරික අත්දැකීමයි කියන්නේ එකක්ද දෙකක්ද…..? මනසේ දොරෙන් ඇතුල්නොවී ශරීරය එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද …..?

සිරුරේ භාෂාවට ප්‍රවේශ වෙන්න ආධ්‍යාත්මයේ භාෂාව ඩිංගට හරස් කපයිද….? “

Share

249 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.