ප්‍රිත්විරාජ් සහ බැසිල් ජෝසප් කෝවිලකදී ගැටුමකට මැදිවෙයි: Guruvayoor Ambalanadayil

Avatar Kavinu Weerakkody | March 28, 2023 60 Views 0 Likes 0 Ratings

60 Views 0 Ratings Rate it

පසුගිය වසර කිහිපයක සිට, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මුල් කරගත් මලයාලම් සිනමාව කෙරෙහි ලාංකීය ප්‍රේක්ෂකාගාරයේ ඉමහත් ජනප්‍රියත්වයක් මතුවී තිබෙනවා. නවතම මලයාලම් සිනමාපට නැරඹීමටත් මලයාලම් සිනමාව ගැන විස්තර සෙවීමටත් මෙරට සිනමා ලෝලීන් තුළ ඇතිවී තිබෙන්නේ සැලකිය යුතු උනන්දුවක්…

මෙලෙස ලාංකීය රසිකයින්ගේ අවධානයට ලක්වුනු මලයාලම් සිනමා තරු අතරෙ හි ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙන රංගන ශිල්පියෙක් විදිහට ප්‍රිත්විරාජ් සුකුමාරන්ව (Prithviraj Sukumaran) හඳුනා ගන්නට පුලුවන්. මලයාලම් සිනමාපට 100කට ආසන්න ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දී තිබෙන ඔහු තෙළිඟු – හින්දි – දමිළ සිනමා නිර්මාණ සඳහාත් තම දායකත්වය ලබා දී තිබෙනවා. රංගන ශිල්පියෙකු මෙන්ම; ඔහු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක්.
ඉන්දියානු කෝටි 200කට අධික මුදලක් රැස් කරගනිමින්, මෙතෙක් මලයාලම් සිනමාවේ ඉහළම ආදායම්ලාභී සිනමාපටය බවට පත්වූ Lucifer (2019) සහ පසුගිය වසරේදී නිකුත් වූ Bro Daddy (2022) අධ්‍යක්ෂණය කළේත් ඔහු විසිනුයි.

පසුගිය වසර තුළදී ප්‍රිත්විරාජ් සුකුමාරන් රංගනයෙන් එක්වූ චිත්‍රපට 06ක් නිකුත් වුනු අතර එයින් ආදායම් අතින් යම් අසාර්ථකත්වයක් ලැබූයේ චිත්‍රපට 02ක් පමණයි. ඔහු ප්‍රධාන චරිතයට පණ පෙවූ Jana Gana Mana (2022) සිනමාපටයට ඉන්දියාව පුරාම විශාල ජනප්‍රියත්වයක් හිමිවුනා. පසුගිය දෙසැම්බර් මාසයේදී නිකුත් වූ, ප්‍රිත්විරාජ් රඟපෑ Kaapa මලයාලම් සිනමාපටයත් ඉන්දියානු කෝටි 20කට ආසන්න ආදායමක් සමඟින් සාර්ථකව තිරගත වූවා.

Kaapa සිනමාපටයට පසුව, ප්‍රිත්විරාජ් මේ දිනවල කාර්යබහුල වී සිටින්නේ ඔහුගේ තවත් සිනමා නිර්මාණයක් වන Vilayath Budhdha හි රූපගත කිරීම් සමඟයි. එම චිත්‍රපටයේ ඔහු ද්විත්ව චරිත නිරූපණය කරන බවටත් පැවසෙනවා. රත්හඳුන් ගසක් වෙනුවෙන් දබර කරගන්නා සොහොයුරන් දෙපළක් වටා Vilayath Budhdha චිත්‍රපටය දිවෙන බවටයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ…
එමෙන්ම ප්‍රිත්විරාජ් සුකුමාරන්ගේ රංගන ජීවිතයේ දැවැන්තම නිර්මාණය වන Aadujeevitham හි රූගත කිරීම්ද මේ වනවිට අවසන් කොට තිබෙනවා. මේ දිනවල එහි පසු නිෂ්පාදන කටයුතු සිදුවන අතර ලෝකප්‍රකට කාන් (Cannes 2023) සිනමා උළෙලේදී එහි පළමු ප්‍රදර්ශනය තිරගත කිරීමට සැලසුම් කරමින් තිබෙනවා.

නිරතුරුවම එකිනෙකට වෙනස් චරිත තෝරාගනිමින්, විවිධ භූමිකා ඔස්සේ තම රසිකයින්ට සමීප වන මෙම දක්ෂ රංගන ශිල්පියා වෙත පසුගියදා නැවත වතාවක් ඉන්දියානු මාධ්‍ය අවධානය හිමිවුනේ ඔහු රංගනයෙන් එක්වන මීළඟ චිත්‍රපටය ගැන පළමු නිල නිවේදනය නිකුත් වීම නිසායි.

“Guruvayoor Ambalanadayil” යනුවෙන් නම් කර තිබෙන එම චිත්‍රපටය හාස්‍යමය (Comedy Entertainer) වර්ගීකරණයට අයත් වන මලයාලම් භාෂාමය නිර්මාණයක්. සිනමාපටය ගෙතෙන්නේ කේරළයේ ප්‍රසිද්ධ ආගමික සිද්ධස්ථානයක් වන ගුරුවායුර් හි ශ්‍රී ක්‍රිෂ්ණා දේවස්ථානය තුළ සිදුවන විවාහ මංගල්‍යයක් වටායි. මලයාලම් සිනමාවේ තවත් ජනප්‍රිය නලුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන බැසිල් ජෝසප් (Basil Joseph) ද ප්‍රිත්විරාජ් සමඟින් මෙහි රංගනයෙන් එක්වනවා.
තොරතුරු දැක්වෙන පරිදි, චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට එක්ව තිබෙන්නේ බැසිල් ජෝසප් වන අතර ප්‍රිත්විරාජ් නිරූපණය කරන්නේ ප්‍රතිවීර – antagonist චරිතයකුයි. නමුත් ප්‍රිත්විරාජ් රඟන ප්‍රතිවීර චරිතය ගැඹුරු – දුෂ්ඨ භූමිකාවක් නොවන බවත්, එය හාස්‍ය මුසු හැඟීම්බර චරිතයක් බවටත් පැවසෙනවා.

Guruvayoor Ambalanadayil චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ පසුගිය වසරෙහි මෙරට ප්‍රේක්ෂකයින් අතරේ පවා අතිශය ජනප්‍රියත්වයට පත් Jaya Jaya Jaya Jaya Hey මලයාලම් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Vipin Das විසිනුයි. විශේෂත්වය වන්නේ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේද මෙහි ප්‍රධාන භූමිකාව සඳහා තෝරාගෙන තිබෙන බැසිල් ජෝසප් විසින්මයි.
Kunjiramayanam, Godha සහ Minnal Murali නැමැති මලයාලම් සිනමාපටවල අධ්‍යක්ෂකවරයා වන බැසිල් ජෝසප් 2013 සිට මේ දක්වා සිනමාපට 20කට අධික ප්‍රමාණයකට රංගනයෙනුත් දායක වුනා. Jan . E . Man, Palthu Janwar, Virus, Mayanadhi ආදිය ඔහු රඟපෑ ජනප්‍රිය නිර්මාණ අතුරින් කිහිපයක්.

මෙම චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය නිරූපණයට අමතරව චිත්‍රපටයේ සම – නිෂ්පාදකවරයෙකු ලෙසත් ප්‍රිත්විරාජ් සුකුමාරන් කටයුතු කරනවා. ඒ ඔහුට අයත් Prithviraj Productions ආයතනය වෙනුවෙනුයි. Prithviraj Productions සහ E4 Entertainment නිෂ්පාදන ආයතන ද්විත්වයේ එකතුවෙනුයි මෙම චිත්‍රපටය නිර්මාණය වන්නේ. ප්‍රිත්විරාජ් සහ බැසිල් ජෝසප් දෙදෙනාම මේ දිනවල ඔවුන්ගේ නවතම සිනමාපටවල රූපගත කිරීම් සමඟ කාර්යබහුල වී සිටින නිසා මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹීමට තවත් සති කිහිපයක කාලයක් ගත විය හැකියි.

බැසිල් ජෝසප් රඟන චිත්‍රපට දෙකක් මේ දිනවල රූපගත වනවා. එමෙන්ම ඔහු අධ්‍යක්ෂණය කළ Minnal Murali නැමැති මලයාලම් සුපිරි වීරයාගේ කතාවේ දෙවන දිගහැරුමකටත් ඔහු තිර පිටපත ලියමිනුයි සිටින්නේ. නමුත් ඊට පෙර බැසිල් ජෝසප්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන වෙනත් චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිතයි. මලයාලම් නලු Fahadh Fasil හෝ Pranav Mohanlal එහි ප්‍රධාන චරිතය සඳහා එක්විය හැකියි.

ප්‍රිත්විරාජ් සුකුමාරන් මෙහි රූපගත කිරීම් සඳහා එක්වන්නේ ඔහුගේ Vilayath Budhdha නිෂ්පාදන කටයුතු අවසන් වීමෙන් පසුවයි. බොහෝදුරට අප්‍රියෙල් මාසය අගභාගය වනවිට Guruvayoor Ambalanadayil රූපගත කිරීම් ඇරඹිය හැකි බවටයි නිෂ්පාදන කණ්ඩායම බලාපොරොත්තු වන්නේ. නමුත් ප්‍රිත්විරාජ් රඟන Bade Miyan Chote Miyan හින්දි චිත්‍රපටයත් එළඹෙන මාසයේදී රූගත කරන නිසා එය තවමත් නිශ්චිතව පවසා නැහැ. රඟන Bade Miyan Chote Miyan සිනමාපටයේදී ප්‍රිත්විරාජ් රඟපාන්නේ ආක්ෂේ කුමාර් සහ ටයිගර් ශ්රොෆ් සමඟයි. එමෙන්ම හින්දි නිලි කාජොල් රඟන Sarzameen නැමැති නවතම නිර්මාණයේ වැදගත් චරිතයකටත් ඔහු ගිවිසුම්ගතව තිබෙනවා.
මීට අමතරව වර්තමාන ඉන්දියාවේ වැඩිම රසික අවධානයක් දිනාගෙන තිබෙන චිත්‍රපටයක් වන ප්‍රබාස්ගේ Salaar හි ප්‍රධාන – ප්‍රතිවීර චරිතය නිරූපණය කරන්නේ Prithviraj Sukumaran විසිනුයි.

Share

60 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.